නිරවුල් මනසකින් ජීවිතය දකින්නට දරුවන්ට කියා දිය යුත්තේ කවුද?

mom-and-child

මොහොතින් මොහොත වෙනස් වෙන අපේ ජිවිතයේ එක් එක් මොහොතේදී අත්විඳින අත්දැකීම් එකකට එකක් වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. එකම දෙයක් සම්බන්ධව උනත් දෙවතාවක් වුනොත් අපට ලැබෙන්නේ අත්දැකීම් දෙකක්.

අම්ම කෙනෙක් විදියට අනෙක් අම්මල දරුවන්ගේ ගැටලුවලදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මමත් දැනගන්න කැමති එයාල වගේම මමත් දරුවන් දෙන්නෙක්ගේ වැඩ, අඩදබර වගේම එයාලගේ ආදරය මැද්දේ දවස ගෙවන නිසයි. සමහර අම්මලා දරුවන්ගේ හැකියාවන් අසාවන් එක්ක ඉදිරියට යන්න මග පෙන්වනවා. සමහර අම්මලා තමන්ගේ හීන දරුවන්ගෙන් සැබෑ කරගන්න වෙහෙස වෙනවා. මේ දෙවිදිය ගැනම පිටින් ඉඳගෙන දකින අපිට වරදක් කියන්න අමාරුයි. ඒත් දරුවෙක් අකමැත්තෙන් මව්පියන්ගේ අසාවන් වෙනුවෙන් වෙහෙස කරවනවා නම් ඒ දරුවාගේ අනාගතය එතරම්ම සාර්ථකත්වයට පත් වෙන්නේ නැති වෙයි කියන අදහසේ මම ඉන්නවා.

මෙන්න මේ වගේ ගොඩක් අදහස් එක්ක දරුවන් ගැන අම්මලා කියන කතා අහගෙන ඕනේ තරම් වෙලාවක් ගත කරන්න පුළුවන්. ඒ, ඒ කතා ඒ තරමටම සුන්දර නිසයි. මේ කතා අතරේ හොඳින් පාසැල් වැඩකටයුතු කරන දරුවෝ, අම්මලාට බොරු කතා ගොතන පුංචි කතා කාරයෝ, නාන්න ඇඟ සෝදන්න අදිමදි කරන දරුවෝ, උදේ පාන්දර අඩා වැටිලා මුළු ගෙදරම අපිළිවෙළ කරන දරුවෝ වගේම සිහින ලෝකවල හිනා වේවි දවස ගෙවන දරුවෝ ගැන අම්මලා කියන කතා හරිම රසවත් කියලත් මට හිතුණා.

නාන්න කම්මැලි දරුවෙක් බොරු ලෙඩක් අරගෙන ඒ අවස්ථාව මගඅරින්න හදන එක බොහොම සාමාන්‍ය දෙයක් විදියටයි මම නම් දකින්නේ. ඒ වගේම කෑම මේසෙට ආවාත් ස්පයිඩර් මෑන් වගේ එන්න උත්සාහ කරන දරුවන්, ටින්ක බෙල් වගේ පියාඹන්න බෑ කියලා මුළු දවසම දුකෙන් ඉන්න දරුවන් මේ පුංචි පැටවුන් අතරේ  ඕනෙ තරම් ඉන්නවා.

සමහරවිට කියවන ඔබටත් මේ අත්දැකීම්වලින් එක අත්දැකීමක් හරි තියෙනවා ඇති. ඒ වගේම තමයි දරුවන්ගේ මේ වගේ දේවල් මුළු දවසෙම වෙහෙස මහන්සි වෙලා ඉද්දි පුංචි කරදරයක් බවට පත්වෙන අවස්ථාත්  ඕනෙ තරම් තියෙනවා. ඉතිං එක අම්මා කෙනෙක් තරවටු කරන්න වගේම තවත් අම්මා කෙනෙක් දරුවාගේ අකමැත්ත නොසළකා දරුවා පාලනය කරන්න උත්සාහ කරන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් වුණත් ඕනෙම අම්මා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතු උපරිම හොඳින් ඉටුකරන එක තමයි.

හැම අම්මා කෙනෙක්ම ළමා මනෝවිද්‍යව පිළිබඳව දන්නේ නෑ. කිසිම අම්මා කෙනෙක් දරුවන් ඇති දැඩි කිරීම හා සම්බන්ධ පාඨමාලා හදාරලත් නෑ. එක් එක් අවස්ථාවට අනුව උද්ගත වන ගැටලුවලට හොඳටම හොඳයි කියලා එයාට හිතෙන විසදුම යෙදීම තමයි බොහෝවිට අම්මා කෙනෙක් කරන්නේ. ඒ අනුව අම්මා කියන චරිතයට විවිධාකාර පැති හරහා ගමන්කළ හැකියි. ඒ කෙසේ වුවත් සෑම මවකගේම ඒකායන සිතිවිල්ල වන්නේ තමන්ගේ දරුවායි. නිමක් නැති වගකීම් සමුදායක් ඔස්සේ නිම වී ඇති අම්මාගේ ජීවිතයේ එකම පැතුම දරුවාගේ ජීවිතය සම්පූර්ණ කිරීමයි. එසේ සිතද්දී දරුවන්ගේ කටයුතු හමුවේ යම් මවකගේ තීරණය ගැලපෙනවාසේම තවත් මවකගේ තීරණය නොගැලපෙන්නක්ම විය හැකියි. අධ්‍යාපන මට්ටම ගතිගුණ හැදී වැඩුණු වටපිටාවට අනුව අම්මා කියන චරිතයත් නොයෙක් විදියට ක‍්‍රියාත්මක විය හැකියි.

ඒ වගේම මෙන්ම මෙහෙම හිතන අම්මලාත් අපි අතරේ  ඕනේ තරම් ඉන්නවා.

“මම නම් දුවට කියලා තියෙන්නේ, කොහොමහරි පන්තියේ පළවෙනියා වෙන්න  ඕනේ කියලා. එහෙම නොවුණොත් ගමේ ගියාම ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා අහන ප‍්‍රශ්නවලට ඔන්න මට නම් උත්තර දෙන්න බෑ කියලා. මාමලාගේ ළමයි හැමෝම යන්නේ ගමේ ඉස්කෝලෙට, ඔයා කොළඹ ඉස්කෝලෙකට ගිහිල්ලත් හරියට ඉගෙන නොගත්තොත් මටයි තාත්තටයි ඉඳලා වැඩක් නෑ. ගමේ අයට පේන්නත් එක්ක ඔයා හොඳට ඉංග‍්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න ඕනේ.  ඔන්න එහෙම කිව්වම නම් අපේ දුව පොත් අරන් වැඩ කරන්න පටන්ගන්නවා. එහෙම නැතිව මේසෙට වාඩි කරන්න බෑ අනේ. අනික ගමේ ගිය වෙලේ ඉඳන් හැමෝම බලන් ඉන්නේ ඔය ප‍්‍රශ්න ටික අහන්නනෙ අනේ” යැයි කියමින් ඇය සිනාසෙන්නට විය.

සැබවින්ම එය වැඩිහිටියන්ගේ ගැටලුවකි. දරුවා පන්තියේ පළවෙනියා විය යුතුමද? වයස අවුරුදු හය හත වන දරුවෙකු ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමට යොමු කිරීමට වෙනත් උපායක් මවකගේ සිතට නැගෙන්නේ නැතිද යන්න ගැටලුවකි. මෙවැනි මව්වරුන්ගේ උපදෙස් හමුවේ පුංචි සිත් කොයිතරම් නම් අසරණවනවා ඇතිද? මවක් කළ යුත්තේ දරුවාගේ තමා දකින යම් යම් දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් යෙදීම මිස කෙසේ හෝ දරුවා ලවා තම අභිමතයන් ඉටු කරවා ගැනීමට උත්සාහ කිරීමද? එසේ වුවහොත් ඉතා කෙටි කාලයක් තුළදී දරුවාට අධ්‍යාපනය පමණක් නොව නිවෙස තුළ වටපිටාව ද මව්පියන්ද පිළිබඳව කළකිරීමක් පමණක් ඉතිරිවන්නට ඉඩ ඇත. සැබවින්ම මවක් ලෙස යම් යම් අවස්ථාවලදී දරුවන් සම්බන්ධයෙන් ගත යුතු තීරණයන්හිදී තම අභිමතය මත එල්බ නොසිට, හැකි නම් ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකුගෙන් යම් අවබෝධයක් ලබාගැනීම වඩා වැදගත් වනවා යැයි මගේ මතයයි.

මා එසේ පවසන්නේ මාගේ රාජකාරි ජීවිතය තුළ වෛදවරුන් හා සම්බන්ධව සිදුකෙරෙන සාකච්ජාවන් හමුවේ ඇතැම් මව්වරුන්ගේ ඇතැම් ක‍්‍රියාවන් දරුවන්ගේ මනසට කිසිසේත්ම සුදුසු නොවන බව මට අවබෝධ වී ඇති හෙයිනි. දරුවන්ට දරුවන්ගේ ජීවිත ගත කරන්නට ඉඩ හැර ඔවුන්ට මගපෙන්වන්නෙකු වන්නට ඔබට හැකි නම් හොඳ නරක කියා දෙන්නට ඔබට හැකිනම් ඔවුන්ට රිසි සේ ජීවිතය තුළ සැරිසරන්නට ඉඩ ලැබෙනු ඇත. ඒ තුළින් නිරවුල් මනසකින් යුතු අනාගත පරපුරක් දැයට දායාද කළ හැකිය. මාපියන්ගේ නොයෙක් තාඩන පීඩන මත බලපෑම් මත ඇති දැඩිවන දරුවා තමා දෙස මෙන්ම තම වටපිටාව දෙසත් බලන්නේ වෛරයකිනි. ඔවුන් පීඩාවට පත්ව සිටී.

උපක‍්‍රමශීලී බව ආදරණීය බව මෙන්ම වරදකදී සුළු තරවටුවකින් දරුවා මෙල්ල කරගැනීමට මවකට ඇති හැකියාව ඉතා වැදගත් වනු ඇත. මාපියන්ගේ බලාපොරොත්තුවක් ලෙස දරුවකු මොලොවට බිහිවන්නේ දෙමාපියන්ගේ ආසාවන් මුදුන් පමුණුවීම උදෙසාම පමණක් නොවේ. නිරවුල් මනසකින් ජීවිතයට මුහුණ දෙන්නට දරුවන්ට මනා සවියක් විය හැක්කේ ඔබටයි. සෑම මවකගේම සිත් තුළ තිබිය යුතු එක් දෙයක් වන්නේය. ඒ ජීවිතය විඳින්නට දරුවන්ට මග කියන අපූරු චරිතය අම්මා නම් වූ ඔබ බවයි.

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here