- Advertisement -

නව යොවුන් දරුවාගේ මොළයේ වර්ධනය හදුනා ගනිමු

-

යොවුන් විය යනු ඕනෑම අයෙකුගේ ජිවිතයේ ඉතා වැදගත් වර්ධන අවස්ථාවකි.ළමා වියෙන් වැඩිහිටි වියට ක්‍රමයෙන් පියමනින දරුවා එහි අභියෝගයන්ට මුහුණ දිමට මේ කාලය තුල ඉගෙන ගනී.මේ අවධියේදී  කායික වර්ධනයේ පමණක් නොව මනෝ සමාජීය වර්ධනයේද වැදගත් වෙනස්කම් රාශියක් සිදු වේ.ඒවා නිවැරදිව හදුනා ගැනීම  දෙමව්පියන්ට ඉතා වැදගත් වන්නේ එමගින් තම දරුවාගේ විවිධ හැසිරීම් නිවැරදිව අවබෝධ කර ගැනීමටද , දරුවාට අවශ්‍ය මග පෙන්වීම ලබා දිමටද එය මනා රුකුලක් වන බැවිනි.

මොළයේ වර්ධනය ශීග්‍රයෙන් සිදුවන්නේ මුල් අවුරුදු 3-4 තුලය.ඉන් පසු මොලයේ විවිධ කොටස් ක්‍රම ක්‍රමයෙන් විවිධ වයස් වලදී වර්ධනය වේ.අවසානයටම වර්ධනය වන්නේ අපේ මොළයේ නළල පිටුපස ඇති pre frontal cortex  නම් කොටසය.මෙය යොවුන් විය තුල සිදු වී වැඩිහිටි වියේ දී සම්පූර්ණ වේ.ඇත්තෙන්ම පුද්ගලයෙකුගේ වයස 30 පමණ වන තෙක්ම මොළයේ වර්ධනය සිදු විය හැකි බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත.Pre frontal cortex නම් කොටසින් ඉතා වැදගත් කාර්ය රැසක් ඉටුවේ. එනම් යමකට නිවැරදිව අවධානය දීම , තීරණ ගැනීම , ගැටළු විසදීමේ හැකියාව , ආවේග පාලනය ආදියයි.

- Advertisement -

නමුත් යව්වනයකුගේ යව්වනයකුගේ මෙම කොටසේ වර්ධනය සම්පුර්ණ වී නැති බැවින් ඔවුන්ට ආවේග පාලනය කිරීමේ හැකියාව අඩුය. යොවුන් වියේ දරුවන් බොහෝ විට ආවේගශීලි වන්නේද , වැඩි දුර සිතීමකින් තොරව හැගීම් මත පදනම්ව තීරණ ගැනීමට පෙලබෙන්නේද මේ නිසාය. එමෙන්ම නිතරම උත්තේජනයන් සොයා යාමටද , අවධානම් කටයුතුවල දීමටද ඔවුන් පෙළබේ.

මේ කාලය තුල දරුවකුගේ කායික වර්ධනයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවේ. සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය අධික වේ. මිට සමාන්තරව සිදුවන මානසික වෙනස්කම්ද හේතුවෙන් ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම්ද දෙමව්පියන්ට දැකිය හැකිවේ.

මේ කාලය තුල මොළයේ වර්ධන වෙනස්කම් හේතුවෙන් යොවුන් දරුවා තමාගේ සිතුවිලි හා හිතීමේ ක්‍රියාවලිය  ගැන වැඩි අවධානයක් යොමු කරයි. අන් අයගේ අවධානය තමා වෙත නිරතුරුවම යොමු වී ඇතැයි සිතයි. එබැවින් පිරිසක් සිටින තැනක තමා අදින පළදින ආකාරය , හැසිරෙන ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කරයි.

යොවුන් වියේදී දරුවෝ දෙමව්පියන් හා ජිවත් වුවද තමාගේ අනන්‍යතාවය වර්ධනය කර ගැනීමට වෙහෙසෙති.ඉහල ආත්ම විශ්වාසයක් හා වටිනාකමක් තමා කෙරෙහි ඇති කර ගනිති. එසේම අනිත් අතට ස්වයං විවේචනයේ යෙදීමද , ඉක්මනින් දුකට හා අපේක්ෂා භංගත්වයට පත් වීමටද හැක. මේ කාලය තුල දෙමව්පියන්ට වඩා සම වයසේ මිතුරු කණ්ඩායම් ප්‍රිය කිරීම සාමාන්‍ය තත්වයකි. හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ වැඩි ආකර්ෂණයක් දැක්වීමද දැකිය හැක.

මේ කාලය තුල මොළයේ වර්ධනය නිසි පරිදි සිදු වී සාර්ථක වැඩිහිටියකු ලෙස සමාජයට පිය නැගීමට දෙමාපියන් ඇතුළු පවුල් පරිසරයෙන් නිසි සහය ලැබීම අත්‍යවශ්‍ය වේ.දෙමව්පියන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ඔවුන්ගේ ආත්ම ශක්තිය දියුණු වීමට අත්වැලකි. ඔවුන්ට නිවසේ පැහැදිලි , වෙනස් නොවන නීති මාලාවක් තිබීම අත්‍යවශ්‍යය.

යොවුන් දරුවන්ට දඩුවම් කිරීම කිරීම සුදුසු නොවේ. ඔවුන් කිසියම් අහිතකර දෙයක නියලුනහොත් , ඔවුන් කැමති දෙයක් නොදී සිටීම හෝ තහනම් කිරීම වැනි ක්‍රම වඩා සුදුසුය. මේ වයසේදී  යහපත් ජිවන රටාවකට හුරු කරවීමද ඉතා වැදගත් වේ.

මේ වයසේ දරුවන් හැගීම් මත ක්‍රියා කිරීම , ආවේගශීලි වීම හා අවදානම් ක්‍රියාවල නිරතවීමට වැඩි නැඹුරුතාවයක් ඇති බැවින් ඔවුන් හා වැඩ කිරීමේදී දෙමාපියන් සුපරික්ෂාකාරී හා නැණවත් විය යුතුය. දෙමව්පියන්ද අවෙගශීලි වීමෙන් දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ඇතිවීම අපි ප්‍රයෝගිකව සුලබව දකිමු. මෙයින් දරුවන් හා දෙමව්පියන් අතර සබදතාවය බිද වැටෙයි.

වත්මන් සමාජයේ ඇති දැඩි තරගකාරිත්ව හේතුවෙන් යොවුන් දරුවන් විවිධ ගැටළු වලට මුහුණ පානු අපි දැක ඇත්තෙමු. විශේෂයෙන් අධ්‍යාපනික පීඩනය , මිතුරු කණ්ඩායම්වල බලපෑම් , පවුලේ ගැටළු , ආදර සබදතා පිළිබද ගැටළු ආදිය නිසා  ඔවුන් අධික මානසික ආතතියට ලක්විය හැක. මෙබදු ගැටළු වලට මුහුණ දුන් දරුවන් ගැටළු විසදා ගැනීමේ හැකියාව අඩුකම හා ආවේග ශිලිකම හේතුවෙන් තමාටම හානි සිදුකර ගැනීම , මත්පැන් , මත්ද්‍රව්‍ය වලට යොමුවීම වැනි අහිතකර ක්‍රම වලට යොමු විය හැක.

එබැවින් විශේෂයෙන් යොවුන් දරුවකු  මානසික පීඩාවෙන් පෙලේ යයි සිතේ නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය සහය ඉක්මනින් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමකි.මෙබදු අවස්ථාවක දෙමව්පියන්ගේ වැරදි ප්‍රතිචාර (එනම් දැඩි දඩුවම් , අධික ලෙස විවේචනය කිරීම , උපහාසයට ලක් කිරීම ) ආදිය හේතුවෙන් තත්වය තවත් උග්‍ර විය හැක.

තවද යොවුන් දරුවන් අතරද විෂාදය වැනි සුලබ මානසික ගැටළු දැකිය හැක.නමුත්  බොහෝ විට ඒවා හදුනා නොගැනේ. විශේෂයෙන්  නුරුස්ස්සන බව , අධික කේන්තිය වැනි ලක්ෂණ විශාදයේ ලක්ෂණ විය හැකි අතර ඒවා යොවුන් වියේ සාමාන්‍ය දේ යයි සිතා නොසලකා හරිනු දක්නා ලැබේ .මෙය දරුවාගේ අධ්‍යාපනයට පමණක් නොව  අනාගතයටද අසතුටුදායක ලෙස බල පෑ හැක.

යොවුන් වියේ දරුවකුගේ මොළයේ වර්ධන වෙනස්කම් හා සමබර මනසක් පවත් වා ගැනීමට ඔහුට හෝ ඇයට සහය විය හැක්කේ කෙසේද යන්න පිළිබද නිවරදි දැනුම ලබා ගැනීමෙන් ඔවුන්ට සාර්ථක වැඩිහිටියෙක් ලෙස සමාජයට පිවිසීමට ඔබට අත්වැලක් විය හැක.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article