අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීම වලක්වා ගැනීමට

child-using-internet

අද බොහෝ මව්පියන් නගන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි අපේ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කිසිම දෙයක් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න කැමැති නැහැ. “හැම තිස්සේම ‍ඉන්ටර්නෙට් එකේ…” මේ චෝදනාව අද හැම පවුලකටම බලපාන තත්වයක්.ඇත්තටම දරුවන් මේ තත්වයට පත් වීමට බලපාන හේතු තිබෙනවා.

ඉස්සර කාලයේ පවුලක් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඊට බලපාන ලද එක් හේතුවක් තිබෙනවා. අද වගේ විද්‍යුත් සන්නිවේදන තාක්ෂනයක් එදා තිබුනේ නැහැ. තොරතුරු බෙදා හැරුනේ ගමේ කඩපිලේ… නාන තොටුපොලේ.. මේ වගේ පොදු තැන්වලයි. ඒ විදිහට පෙරා ගත්තු තොරතුරු නිවසේ උදවිය අතර හුවමාරු වුනා. ඒ වෙනුවෙන් බොහෝ වේලාවට වෙන්වුනේ රෑ ආහාරය බුක්ති විදින අවස්ථාවයි. අද මේ අවස්ථාව පවුලකට අහිමි වෙලා. රාත්‍රි ආහාරය වුනත් ඔවුන් වෙන් වෙන්ව බුත්ති විදින්නත් එක හේතුවක් තිබෙනවා. සේරටම වඩා මුලට එන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමයි. ඉතින් අපි මේ තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල කුඩා දරුවන්ට තාක්ෂණ මෙවලම් දෙන්නේම නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ටට තාක්ෂණ මෙවලම් හසුරුවන්නට අවසරයක් ඇත්තේම නැහැ.ඔවුන් ඒ තරමටම දරුවන්ගේ මානසික තත්වය ගැන උනන්දුවක් දක්වනවා. මේ කාලයේදී දරුවන්ට තාක්ෂණ මෙවලම් සමග ගණුදෙණු කිරීමට අවසර ලබා දීම අහිතකර තත්වයක් විදිහ ඔවුන් පෙන්වා දෙනවා.

සතා නපුරු නම් පෝෂණය කරන්න එපා…

2005 වසරේ මාක් සකර්බර්ග්ගේ ෆේස් බුක් ආයතනයට සම්බන්ධව කටයුතු කළ චමත් පලිහපිටිය අද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක්ව සිටින ශ්‍රි ලාංකිකයෙක්. ඔහු මුහුණුපොත ගැන දක්වන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. විශේෂයෙන් දරුවන් මුහුණුපොත පරිශීලනය කිරීම ඔහු අනුමත කරන්නේ නැහැ. චමත් පලිහපිටිය සඳහන් කරන විදිහට ෆේස්බුක් කියන්නේ “ඩෝපමින් උත්තේජන” (dopamine driven feedback loops) ප්‍රතිචාර චක්‍රයක් බවයි. මුහුණුපොත සමග ගණුදෙණු කරන විට Likes, Comments, Hearts, Thumbs Up වැනි බෙදා හදා ගැනීම් නිසා ඇබ්බැහි වීමට සමාන රසායනයන් මොළයෙන් නිදහස් වෙන බවයි. ඒ නිසා නැවත නැවත මේ ප්‍රතිචාර මතම යැපෙන නිසා මේ පුරුද්දෙන් මිදීම අවශ්‍ය බැව් ඔහු පෙන්වා දෙනවා. ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රවර්ධනයට අත් හිත දුන් තැනැත්තෙක් විදිහට ඔහු විසින්ම මෙම ප්‍රකාශය කිරීම මහත් සේ ආන්දෝලනයට තුඩු දුන්නා ඒත් ඔහුගේ අදහස වෙන්නේ ” යම් සතෙක් නපුරු නම් , අනර්ථකාරී නම් අපි ඒ සතා පෝෂණ්‍ය කළ යුතුද යන්නයි. එහෙම නැත්නම් අපි එයින් ඉවත් විය යුතුයි. ඒ විතරක් නොවෙයි, අපි ඉවත්වීම සමග ඒ වෙනුවෙන් විකල්ප සෙවීමත් වැදගත්…”

සීමාව දන්නෙත් නැහැ…

අද බොහෝ දරුවන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ යා යුතු සීමාවන් ගැන දැනීමක් නැහැ. අලුත් පරම්පරාව මෙන් වැඩිහිටි පරම්පරාවට මේ කුසලතාවය නැති නිසා ඔවුන්ටත් දරුවන්ට සීමාවන් කියා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා අද අන්තර්ජාලය ඔස්සේ විවිධ අපහසුතාවයන්ට පත් වුන දරුවන් සිටිනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැණුවත්බව ලබා සිටීම වැදගත්.

දරුවන් හුදෙකලා කළ යුතු නැහැ..

අද හැම පවුලකම සිටින්නේ දරුවන් දෙදෙනෙක් එහෙමත් නැත්නම් එක්කෙනෙක්. ඒ නිසා සහෝදර සමාගමක ඇසුර දරුවන්ට නැහැ. ඔවුන් නිතරම හුදෙකලා පිරිසක් බවට පත්ව සිටිනවා. නිවසේ තමාගේ ඇසුරට සිටින්නේ සේවකයෙක්. සමහර විට කිසිම කෙනෙක් නැතිවෙන්නත් පුලුවන්. අම්මා තාත්තා දෙන්නාම රාජකාරි කටයුතුවල නිතර නිසා දරුවන් නිවසේ හුදෙකලා වුනාම ඔවුන්ට කුමන හෝ මගක් කාලය ගෙවන්න අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාලය සමග සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට දරුවන් ඉබේටම යොමු වෙනවා. කාලයත් සමග මේ මාධ්‍ය ගණුදෙණුව ඉතාම අහිතකර විදිහට දරුවන්ට බලපානවා.

නිතරම දරුවන් සමග ඉන්නදෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන් සමග සිටින්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් විමසා සිටින්න. තොරතුරු බෙදා හදා ගන්න. දරුවන්ගෙන් ඔබ දුරස්ථ වූ විට ඔවුන්ගේ හිතේ ඇති වෙන හුදෙකලා බව නිසා කුමන හෝ අන්දමකින් මෙම හිස්තැන පුරවා ගැනීමට දරණ උත්සාහය නිසා දරුවන් නොදැනීම මෙම සමාජාල වෙත ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා.

හොඳ වගේම නරකත් තිබෙනවා…

අන්තර්ජාලය සහ සමාජ ජාල මගින් යහපත් වගේම අයහපත් ප්‍රතිඵල ඇති වීමට තිබෙන ඉඩ කඩ ගැන දරුවාටත් කියා දෙන්න. යම් වයස් සීමාවකදී වුනත් දරුවන්ගේ අධ්‍යාපණික කටයුතු වෙනුවෙන් මෙම ජාල පහසුකම් වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කළත් එයින් අනර්ථකාරී ප්‍රතිඵලත් ලැබෙන්නනට තිබෙන හැකියාව ගැනත් දරුවාට අවබෝධ කර දීම ඉතාම වැදගත්.

අද ලෝකය පුරාම මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු වෙමින් තිබෙනවා. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටී. බී.බී.සී පුවත්සේවයේ සඳහන් අන්දමට වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ. යුරෝපා සංගමයේ නව විධිවිධානයන්ට අනුව සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි මේ නිසා දරුවන් මාධ්‍යජාල පරිශීලනයේදී වඩාත් සුරක්ෂිත විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here