ළමා වියේ වර්ධන පියවර හදුනා ගනිමු – 3

children-are-plying

වයස අවුරුදු හයත් එකොළහත් අතර කාලය තුල දරුවූ තමාගේ සමාජීය වටපිටාව හා ක්‍රමයෙන් වැඩි සම්බන්ධතා ඇතිකර ගැනීමට පටන් ගනී. පසු කලෙක වැඩිහිටියෙකු ලෙස ජිවත් වීමට අවශ්‍ය කුසලතා දියුණු වීම අරබන්න්නේද මේ අවධියේය.

බුද්ධිමය වර්ධනය ගැන සලකා බැලීමේදී මතකය , අවධානය යොමු කිරීම ආදී උසස් බුද්ධිමය කුසලතාවල කැපී පෙනෙන දියුණුවක් මේ කාලය තුල දක්නට ලැබේ. උදාහරණයක් ලෙස වයස පහක දරුවකුට එවෙනත් ළමුන් පිරිසක් එළියේ ක්‍රීඩාවක නිරත වෙද්දී කාමරය තුල සිට අධ්‍යාපනික වැඩකට අවධානය දීම ඉතා අපහසුය. නමුත් වයස අට නවය පමණ වන විට අවධානය දීමේ හැකියාව දියුණු වන බැවින් එසේ අවශ්‍ය දෙයට අවධානය යොමු කිරීමේ හැකියාව ලැබේ. අවධානය යම් දෙයකින් බිදුන ද යලිත් කරමින් සිටි දෙයට අවධානය යොමු කර එය නිම කිරීමට හැකියාව ඇත.

මතක ශක්තිය ක්‍රමයෙන් දියුණු වන බැවින් වයස අවුරුදු 10 පමණ වන විට පියවර කීපයක් සහිත උපදෙසක් මතක තබාගෙන ඊට අනුකුලව ක්‍රියා කිරීමට හැකියාව ලැබේ. නමුත්  වයස අවුරුදු හයක දරුවකුට මෙය අපහසු විය හැක. වයස් කාණ්ඩ දෙකක (උදාහරණ ලෙස වයස හයේ හා දහයේ) දරු දෙදෙනෙකු සිටින පවුල් වල මෙය පැහැදිලිව දැකිය හැකි අතර අතර එය කුඩා දරුවාගේ අවධානය අඩුකමේ ගැටළුවක් ලෙස සැලකීම සුදුසු නොවේ.

මේ කාලය තුල මතකය දියුණු කිරීමට විවිධ කුසලතා භාවිතා කිරීමෙන් (උදා : නැවත නැවත කිරීම , මතක තබා ගත යුතු දෑ යලි යලිත් මතක් කර ගැනීම , කාණ්ඩ වලට බෙදා මතක තබා ගැනීම , මනෝමය චිත්‍ර /සටහන් යොදා ගැනීම ආදී ) දරුවා  අලුත් දෙයක් ඉගෙනීමේදී ඉබේම එවැනි ක්‍රම යොදා ගැනීමේ පුහුණුව ඇතිවේ. මෙය අධ්‍යාපනික කුසලතා  දියුණු කිරීමට විශාල රුකුලකි.

වයස අවුරුදු හය පමණ වනවිට තමාගේ වම , දකුණ හදුනා ගැනීමටද , වයස හත, අට වනවිට අන් අයට සාපේක්ෂව වම, දකුණ හදුනා ගැනීමටද හැකියාව ලැබේ. එමෙන්ම මෙම කාලය තුල දිනය හා වෙලාව පිළිබද අවබෝධය ,තමාගේ වාරය එනතුරු ඉවසීම , හැඩය , විශාලත්වය , පාට ආදියෙන් ද්‍රව්‍ය වර්ග කිරීම ආදී හැකියාවන් දිය වර්ධනය වේ. මීට අමතරව ගැටළු විසදීම , යමකට හේතු දැක්වීම , තමාගේ සිතුවිලි පිළිබද අවබෝධය , අවශ්‍ය දෙයට පමණක් අවධානය දීමේ හැකියාව ආදී උසස් බුද්ධිමය කුසලතා වර්ධනය වීමෙන් කියවීම, ගණිත සංකල්ප අවබෝධ කර ගැනීම ආදී අධ්‍යාපනික කුසලතා දියුණු වීමේ පදනම වැටේ.

මේ කාලය තුල දරුවකු අලුතින් ඉගෙන ගන්නා වචන සංඛ්‍යාව ශීග්‍රයෙන් වැඩි වන අතර භාෂා හා සන්නිවේදන කුසලතා දියුණු වේ. අන් අයෙකු සමග සාර්ථකව දුරකථන  සංවාදයක  යෙදී මට ඔවුන්ට හැකිය.

මෙම කාලය බුද්ධි වර්ධනයට අමතරව ආත්ම විශ්වාසය ඇති කර ගැනීම , අවේග පාලනය කර ගැනීම අන් අයගේ අදහස් තේරුම් ගැනීම හා ඊට නිවැරදිව ප්‍රතිචාර දැක්වීම , සම වයසේ අන් අය හා යහපත් සබදතා ගොඩ නංවා ගැනීම ආදී මනෝ සමාජීය වර්ධන පියවරයන් දියුණු වීමටද එක සේ වැදගත් වේ. මේ වයස් කාණ්ඩයේ දරුවන්ට තමාගේ හැකියාවන් පිළිබද දෙමව්පියන් , ගුරුවරුන් ඇතුළු අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර ආත්ම ශක්තිය වර්ධනය වීමට බල පායි. වැඩිහිටියන් දරුවා උපහාසයට ලක් කරයි නම්, දරුවා  කල සුළු දෙයක් හෝ අගය නොකරයි නම් එය දරුවාගේ ආත්ම විශ්වාසය අඩු වීමට හේතුවක් විය හැක.

මෙම අවධියේ දියුණු වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ තමාව පාලනය කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස පෙර පාසල් වයසේ දරුවකු තමාට යම් අවශ්‍යතාවක් ඇති වූ විට එය අන් අය එවෙලේම ඉටු කර දෙතැයි බලාපොරොත්තු වේ. නමුත් පාසල් අවධියේදී තමාට අවශ්‍ය හෝ තම කැමති දෙයක් වෙනුවෙන් ඉවසා සිටීමේ හැකියාව ඇතිවේ. එසේම අන් අයගේ අවශ්‍යතා හා හැගීම් තේරුම් ගෙන ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමටද , වෙනස් අදහස් ඇති සම වයසේ දරුවන් හා එක්වී ක්‍රීඩා හෝ වෙනත් ක්‍රියාකාරකම්වල දීමටද හැකියාව ඇති වේ.පාසල් වයසේ දරුවන් අතර මෙම කුසලතා නිසි පරිදි දියුණු නොවීම  හැසි රීමේ  ගැටළු ඇති වීමට හේතු විය හැක.

වයස අවුරුදු අටේ පමණ සිට තමා විවිධ චිත්තවේග අත් විදින බව දරුවාට පැහැදිලිව තේරුම් ගත හැක. එමෙන්ම පෙර පාසල් වයසේ දරුවකුට වඩා එම අවේග පාලනය කිරීමේ හැකියාව ඇත. විවිධ චිත්තවේග එනම් තරහ , බය, දුක ආදිය නිසි ලෙස හදුනා ගැනීමට හා එනම් අවස්ථාවල නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම මේ වයසේ දරුවන් තුල දියුණු කල යුතු ගුණාංගයකි.

මෙම වර්ධන අවධිය තුල දරුවා තුල දියුණු වන තවත් වැදගත් ගුණාංගයක් වන්නේ නිවැරදිව ගැටළු විසදා ගැනීමේ හැකියාවයි.මෙම කුසලතාවය නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව් කිරීම මගින් යව්වන වියේ ඇති විය හැකි බොහොමයක් හැසිරීමේ ගැටළු මග හරවා ගත හැක.

මෙසේ සිදුවන බුද්ධිමය , මනෝ සමාජීය හා හැසිරීමේ වෙනස්කම් මගින් ඉන් පසුව එළබෙන යොවුන් විය ට දරුවා හැඩ ගැස්වෙන අතර , විශේෂයෙන්ම තමාගේ අනන්‍යතාවය හදුනා ගැනීමේ මුල් පදනමද වැටේ.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here