- Advertisement -

අරියාදු (Bullying) සහ අඩන්තේට්ටම් (Harassment)

-

පාසල රන්දෙවොලක් විදිහට සැලකුනත් මේ දේවාලය ඇතුලත් පුංචි පුංචි කෙනෙහිලිකම් නැතුවාම නොවෙයි. අපි ඒ ගැන විවෘතව කතා නොකලොත් මේ සිද්ධින් කවදා හෝ කොතැනකින් හෝ පිපිරී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ පුංචි පුතා හෝ දුව පාසලේදී අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම්වලට (Harassment) ලක් වෙන අවස්ථා ඔබ නොදැන සිටියාට ඕනෑ තරම් තිබෙන්න පුලුවන්.

ශාරිරිකව සිද්ධ වෙන අඩන්තේට්ටම්වලටත් වඩා මානසිකව සිදු වෙන තත්වයන් ඉතාම දරුණුයි. සමහර පාසල්වල ශිෂ්‍ය නායකයින් විසින් පුංචි පංතිවල දරුවන් අඩන්තේට්ටම්වලට පත් කරමින් ආධිපත්‍ය ගොඩ නගා  ගන්නා අවස්ථාවන් තිබෙනවා. විශේෂයෙන් දිවාආහාර වේලාවට කුඩා දරුවන් කැන්ටිමෙන් මිළට ගන්නා ආහාරපාන වැඩිහිටි දරුවන් අඩන්තේට්ටම් කරමින් ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා.

- Advertisement -

මෙහිදී පොඩි දරුවා තමාගේ පාසලේ අයියලාට තිබෙන බිය නිසා කිසිම කෙනෙකුට මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, පැමිණිලි කරන්න එපා යැයි කරන තර්ජනය නිසා එතැනින් ඔබ්බට ඔවුන් මේ සියළු දෙයම දරා ගෙන සිටින අවස්ථාවන් තිබෙනවා.

මේ තත්වය තව දුරටත් අපි සුලුකොට සැලකිය යුතු නොවන්නේ ඇයි කියල දෙමව්පියන් අවධාරනයෙන්ම සිතට ගැනීම වැදගත්. මේ අරියාදු සහ අඩන්තේට්ටම් ලිංගික අපචාර දක්වා දුර දිග යන බව අකමැත්තෙන් වුනත් සඳහන් කිරීමට සිද්ධ වෙනවා. වැඩිහිටි පිරිමි පමණක් නොවෙයි, ගැහැණු දරුවන් පවා ලිංගික අපචාර වෙනුවෙන් පහල පංතිවල දරු දැරියන් සම්බන්ධ කර ගැනීම ප්‍රසිද්ධ රහසක් වුනත් අපි කිසිම කෙනෙක් ඒ ගැන කතා නොකර ඉන්නේ හරියට කසාය බීපු ගොලුවන් වගෙයි. ඒ නිසා දරුවන් මානසිකව මේ පීඩන දරා ගෙන සිටිනවා පමණක් නොවයි, ඔවුන්ගේ මල් වගේ පිරිසිදු සහ අහිංසක හදවත් නිරන්තර පීඩාවට පත් වෙනවා.

මේ තත්වයට පත් වුන දරුවෙක් එතැනින් එපිටට කිසිම දෙයක් කරන්නේ නැහැ. කාගෙන්වත් උදව් ඉල්ලා සිටින්නෙත් නැහැ. විරුද්ධ වීමකුත් නැහැ. ඒත් හිතෙන් ඔවුන්ගේ විඳවීම නිසා කාලයත් සමග විශාදය (Depression) වැනි තත්වයට දරුවා නොදැනම ගොදුරු වෙන්න පුලුවනි.

එවන් මානසික තත්වයකට පත් වුන ඔබේ දරුවා වෙතින් මේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.

නින්ද නොයෑම

වෙනදා ඇඳට වැටුන පමාවෙන් නින්දට ගිය දරුවා දැන් ඔබට ඇහැරී බල හැම ‍විටකම ඇ‍ඳේ පෙරලි පෙරලි ඉන්නවා වෙන්න පුලුවන්. දෙමව්පියන් විදිහට මේ ගැන ඔබ එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඔබත් නින්දට වැටුනාම දරුවා ඇහැරී ඉන්නවාද නිදාගෙනද බව නොදන්නා නිසා වෙන්න පුලුවන්.

ආහාර අරුචිය

වෙනදාට කන්න දීලා ඉවරක් නැති දරුවා දැන් පෙරැත්තයෙන් මිසක ආහාර වෙනුවෙන් කිසිම රුචියක් දක්වන්නේ නැතුවා වෙන්න පුලුවන්.

විවිධ රෝග ගැන පැමිණිලි

වෙනදාට වඩා දරුවා ලෙඩ ගැන කරන පැමිණිලි වැඩි වෙන්න පුලුවන්. හිසේකැක්කුම, උදරාබාධ විතරක්‍ නොවෙයි විවිධ රෝගාබාධයන් ගැන පැමිණිලි කරන්න පුලුවනි. මේ විදිහට රෝග ගැන කියද්දී හොර ලෙඩ යැයි චෝදනා කරන්න එපා. හිතේ ලෙඩ නිසා දරුවාටත් නොදැනීම මේ වගේ අපහසුතාවයන් ශාරිරිකව ඇති වෙනවා. ඒ නිසාම දෙමව්පියන් විදිහට සන්සුන් මනසකින් මේ තත්වය දිහා බැලීම ඉතාම වැදගත්.

කතාව සිනාව අඩුයි

ගිරව් වගේ තොරතෝංචියක් නැතිව කතා බහ කරපු , සිගිති රන්ඩු සරුවල් මැද ගෙවුන ජීවිත වෙනුවට දරුවා හුදෙකලාවට යොමු වෙනවා නම් ඔබට හිතන්න යමක් දැන් ඉතිරි වෙලා තිබෙනවා. සමහර විට දරුවාට දොස් නගන්න පුලුවන්. ඒත් දොස් නගනවා වෙනුවට ඇයි මෙසේ හුදෙකලා වෙන්නේ යන්නෙහි නිදාන කතාව සොයා ගැනීම ඉතාම වැදගත්.

දැන් ඉතින් ගැටුමකටත් මුල පුරනවා

නොකා නොබී පැත්තකට වෙලා ඉන්න දරුවාට අම්මා තාත්තා චෝදනා නගන විට දරුවාටත් කේන්ති යනවා. ඔහුට සෙමව්පියන් ගැනත් ඇති වෙන්නේ තරහක්. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම දෙමව්පියන් විසින් විවේචනය කරද්දී. එහෙම නැත්නම් දරුවාට චෝදනා නගද්දී දරුවාටත් කේන්ති යෑම නොදැනීම සිද්ධ වෙනවා. දැන් දරුවා සිටින්නේ නිතරම දුම්මල වරම අතට ගත්තා වගේ හිතේ කේන්තියෙන්.

පාසල් යෑමට මැලිවීම

වෙනදා ලෙඩකට දුකකට නිවසේ රඳවා ගැනීමට නොහැකි වුන දරුවා දැන් විවිධ හේතු කියමින් පාසල් යන්න මැලිවීමට පුලුවන්. ඒ විදිහට පසුගාමී වෙද්දි දඩුවම් කරමින්, තර්ජනය කරමින් පාසලට යවනවා වෙනුවට ඇයි මේ විදිහට දරුවා පාසල් යන්න අදි මදි කරන්නේ යන හේතුව පිටුපසින් ඇති කරුණු ගැන විමිසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

ඉතින් සමහර විට ඔබේ දරුවාටත් පාසලෙන් ඇති වෙන කෙනහිලිකම් සහ අඩන්තේට්ටම් නිසා ඉහත සදහන් මානසික තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවා වෙතින් ඉහත ලක්ෂණ අඩු වැඩියෙන් වුනත් ප්‍රදර්ශනය වෙනවා නම් ඔවුන් සමග සාකච්ඡා කරල මුහුණ දෙන ගැටළු හදුනා ගැනීම ඉතාම වැදගත්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article