දුවට පුතා වගේ පුතාට දුව වගේ ඇඳුම් ඇන්දවීම සුදුසු නැහැ

girl-like-a-boy

පවුලක් කිව්වාම ගැහැණු සහ පිරිමි දරුවන්ගේ මනා එකතුවක් විය යුතුයි කියන විශ්වාසයෙන් අපි පසු වෙනවා. ඒ නිසාම පවුලට ගැහැණු දරුවෙන් නැත්නම් සිටින පිරිමි දරුවන්ගෙන් අයෙක් ගැහැණු දරුවෙක් විදිහට සරසනවා. ඒ වගේම පිරිමි දරුවෙක් නැත්නම් පවුලේ සිටින ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක් විදිහට සරසනවා.

දැන් ඔබ මෙහෙම ඇහුවොත්…

ඉස්සර රජ කාලයේ වගේම ජාත්‍යන්තර යුද්ධ ඉතිහාසයේ විශේෂයෙන් නාසි ජාතිකයන් අතර වෙස්වලාගෙන ජාතිය, සමය වෙනුවෙන් යුද්ධයට ගිය කාන්තාවන් හිටියා. ඉතින් ඇයි මේ දරුවෙක් වෙනුවෙන් පිරිමි ඇදුමක් එහෙම නැත්නම් ගැහැණු ඇදුමක් ඇන්දුවාම මොකද වෙන්නේ…? මේ ගැන පසුගිය දිනක අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මියයි.

මීට අවුරුදු විස්සකට පමණ එපිට කාලයේදී පවුලේ ගැහැනු දරුවන් වෙනුවෙන් පිරිමි ඇඳුම් ඇන්දවීම වගේම පිරිමි දරුවන් වෙනුවෙන් ගැහැණු ඇදුමක් ඇන්දවීම ඉතා සුලබව තිබුනා. දැන් නම් ඒ තත්වය ඇත්තෙම නැහැ තරම්. කොහොම වුනත් මේ විදිහට අපිට අවශ්‍ය විදිහට දරුවන්ගේ ලිංග විපර්යාසයන් කිරීම නුසුදුසු බව ඇය අවධාරනයෙන්ම කියා සිටියා.

අම්මලාට මේ විදිහේ අවශ්‍යතාවයන් ඇති වෙන්නේ ඇයි…?

බොහෝ අම්මලා ගැහැණු දරුවන් වෙනුවෙන් ඇඳුම් ආයිතත්ම්වලින් සරසන්න ආසයි. ඔවුන්ගේ හැඩ බලන්න කැමැතියි. සමහර අවස්තාවදී වුනත් අපේ අම්මලාගේ කටින් කියැවෙන්නේ “දුවක් හිටියා නම් ඉතින් මෝස්තර ඇඳුම් මහන්න තිබුණා.අපිට ඉතින් ඉන්නේ පුතාලනේ…” මේ වගේ මානසික හිස් තැන් අපේ අම්මලාට තිබෙනවා.

ඒ වගේම පිරිමි දරුවෙක් නැති වුනොත් පවුලේ ඉන්න ගැහැණු දරුවා පිරිමි දරුවෙක් වගේ සරසනවා. කොණ්ඩය කොටට කපල, ගවුම් වෙනුවට කලිසම් කමිස පමණක්ම අන්දවනවා.

ඒත් කාලය සමග මේ දරුවන්ගේ පෞරෂයත් දුර්වල වෙන්න පටන් ගන්නවා. ගැහැණු ඇඳුම් ඇන්ද පිරිමි දරුවා ඉතාම ලැජ්ජාශීලී චරිතයක් විදිහට පෙනෙනන් පුලුවන්. පිරිමි දරුවන් සමග සහජීවනයෙන් කටයුතු කරන්න ඔහු පසුගාමී විය හැකියි.

ඒත් එක්කම අනිත් පාර්ශවයෙන් ගැහැණු දරුවා “මෙයාගේ හැසිරීම කොල්ලෙක් වගෙයි…” කියන තරමටම පිරිමි දරුවෙකුට සමාන වෙන්න පටන් ගන්නවා. ඇඳුම් පැළදුම් පමණක් නොව සෙල්ලම් බඩු, ගමන බිමන, කථා බහ හැසිරීම සියල්ලම පිරිමි දරුවෙකුට සමාන විය හැකියි. දරුවන්ගේ අනුකරණය අපි හිතන තරම් සරල නැහැ. එක්තරා මවක් සේවය කරනු ලැබුවේ මන්ද මානසික දරුවන්ගේ අධ්‍යාපන ඒකකයකයි. ඇයට සිටිය පිරිමි දරුවා ඉතාම හුරුබුහුටියි. සියයට සියයක්ම සාමාන්‍යයි. කාලයත් සමග මෙම ගුරුතුමිය අධයාපන ඒකකයේ පිහිටි නිල නිවාසයේ නැවතුනා. කාලයක් යද්දී ඇයට පුතාගේ ගමන, බිමන , වගේම ගති පැවැතුම් වෙනස් බව තේරුනා. මන්ද මානසික දරුවන් අනුකරණය කරමින් තමාගේ පුතුද ඒ විදිහට හැසිරීම් රටාවන් ගොඩ නගා ගෙන තිබුණා. අන්තිමේදී මේ ගුරුතුමිය නිල නිවාසය හැර දමා නැවත දුර බැහැර නොතකාම තමාගේ නිවසේ පදිංචියට පැමිණියා.

ඒ වගේම තත්වයක් මෙතැනදීත් ඇති වෙන්න පුලුවන්. අපේ මානසික හිස්බවට පිලියම් විදිහට දරුවන් අපට අවශ්‍ය විදිහට සරසා ගෙන හිත සනසා ගත්තත් එය ඔවුන්ගේ අනාගත පෞරෂය වෙනුවෙන් ඉතාම ප්‍රබල විදිහට බලපානවා.

මුලින් කී කතාවට ආයෙමත් යමුකෝ… සෙබල වෙස් අරගෙන යුද්ධයට ගිය කාන්තාවන්ගේ පෞරෂය මේ වෙන විට ගාඩ නැගී අවසානයි. ඒ නිසා ඔවුන්ට එයින් කිසිම බලපෑමක් ඇති වුනේ නැහැ. ඒත් හය හතර නොතේරෙන කිරි සපප්යන්ව මේ විදිහට ලිංග විපර්යාස වෙන විදිහට අන්දවා හැඩ බැලීම නම් එතරම් හොඳ නැති බව මනෝවෛද්‍ය විශේෂඥවරිය විසින් ඇගේ දේශනයේදී පෙන්වා දුන්නා. ඒ නිසා මේ වගේ ආසාවන් තිබෙන අම්මලා දැන් දෙවතාවක් හිතුවොත් හොදයි නේද…?

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here