ළදරුවන් නොනවත්වා හඬවන COLIC තත්වය මගහරින්න උපදෙස්

crying-baby

“බබා හරියට අඬනවා … කිරි දුන්නත් එයා නැලවෙන්නෙම නෑ.. ඇත්තටම දැන් නම් බයත් හිතෙනවා… ඇයි මගේ බබා මේ තරමටම අඬන්නේ …?”

අලුත උපන් දරුවෙක් සාමාන්‍යයෙන් මව්කිරි අවශ්‍ය වූ විට, මල මුත‍්‍රා පිට කළ විට, නිදිමත නිසා හඬා වැටෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. ළදරුවාගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ පසු නැවත ඔවුන් සන්සුන් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කිසිසේත්ම හැඬිම නතර කරගත නොහැකි තත්ත්වයට හඬා වැටෙන දරුවන් ද දැක ගත හැකියි. මේ ලිපියේ අරමුණ වන්නේ ඒ ආකාරයට නොනවත්වා ඉතා තදින් හඬා වැටෙන දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීමයි.

උපතෙන් පළමු සති දෙක තුන ගෙවී ගිය පසුව මව්කිරි/පිටිකිරි ලබාදෙන සමහර ළදරුවන් සවස් කාලයේ අසාමාන්‍ය ලෙස හැඬිම මව්වරුන් මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයකි. මෙම හැඬිම දෙමව්පියන්ට කිසිසේත්ම පාලනය කළ නොහැකි විය හැකියි. මෙසේ ළදරුවෙකු පාලනය කරගත නොහැකි සේ අසාමාන්‍යව හඬා වැටීමට හේතුව ලෙස ඇතැම් විට COLIC නම් වූ තත්ත්වය දැක්විය හැකියි. මෙය ප‍්‍රායෝගිකව ගත් කළ නිවසක සාමාන්‍ය වටපිටාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවෙන තත්ත්වයකි.

COLIC (කොලික්)

සාමාන්‍යයෙන් බඩවැලේ ඇති විය හැකි යම්කිසි තෙරපුමක් මේ තත්ත්වයට හේතුව ලෙස පැවසූවද ඒ තෙරපුම ඇති වීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී මේ හැඬිමට හේතුව කොලික් තත්ත්වයද නැතිනම් වෙනත් තත්ත්වයක්ද යන්න සැක හැර දැනගන්න.

දරුවා අසාමාන්‍ය ලෙස හඬා වැටෙන්නේ කොලික් තත්ත්වය නිසා බව තහවුරු වූ පසුව අවශ්‍ය පිළියම් වෙත යොමු විය හැකිය. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනවාට වඩා ඖෂධ වර්ග නොමැතිව පාලනය කිරීමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වේ.

ඖෂධ වර්ගවලින් තොරව කොලික් තත්ත්වය පාලනය කිරීමට නම්…

සාමාන්‍යයෙන් ළදරුවා හඬන විට උඩු අතට වඩාගෙන ළදරුවාගේ උදරය අපේ උරහිසට/පපුවට තෙරපා තබාගනිමින් ඒ මේ අතට ඇවිදීම මගින් තත්ත්වය යම්තාක් දුරට සමනය කරගත හැකිය.

නැතිනම් ළදරුවා වාහනයක රැගෙන යාමෙන් ළදරුවා රිද්මයානුකූලව පැද්දීමෙන් හෝ වෙනත් ආකාරයකින් ළදරුවාගේ අවධානය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරට මගහරවා හැඬිම පාලනය කරගත හැකියි. මේ ක‍්‍රමයකින් ළදරුවාගේ හැඬිම නවතා ගතහොත් ළදරුවා ඇඳක් මත මුනින් අතට තබා රිද්මයානුකූලව පිට පිරිමැදීම මගින් දරුවා නින්දට යොමු කළ හැකිය. ළදරුවාගේ හැඬිම පාලනය කරගැනීම සඳහා බොහෝවිට මෙම ක‍්‍රමය ප‍්‍රයෝජනවත් වනු නිසැකය.

මේ ආකාරයෙන් ඖෂධ රහිත ක‍්‍රම හරහා ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අපහසු නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වේ.

නමුත් හැකි හැමවිටම ඖෂධ ප‍්‍රතිකාරවලින් තොරව දරුවාගේ හැඬිම පාලනය කරුනීමට උත්සාහ කිරීම වඩා සුදුසු බව සිතට ගන්න.

ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ නව ජන්ම සහ ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here