- Advertisement -

දුවේ, පුතේ විභාග ප්‍රතිඵල මත ජීවිත සිහිනය මිලිනවන්නට ඉඩ නොදෙන්න

-

අපේ රටේ අධ්‍යාපන රටාව ඇත්තටම නූතන ලෝකයට ගැලපෙන ලෙස ප්‍රායෝගික නැති වුවද පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කියන අධ්‍යාපන කඩ ඉම් පසු කරගෙන උසස් අධ්‍යාපනය වෙත අපේ දරුවන්ට පිය නගන්නට සිදුව ඇත.අවුරුදු එකලොහක් හෝ දහතුනක් පුරාවට ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඉගෙන ගෙන පැය කිහිපයක් තුල ඒ අවුරුදු එකලොහ හෝ දහතුන පුරාවටම එකතු කරගත් දැනුම ප්‍රශ්න පත්‍ර මිනුම් දණ්ඩෙන් මනියි. ජීවිතේ ඉදිරියට සාර්ථක කරගන්නට පිටුවහලක් වෙන මෙම විභාග නිසා වෙන්ම දරුවන් තම ජීවිතෙන් සදහටම සමුගන්නා කතන්දරත් දැන් දැන් අහන්නට සිදුව ඇත. පහු ගිය සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය නිසා දරුවෙක් සදහටම ජිවිතෙන් පැරදී දෙනෙත් පියා ගත් පුවතත් එවැන්නකි. මා මේ ලිපිය ලියන මොහොතේ 2017 උසස් පෙළ ප්‍රතිඵල පිටවී දින කිහිපයක්ම පසුවී ඇත. එහෙත් තමන් අපේක්ෂා කල කඩඉම වෙත ලඟා වන්නට නොහැකි වූ දුවා දරුවන් තවමත් දුක් වන බව නිසැකය.

ජීවිතේම තීරණය කරන එකම සාධකය විභාගද?

ආදරණීයේ දුවේ පුතේ විභාගයක් කියන්නේ අපේ මුලු ජීවිතේම තීරණය කරන එකම සාධකය නොවන බව සිතට ගන්න. විභාගයකන් යනු ජීවිත පොතේ තවත් එක් පරිච්ජේදයක් පමණක්මය. ඉතින් ජිවිත පොතේ තවත් පරිච්ජේද බොහෝමයක් ලියන්නට විභාග කියන  සාධකය බාධකයක් නොකරගන්න. ලෝකයේ මෙන්ම අපේ රටේද අධ්‍යාපන අතින් ඉහළට නොගිය එහෙත් ජීවිතය ඉහලින්ම ජයගත් බොහෝමයක් දිරිය මිනිසුන් ජීවත් වෙති. මිනිසකු තුල උගත් කමටත් වඩා ප්‍රබල බුද්ධිමත් බව යන්න මා තරයේ විශ්වාස කරමි. මන්ද පොතේ දැනුම ගුරුවරුන් ලබා දෙන දැනුම හොඳින් උකහා ගත්තද ඒ දැනුම ජීවිත පොත ලියන්නට නිසි ලෙස උපයෝගී කර ගන්නට නොහැකි නම් ඔබ උගත් දෙයින් කවර ප්‍රතිලාභයක්ද? අපට අවැසි දැනුමින් පෝෂිත උගතුන් පමණක් නොව දැනුමින් පෝෂිත උගත් බුද්ධිමතුන්ය.

- Advertisement -
ජීවිතේ අභියෝගයකි

ජීවිතය පොතකි. එහි අනෙක් පිටුවට පිවිසෙන්නට ලෙහෙසියෙන් නොහැකිය. ඔබ මෙලොවට උපන්දා කොයිතරම් නම් අන්ත අසරණව සිටියාද? අම්මාගේත් තාත්තාගේත් අධාර, උපකාර, ආදරය, රැකවරණය නොලැබෙන්නට අද ඔබට ජීවිතේ දෙපයින් නැගී සිටින්නට නොහැකි වනු ඇත. එවන් දුෂ්කර ගමනක් පසු කොට අවුරුදු දහසයක් දහ අටක් ජීවිත පොත ලියූ ඔබ ජීවිතය පොතෙහි එක් පරිච්ජේදයක එක් පිටුවක් ලියා නොගත්තා කියා ජීවිතෙන් පලා යන්නට සැරසීම කොයි තරම් නම් අනුවණ තීරණයක්ද? ආදරණීය දුවේ පුතේ ජීවිතේ අභියෝගයක්. එක් අභියෝගයක් සාර්ථකව නිම කරද්දි තවත්  අභියෝගයක් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත. බාධක හමුවේ ගලන ගඟ සුන්දරය. එනිසාවන් පරාජයන් හමුවේ නොසැලී පන්නරය ගෙන සිත ශක්තිමත් කරගන්න.

ජීවිතේ දිනන්ට ඔබට මාවත් බොහෝමයකි

සරල දිවිපෙවතක් ගත කල අපි අද කාර්්‍යයබහුල ඉතා සංකීර්ණ ජීවිත රටාවකට කොටුව ඇත. වෛද්‍යවරුන් ඉන්ජිනේරුවන් නීතීඥයන්, ගුරුවරුන් වැනි වෘත්තීන් පමණක්ද මේ සමාජයට අවශ්‍ය. සරසවි සිහිනය බොඳව ගියද ඔබගේ උසස් අධ්‍යානයට එය බාධාවක් නොවන්නේය.

  • රජයේ උසස් තාක්ෂණ ආයතනය මගින් නොමිලේම ලබාදෙන වටිනා ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. මෙම ඩිප්ලෝමා කිහිපයකම උපාධියට සමාන සුදුසුකම් ඇත.
  • රජයේ විශ්ව විද්‍යාල මගින් පවත්වන බාහිර උපාධි පාඨමාලා හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ඇත.
  • මෙරට ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ විදේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු විය හැකි ය.

එසේම සාමාන්‍ය පෙලින් පසු ද ඔබට ජිවිතයේ නව හැරවුම් ලක්ෂයක් කරා ගෙන යා හැකිය. ඔබට ජිවිතේ ඉහළටම පියනගන්නට හැකි කේෂත්‍රය නිවැරදිව හඳුනා ගැනීම ප්‍රථමයෙන්ම සිදු කරන්න. ඔබ කාර්මික අංශයට කැමැති නම්, කාර්මික විද්‍යාලයකට ඇතුළු වී ඒ අංශයේ අධ්‍යාපනය ලබාගත හැකිය. කලා අංශයට කැමති නම් ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යනය කරන්න.ගීත ගායනයට නර්ථනයට, පරිඝණක අංශයට, නව නිපැවුම් තනන්නට, අත් වැඩට උපන් හපන් දරුවන් කොතෙකුත් ඇත. රූපලාවන්‍ය ඉවුම් පිහිවුම්, මෝස්තර නිර්මාණ ශිල්පය මෙවැනි එකී මෙකී නොකී කේෂත්‍ර බෝහෝමයකින් ඔබේ අනාගතය පැහැබර කරගන්නට අඩිතාලම යෙදිය හැකිය. ඒ අනුව ඔබේ විභාග ප්‍රතිඵල මත ඔබේ ජීවිත සිහිනය මිලින නොවන්නට කටයුතු කරන්න.වෘත්තිමය වශයෙන් ඔබට සුදුසු වෘත්තියක් තෝරාගෙන ඔබේ ජීවිතයේ නව පරිච්ජේදයේ ඇරඹුමට සූදානම් වන්න. ඔබට ජීවිතය දිනිය හැකිය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article