- Advertisement -

ළමා වියේ වර්ධන පියවර හඳුනා ගනිමු

-

දරුවන්ගේ වර්ධනය යනු බොහෝ දෙමව්පියන් දැනගැනීමට උනන්දුවන මාතෘකාවකි. උපතේ සිට දරුවන්ගේ වර්ධනය පිළිබද නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් දරුවාට උදව් කිරීමට අවස්ථාව සැලසෙනවා පමණක් නොව වර්ධනයේ ප්‍රමාද වීම් හෝ ගැටළු හදුනා ගැනීමට අවස්ථාව උදාවේ. එමගින් ප්‍රමාද වීමකින් තොරව වර්ධන ගැටළු සදහා අවශ්‍ය පිළියම් /ප්‍රතිකාර දීමට අවස්ථාව සැලසේ.

දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩ වලට වැඩිපුරම බලපාන්නේ ජානමය බලපෑමද එසේ නැතහොත් පවුල් පරිසරයද යන්න කලක පටන් විවාදයන්ට තුඩු දුන් මාතෘකාවකි. නමුත් විද්‍යාත්මක සාධක වලට දැනට පිළිගත් මතය වනුයේ උපතේදී දරුවකුට ලැබෙන ජානමය පසුබිම හා උපතින් පසු පවුලෙන් හා අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් අතර අන්තර් ක්‍රියාවන් මේ සදහා බලපාන බවයි. මොලයේ වර්ධනය කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියකි. එබැවින් ඉතා කුඩා කල දක්නට ලැබෙන සමහර ගති ලක්ෂණ හා ගැටළු පසු කලෙක වෙනස් වීමේ හැකියාව ඇත.

- Advertisement -

අනෙක් අතට සමහර වර්ධන පියවර ජිවිතයේ මුල් අවධියේදී දියුණු නොවුනහොත් පසු කලෙක එය දියුණු කර ගැනීමට අපහසු වේ.උදාහරණයක් ලෙස භාෂාව වර්ධනය වීමට ජිවිතයේ මුල් අවුරුදු පහ අතිශයින් වැදගත් වේ. එම කාලය තුල භාෂා හැකියාව වර්ධනය විමට අවශ්‍ය උත්තේජන නොලැබුණහොත් පසු කලෙක එම හැකියාව දියුණු කිරීම අපහසු විය හැක.

මෙහිදී කායික වර්ධනයට අමතරව භාෂාව හා සන්නිවේදනය , ප්‍රජනන/බුද්ධිමය වර්ධනය හා මනෝ සමාජීය වර්ධන පියවරයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල යුතු වේ. බුද්ධිමය වර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්නේ බුද්ධි මට්ටම පමණක් නොවේ. ඊට තර්කානුකුලව සිතීම, ගැටළු විසදීමේ හැකියාව , මතකය හා ආවර්ජනය , සංවිධානාත්මක හැකියාව හා පරිකල්පන හැකියාව ආදියද ඇතුලත්ය.

මනෝ සමාජීය වර්ධනය යන්නෙන් අන් අය හා යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව , අවේග හදුනා ගැනීම හා පාලනය කිරීම , අන් අයගේ හැගීම් හදුනා ගැනීම හා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම හා සමාජයේ පොදු අදහස් අවබෝධ කර ගැනීම ආදී කුසලතා අදහස් වේ.

උපතෙන් පසු ජිවිතයේ මුල් මාස හය තුල දරුවාට ලැබෙන විවිධ සංවේදන එනම් රස, පෙනීම, ස්පර්ශය , ශබ්ද ආදිය හා  දරුවාට ඉතා සමීප වැඩිහිටියන් හා පවත්වන අන්තර් සම්බන්ධතාවයන් දරුවාගේ භාෂා හා බුද්ධිමය වර්ධනයට අඩිතාලම සපයයි.මේ කාලය තුල දරුවාට  සමීප මුහුණු හදුනාගැනීමටද , මුහුණින් ප්‍රකාශ කරන ඉරියව් අනුකරණය කිරීමටද හැකියාව ලැබේ.මේ කාලය තුල දරුවා තම අවශ්‍යතාවයන් හෝ අපහසුකම් ප්‍රකාශ කරන්නේ හැඩීම මගිනි. ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමෙන් දරුවා තුල විශ්වාසය ඇතිවේ.ඊට නිසි පරිදි  ප්‍රතිචාර දැක්වීම එය හදුනා ගැනීම මත පමණක් නොව මවට බලපාන බාහිර සාධක ( එනම් අධික ආතතිය , අමතර සහයක් නොලැබීම )  මතද රදා පවතී. එබැවින් මෙම කාලය තුල මවට අවශ්‍ය  අමතර සහයෝගයද , මානසික සහනයද ලබා දීම පවුලේ අන් අයගේ වගකීමකි.

එසේම මව සමග යම් දෙයකට පොදු අවධානය යොමු කිරීමේ හැකියාවද මේ කාලයේ දියුණු වන වැදගත් වර්ධන පියවරකි.එමෙන්ම මාස හයට කිට්ටු වනවිට “බා බා බා” වැනි මුලික ශබ්ද, ශබ්ද කිරීමට දරුවා පටන් ගනී.මෙය භාෂා වර්ධනයේ මුලික අවස්ථාව ලෙස සැලකේ.

මාස හතේ සිට වයස අවුරුදු දෙක දක්වා කාලය තුල මතකය,අවධානය යොමු කිරීම වැනි කුසලතා ක්‍රමයන් වර්ධනය වීම ඇරබේ. මේ කාලය තුල සිදුවන තවත් වැදගත් වර්ධන අවස්ථාවක්  වනුයේ කිසියම් භාණ්ඩයක්  ආවරණය කලද (කෙලින්ම දරුවාට පෙනීමට නොමැති වුවද ) එය එතන ඇති බව දරුවා තේරුම් ගැනීමයි. සෙල්ලම් බඩුවක් සගවා නැවත සෙවීම වැනි ක්‍රීඩා වල ට මේ වයසේදී දරුවා යොමු කර ගත හැක්කේ මෙම හැකියාව නිසාය.

මේ කාලයේදී විවිධ ශබ්ද කිරීමෙන් හා ඇගිල්ල දිගු කර පෙන්වීමෙන් තම අවශ්‍යතා දැක්වීමට ඔවුන්ට හැකිය. සාමාන්‍යයෙන් වයස අවුරුද්ද පහු වන විට තනි වචනයක් කතා කිරීමේ හැකියාවද ලැබේ. මෙය සන්නිවේදනයේ වැදගත් මුලික වර්ධන පියවරකි.

වයස අවුරුදු එක හමාර පමණ වනවිට  දරුවාට තමාට නොපෙනෙන සෙල්ලම් බඩුවක්  වෙනත් තැන කිහිපයක (පුටුව යට, වෙනත් කාමරයක ආදී ) සෙවීමේ හැකියාව ලැබේ. මේ නිසා වඩාත් සංවිධානාත්මක ක්‍රීඩා වල දරුවා යොදවා ගැනීමේ හැකියාව ලැබේ.එසේම තමා දුටු දෙයක් අනුකරණය කිරීමේ හැකියාව මේ කාලය තුල ඇතිවේ. මතකය ක්‍රමයෙන්  දියුණු වන බැවින් දෛනිකව සිදුවන ක්‍රියාකාරකම්වල  වෙනස්කම් හදුනා ගනියි. මේ කාලය තුල දරුවකුට අලුත් වචන ශීග්‍රයෙන් හදුනා ගත හැක. නමුත් වචන  වචන මාලාව කොතරම් දුරට දියුණු වන්නේද යන්න පාරිසරික උත්තේජන මත රදා පවතී.

වයස අවුරුදු දෙක වනවිට මතකය ,එක දෙයකට අවධානය දීමේ හැකියාව, ගැටළු විසදීමේ හැකියාව තවත් දියුණු වේ. එබැවින්  “බිල්ඩින් බ්ලොක්ස්” භාවිතයෙන් කිසියම්  සැකිල්ලක් නිර්මාණය කිරීම වැනි හැකියාවන් ලැබේ. එසේම සම වයසේ දරුවකු හා සෙල්ලම් කිරීමට මේ වයසේදී පුළුවන. මේ කාලය තුල දෙමව්පියන් අනුකරණය කිරීමෙන් සිතින් මවා ගත්   ක්‍රියාකාරකම්වල  නිරත වීමේ හැකියාව ලැබේ (උදාහරණයක් ලෙස සෙල්ලම් බඩු  භාවිතයෙන් ඉවීම, ආහාර  ගැනීම ,බෝනික්කන් නැලවීම ,සුරතල් සතුන්  බලා  ගැනීම වැනි ) වයස අවුරුදු දෙක වන විට වචන දෙකක් එකතු කර තම අවශ්‍යතාවයක්  ප්‍රකාශ  කල හැක.

ජිවිතයේ මුලික අවධියේ මනෝ සමාජීය වර්ධනය ගැන සැලකීමේදී ඉතා වැදගත් පියවරක් වන්නේ මව සමග (නැතහොත් දරුවාට ඉතා සමිප වැඩිහිටියකු සමග ) ඇති කරගන්නා  මානසික සබදතාවයයි. දරුවකුට පසුකාලීනව පවා ශක්තිමත් සබදතා ඇති කර ගැනීමට අඩිතාලම වැටෙන්නේ මෙම මුලික සබදතාව පදනම් කර ගෙන ඇති වන විශ්වාසය මතය.

ජීව්තයේ මුල් මාස හය තුල දරුවා තම හැගීම් හා හැසිරීම පාලනය හුරු වීමට පටන් ගනී. දෛනිකව ආහාර දීම , නිදි කරවීම වැනි ක්‍රියාකාරකම් එකම වෙලාවකට කිරීමෙන් මෙය පහසු කරවයි.වයස සති හය හය පමණ වනවිට දරුවා මව සමග සිනා සේ. මවගේ හැගීම් වලට ක්‍රමයෙන්  සංවේදී වේ.මාස හය වන විට තරහ ,දුක වැනි විවිධ හැගීම් ප්‍රකාශ කිරීම ඇරබේ.

වයස මාස හයේ පමණ සිට මව තනි කර ගියහොත් නොසන්සුන් වීමට පෙළබේ.ක්‍රමයෙන් විවිධ අලුත් අත්දැකීම් හා අවස්ථාවන්ට මුහුණ දෙන හැටි ඉගෙන ගනී. වයස අවුරුදු එක හමාර වනවිට දරුවාට අන් අයගේ හැගීම් හදුනා ගැනීම ඉගෙන ගනී. උදාහරණයක් ලෙස මව දුකින් සිටින බව හැගේ නම් එය දැනී මව සැනසීමට උත්සහ දරයි.

අවුරුදු එක හමාරේ සිට දෙක අතර කාලය තුල හැගීම් වචන මගින් ප්‍රකාශ කිරීමට හා පාලනය කිරීමට උත්සාහ දරයි.වඩාත් සංකීර්ණ හැගීම් එනම් ලැජ්ජාව , තමා වරදක් කලා යන හැගීම ආදිය දැනේ. මව තනි කර දමා යාමේදී කලබල වීම අඩු වන අතර මව ලග නැති විට වෙන අයෙකුට හුරු කර වීම තරමක් පහසු වේ.

මේ වයසේදී අනුකරණය කරන ක්‍රීඩා වල වැඩි වශයෙන් නිරත විය හැකි අතර ගැහැණු පිරිමි වෙනස්කම් වලට අනුව ක්‍රීඩා භාණ්ඩ තෝරා ගන්නට පටන් ගනී. මේ කාලය තුල ස්වයං පාලනය (උදාහරණයක් ලෙස තමන්  ආසා  කරන ක්‍රියාකාරකම් කල් දැමීමට) ඉගෙන ගනී.

මෙබදු වර්ධන පියවර ගැන නිසි අවබෝධයක් තිබීමෙන් දෙමාපියන්ට තම දරුවාගේ වයසට ගැලපෙන ක්‍රියාකාරකම්වල යෙදිය යුත්තේ කෙසේද,  දරුවාට ලැබිය යුතු උත්තේජන කවරේද , දරුවා බලා ගන්නා අයෙකුට දියයුතු උපදෙස් මොනවාද යන්න පිළිබද තීරණ ගැනීම පහසුවේ. වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ගේ වර්ධන පියවර හා වර්ධන ගැටළු හදුනා ගන්න අයුරු ඉදිරියේදී සාකච්ඡා කරමු.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article