බුද්ධියේ කඩුලු පනින්න දරුවාට අවසර දෙමු

child-development

ළමා බුද්ධි වර්ධනය පිළිබඳව කතා කරන විට ජීන් පියාජේ පිලිබඳව කතා නොකරම බැරිය.දරුවන්ගේ මානසික වර්ධනය පිලිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන න්‍යායන් පාදක කර ගෙන අපිටත් අපේ දරුවන්ගේ හැසිරීම් රටාවන් ගැන ප්‍රායෝගිකව අධ්‍යනය කරන්න පුලුවන්.දස මාසයක් කුස තුල හිඳ ලෝකයේ ආලෝකය දකින දරුවාගේ බුද්ධියේ වර්ධනය ජීන් පියාජේ විසින් කඩුලු හතරක් විදිහට හඳුන්වා දී තිබෙනවා. ඉතින් සමහර විට මේ කඩුලු සෙමෙන් පනින දරුවනුත් ඉන්න පුලුවන්. ඒ ගැනත් කලබල නොවී ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය සමග පියාජේගේ හදුනා ගැනීම් ආදේශ කර බලන්නකෝ…

අවුරුදු දෙකක් පමණ වෙන තෙක් මානසික වර්ධනය ඉතා සෙමින්…

වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාගේ මානසික වර්ධනය ඉතා සෙමෙන් සිද්ධ වෙන බව ජීන් පෙන්වා දෙනවා.මේ කාලයේදී දරුවන් පරිසරයේ වෙනස්කම්වලට ඒ තරම්ම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ගැන හිතන්න. දරුවාගේ අත තිබුන සෙල්ලම් බඩුවක් හෝ වෙනත් දෙයක් ඔබ ඔහුගෙන් ඉවත් කර කොට්ටය යටින් තබන්න. තමාට මේ දෙය අහිමි වීම නිසා දරුවා අඬන්න පුලුවන්. ඒත් එය සොයන්නනට තරම් විමසිලිමත් බුද්ධියක් මේ පළමු කඩුල්ලේදී දරුවාට ඇත්තේ නැහැ. හරිම ලේසියි නේද…? අනවශ්‍ය දේ දරුවාගෙන් ඉවත් කලාට එය ඉල්ලමින් ගෝරනාඩු දැමීමට තරම් බුද්ධිමත් බවක් මේ කාලයේදී නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට දරුවා හසුරුවන්න පුලුවනි.

දෙවැනි කඩුල්ල

දැන් දරුවාට වයස අවුරුදු දෙක සහ හතර කාලයයි. ඒ කියන්නේ ජීන් පියාජේගේ දෙවැනි කඩුල්ල පනින්න සූදානම් අවධියයි.දැන් දරුවාගේ හිතේ සංකල්ප රූප මැවෙනවා. බෝලය කිව්වාම ඔහු එහි හැඩය දන්නවා. බල්ලා, බළලා හදුනනවා. ඒ වගේම ඔවුන් මේවාට තමන්ගේ වචන ගොඩ නගා ගන්නවා. හරකාට දූවා විදිහට… බල්ලාට බව්වා විදිහට කථා කරනවා..මල් වලට ආදරේ කරනවා. අවුරුදු හතරක් පමණ වෙද්දී ඔන්න ප්‍රශ්න ගොඩයි. වලාකුළු යන්නේ කොහාටද…? තරු දවල්ට ඉන්නේ කොහේද…? මල් පිපෙන්නේ කොහොමද….? ඒවාට පාට කොයින්ද…? අම්මට තාත්තාට වෙනම ඉගෙන ගන්න වෙලා. හැබැයි දරුවන් අහන මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්න ඕන. බොහෝ දෙමව්පියන් මේ වෙලාවට දරුවන් පන්නා ගන්නේ අනේ මේ වැඩක ඉන්නේ..මං දන්නේ නැහැ කියල බොහොම නුරුස්නාවෙන් කියන ගමන්. ඒ විදිහට දරුවන් පලවා හරින්න එපා. ඔවුන් මේ පනින්න යන්නේ බුද්ධියේ දෙවැනි කඩුල්ලයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ සූදානම් ශරීරයෙන් ඉන්න..

තුන්වැනි කඩුල්ල

බුද්ධියේ තුන්වැනි කඩුල්ල පනින දරුවාගේ වයස අවුරුදු 6 සහ 11 අතර වෙනවා. අපේ රටේ නම් දරුවාගේ ඉතාම අවාසනාවන්ත කාලයක්. ඇයි…. ශිෂ්‍යත්වයේ කඩුල්ලත් දැන් ඇවිත්. ඒත් දරුවාගේ ජීවන රටාවේ තුන්වැනි කඩුල්ල පැනීමට ස්වාධීන අවස්ථාවක් තිබෙනවා නම් අනාගතයේ ඇති ඕනෑම බුද්ධියේ අභියෝග ඔහු බාර ගනීවි. මේ කාලයේදී තර්ක බුද්ධියෙන් හිතන්න තරම් දරුවා දියුණු නැහැ. යකඩ රාත්තලයි…පුලුන් රාත්තලයි..අතරින් වැඩි බරක් යකඩද..එහෙම නැත්නම් පුලුන්ද ඇහුවොත් ගොඩක් දරුවන්ට නිවරැදි පිලිතුර ලබා දීමට අපොහොසත් වේවි. ශීෂ්‍යත්වය ඉදිරියේ වුනත් තර්ක බුද්ධිය වඩාත් වැදගත් නිසා ඒ නිපුනතාවයට පත් වෙන පිරිසත් සීමා වෙන්න පුලුවන්. තුන්වැනි කඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ ස්වාදීනත්වයෙන් ගලා යෑමට ඉඩ දෙන්න. ඒ වගේම මේ කාලයේදී ඔබට දරුවාගේ ජීවිතයට බොහෝ දේ පරිසරයෙන් එකතු කරන්න පුලුවන්. යන එන විට ඇසෙන දකින දේ සහ ඒවායේ තිබෙන තර්කානුකූල බව පෙන්වා දීමට පුලුවන්. එවිට අනාගතයේදී තර්කානුකූලව බලන්න දරුවා පුරුදු වේවි.

හතරවැනි කඩුල්ල

දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාවන් දැන් වර්ධනය වීමට පටන් ගන්නවා.එය ඉතාම තීරනාත්මක අවධියක්. ජීන් පියාජේගේ මෙම සංකල්ප අධ්‍යාප විද්‍යාවට ආදේශ කර ගෙන බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවන විදිහට සකස් කිරීමට පටන් ගත්තා. බොහෝ රටවල අධ්‍යාපනය දරුවන්ට බරක් නැහැ.

පින්ලන්තය 2020 වන විට පාසල් අද්‍යාපනය විෂය නිර්දේශයක් වෙනුවට “සංසිද්ධි හා අවස්ථා” විදිහට තෝරා ගැනීමට (phenomenons & events) අවස්ථාව ලබා දී තිබෙනවා. එවිට දරුවා තෝරා ගන්නේ තමාට අවශ්‍ය සංසිද්ධියක්. උදාහරණයක් විදිහට මල් වගාව ගැන දරුවා තෝරා ගත්තොත් ඊට අදාල අවස්තාවන් සියල්ල ඔහුට කැමැත්තෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ නැතුව කෘෂිකර්මය, ජීව විදයාව විදිහට වෂය නැහැ. හැබැයි කැමැත්තෙන් ඉගෙන ගන්නා දේ පිටුපස මුලින් කී විෂයයන් ඇතුලත් වෙන්නේ විෂයබරක් නැතුවයි. ඒ නිසා දරුවා ආසාවෙන් ඉගෙන ගන්නවා. පින්ලන්තය මේ රටාව මුලින්ම ආදේශ කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවන්ටයි. ජීවිතයේ කුනාටු කාලයේදී අධයාපනය ඉතාම රසවත් අත්දැකීමක් බවට පත් වෙන්න මේ අවස්තාවෙන් හොදටම ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම ඉගෙනුම රසවත් අත්දැකීමක් වේවි. දැනටත් පින්ලන්තය ලෝකයේ සාර්ථක අධයාපන ක්‍රම භාවිතා කරන රටවල් දහය ඇතුලට ඇතුලත් වෙනවා.

මේ ගැන අදහස් දක්වමින්  පින්ලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාණී “මජ්රා කිලොනෙන්” සඳහන් කරන්නේ ඉස්සර කාලයේ තිබුන සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් අපි බොහොම කාලයක පටන් නිදහස්. පාසල් කාලය ඉතාම නිදහසින් ගත කර පින්ලන්ත දරුවන්ට ගෙදරවැඩ නැහැ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ඉඩක් මිස විෂයබරක් පවරන්න අපි කැමැති නැහැ.

එහෙම නම් ජින් පියාජේ පෙන්වා දෙනඅ න්දමට දරුවන්ට නිදහසේ හිතන්න, කටයුතු කරන්න අවශ්‍ය පරිසරය සකස් විය යුතු මේ කාලය හෙවත් බුද්ධි වර්ධනයේ හතරවැනි කඩුල්ල නිදහසේ පැන යන්න  අපිත් අවසර දෙමු.

jean-piaget
ජින් පියාජේ (jean piaget)
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here