අපි අම්මලා විදිහට දරුවන් ගැන අවධානය දැක්විය යුතු දේ

mother-looking-at-her-child

දරුවෙක් ගැබ් ගත් පුවත ලද තැන පටන් අම්මා කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ අහස උසට බලාපොරොත්තු .ඒ අතරම කුසේ ඉන්න දරුවා මුල් කර ගෙන පුංචි බයකුත් ඇති වෙනවා. අනේ මගේ දරුවා දුකක් කරදරයක් නැතුව මෙලොව එලිය දකියිද…? මේ සැකයත් හැම අම්මා කෙනෙකුගේම හිතේ තියෙනවා. එතැනින් නතර වෙන්නෙත් නැහැ. හැරෙන, පෙ‍රලෙන, බඩගාන,දණගාන හිටවැටෙන, මේ හැම අවස්ථාවක් වෙන තෙක්ම අම්මා , තාත්තා හරිම චකිතයෙන් ඉන්නවා. ඒ චකිතය එතැනින් අවසාන වෙන්නේ නැහැ. හාරිරිකව අපිට නොපෙනෙන, අපි නොදකින මානසික රෝගාබාධ තත්වයන් දරුවන් අතර තිබෙන්න පුලුවන්. මේ මහනුවර ශික්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මිය විසින් පෙන්වා දුන් කරුණු කීපයක්.

පුංචි දරුවන් අතර දකින ගැටළු ඇතැම් වෙලාවට අපිට පෙනෙන නොපෙනෙන තමට සියුම්. සාමාන්‍ය විදිහට හැසිරුනත් දරුවන්ගේ ඇතැම් දුබලතාවයන් අපිට දකින්න වෙන්නේ ඔවුන් සමාජය සමග ගණුදෙනු කරන විටයි. ගෙදරදී කිසිම වෙනසක් නැතුව හිටියත් පාසල් අධ්‍යාපනය ලබන විට පංතියේදී පසුගාමී දරුවෙක් වෙන්න පුලුවන්. එයින් අදහස් වෙන්නේ මේ දරුවාගේ බුද්ධිය එයාට සාපේක්ෂ අනිත් දරුවන් සමග වර්ධනය වීමේ පසුගාමීබවක් තිබෙන බවයි. ඒ වගේ දරුවන් වෙනුවන් විශේෂ අවධානයක් දැක්වීම අවශ්‍යයි.

ඒ වගේම සමහර දරුවන්ට ලිවීම අපහසුයි. අසා ලිවීමට තරම් මතකය සහ අකුරු ගලපා ගැනීමේ දුෂ්කරතාවයන් තිබෙනවා.

අධික්‍රියාශිලිත්වය

පුංචි කාලයේදී අපි හිතන්නේ දගකාරකමට කරන දේවල් කියල වුනත් දරුවාගේ වර්ධනය සමග හැසිරීමේ ප්‍රචණ්ඩත්වයක් දකින්න ලැබෙනවා. අතට අහුවෙන දේ කිසිම ඉවසිල්ලක් නැතුව කඩා බිඳිනවා. නොසන්සුන්ව හැසිරෙනවා. මේ වාගේ අධික්‍රියාශිලී දරුවන්ගේ හැසිරීම් දකින්න පුලුවන්. වයස අවුරුදු 6 ක් පමණ වෙලා පාසල් අධ්‍යාපනය ලබන විට සෙසු දරුවන් සමග සහජීවනය ගොඩ නගා ගැනීමේ ගැටලු තිබෙනවා නම් අම්මලා ටිකක් විමිසිලිමත් වීම අවශ්‍යයි.මේ අධිකි්‍රයාහීලිත්වය සමහර විට අවුරුදු 15- 16 වෙලත් අවසාන නොවී ප්‍රචණ්ඩත්වය ඉතාම දරුණු විදිහට ඇති වෙනවා. නිවසේ බඩු පොළවේ ගහන්න.. ඇතැම් වෙලාවට අම්මාට තාත්තාට පවා ගහන්න තරම් තත්වය දරුණු අතට පත් වෙනවා.

විශාදය

වැඩිහිටි අපිට විතරක් නොවෙයි. දරුවන්ටත් මානසික ගැටළු තිබෙනවා. ඒවා ඔවුන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ හිත කියවන සාස්තරය දෙමව්පියන් දැනගෙන ඉන්න වෙනවා. වෙනදා බොහොම සතුටින් සෙල්ලමින් හිටිය දරුවා දැන් සෙල්ලම් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් කෑම කන්න උනන්දුවක් නැත්නම් හෝ වැඩි වැඩියෙන් ආහාර ගන්නවා නම් අම්මලා සැලකිලිමත් වෙන්න. කුමක් හෝ වෙනස් හැසිරීමක් ඇති වෙන්න හේතුව මොකක්ද කියල සොයා බැලීම වැදගත්. සමහර විට වෙනදා නැති මහන්සි ගතියක් අලස ගතියක් පෙන්වනන් පුලුවන්.සමහර වෙලාවට දරුවාගේම කටෙන් කියවෙන්න පුලුවන් “මට දැන් ජීවිතය එපා වෙලා..” වගේ වචන.. නොසලකා ඉන්න එපා. බොහෝ වෙලාවට අපි හිතන්නේ කොහෙන් හෝ අහුලා ගත් සංවාද කොටසක් කියල වුනත් එහෙම කියනවා නම් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.

දරුවන්ගේ හැසිරීම් සියුම් විදිහට නිරීක්ෂනය කළොත් විශාදය වැනි තත්වයට පත් වෙන්න පෙරාතුවම දරුවාගේ මානසික තත්වය යහපත් කර ගැනීමට පුලුවන්.

පෞරෂ ගැටළු

දරුවාගේ පෞරෂය ගොඩ නගා ගැනීමට නම් තොටිලි වැටේ පටන්ම අපි උනන්දු වීම වැදගත්. වයස අවුරැදු පහක් වැනි කාලයක් වෙද්දී දරුවාගේ පෞරෂ ගති ලක්සණ පෙනෙන් පටන් ගන්නවා. ළදරු පාසල් අධ්‍යාපනයට එකතු වුනාම සෙසු දරුවන් සමග එකට එක්වීම අපහසු දරුවන් ගැන ටිකක් විමසිලිමත් වීම වැදගත්. මේ අවධිය වෙන විට දරුවා සමාජගත වෙන කාලයයි.

මුත්‍රාපහ කිරීමේ ගැටළු

සාමාන්‍යයෙන් වයසත් සමග දරුවාට තමාගේ මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න පුලුවන්. මුල් කාලයේදී දිවා කාලයට තමන්ගේ ඇදිවතේ මල මුත්‍රා පහ කිරීම සිදු නොවුනත් රාත්‍රියේදී මුත්‍රා පහවීම සිද්ධ වෙනවා. ඒ තත්වය කාලයත් සමග මග හැරිල ඔවුන්ට රාත්‍රියේදී පවා තමන්ගේ අවශ්‍යතාවය කියන්න හැකියාව ඇති වෙනවා.

ඔටිසම්

ළමාවියේ ඇති වෙන ස්නායු වර්ධනීය මානසික ගැටළුවක්. වයස අවුරුදු එකහමාරක් පමණ වුනාම රෝග ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. දරුවා හැම අතින්ම සාමාන්‍ය වුනත්දෙවැනි උපන්දිනය පමණ වෙද්දී කථාබහ තුළ යම් පසුගාමී තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඔහු තනියම සෙල්ලම් කරන්න බලනවා. ඇසට ඇස බලන හැකියාව නැති වෙනවා වගේම ඇගිල්ලෙන් පෙන්වන දිසාව දරුවා තේරුම් ගන්නේ නැහැ. පරිසරයේ වෙනස්කම් දා ගැනීම අපහසුයි.

මේ නිසා අපි නිතරම දරුවන්ගේ කටයුතු. හැසිරීම් ගැන වඩාත් අවධානයෙන් සිටීම වැදගත්. ජීවිතයේ සාමාන්‍ය රිද්ම රටාවට ඔවුන් අනුගත නොවෙනවා නම් එතැනදී පෙනේනේ කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බවයි. ඒ අඩුපාඩුවට හේතුව මානසික කරුණක්ද එසේත් නැත්නම් පාරිසරික හෝ හාරිරිකද යන්න අඳුනා හදුනා ගැනීම වැදගත්. ඒ සියල්ලම අපිට කරන්න පුලුවන් වෙන්නේ දරුවා හැසිරෙන රටාව ගැන අපි අවධානයෙන් සිටියොත් පමණයි. අපි අම්මලා විදිහට එහෙමනම් දරුවා ගැන දැක්විය යුතු අවධානය හිතන තරම් සරල නැහැ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here