කෑම නොකන පැටවුන් සන්සුන් කරන ට්‍රික්ස් 9ක්

child-refuse-eating

පුංචි දරුවෙකුට කන්න බොන්න දෙන විට ඔවුන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වලින් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න පුලුවන් බව මානසික විද්‍යා පර්යේෂකයන් සඳහන් කරනවා. ඉස්සර කාලයේ දරුවන්ට බත් පිඟාන අතට ගද්දී වැඳලා ගන්න පුරුදු කරල තිබුනේ අපිට බත් විදිහට ලැබෙන ආහාරය වෙනුවෙන් වෙහෙස මහන්සි වුන බොහෝ පිරිසක් ඉන්න බව මතක් කරමින්. ඒත් අද ඒ හැගීම දරුවන්ට වගේම දෙමව්පියන්ටත් නැහැ.

දරුවන් කියන්නේ දඟ මලු. ඔවුන් එක් තැනක තියලා සීරුවට කන්න බොන්න දෙන එකත් ලේසි කටයුත්තක් නොවෙයි.සමහර දරුවන් මොනම දේ දුන්නත් සතුටු කරන්න බැහැ. පිඟානට වදිනවා වෙනුවට ඔවුන් කන්න බොන්න ගියාම අනවශ්‍ය විදිහට කලබල පටන් ගන්නවා.

01). මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…?

මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…? මේ විදිහට පසුතැවිල්ලෙන් කතා බහ කරන දෙමව්පියන් අතරට ඔබත් එකතු වෙලා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ “ඩියුක්” විශ්වවිද්‍යාලය මගින් ආහාර මුල් කර ගෙන දරුවන් දක්වන අසාමාන්‍ය කලහකාරීත්වය ගැන අධ්‍යනයක් සිදු කලා. එහිදී වයස අවුරුදු 6 සිට 12 අතර දරුවන් 3000 ක් තෝරා ගත්තා.අධ්‍යනයේ ප්‍රධාණී “නැන්සි සූකර්” දත්ත විශ්ලේෂනයෙන් පසුව පෙන්වා දුන්නේ දරුවන් අතරින් 14% සිට 20% ක්ම කලහකාරී ප්‍රතිචාර දරක්වූ බවයි. ඔවුන් කනස්සල්ල, සංකාව සහ මානසික අවපීඩන තත්වයෙන් පසු වුනා. 18 % ක් සාමාන්‍ය විදිහට ආහාර ගත්තත් ඔවුන්ද විටින් විට කලහකාරී ගති පැවතුම් ‍පෙන්නුවා. 3 % ක් වෙනත් අය සමග සම්බන්ධතාවයක් නැතුව ආහාර ගත්තා.

02). දරුවන්ට මොන මානසික ප්‍රශ්නද…?

දරුවන්ට මොන මානසික ප්‍රශ්නද කියල ඔබ මේ හැසිරීම් ගැන නොසලක් ඉන්න එපා. අපි නොදැන හිටියට ඔවුන්ගේ මානසික් ගැටුම් ඉතාම විවිධයි. තේරුම් ගැනීමත් අපහසුයි. මේ ගැන නොසලකා හිටියොත් අනාගතයේදී ඔවුන් මානසික රෝග විතරක් නොවෙයි, ශාරිරික ආබාධයන්ටත් පත් වෙන්න පුලුවන්.

03). හැම කලබයක්ම මානසික රෝග නොවෙයි..

ඒත් කලබල වෙන්න එපා. දරුවන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මානසික රෝග තත්වයක් නොවෙයි. ඒ වෙනුවෙන් විවිධ හේතු තිබෙනවා.

04). සමහර ආහාර අප්‍රියයි

අපි වගේම දරුවන් අතරත් ආහාර වෙනුවෙන් ප්‍රිය සහ අප්‍රිය විදිහට වර්ග තිබෙනවා. ඔවුන් අප්‍රිය කරන ආහාර වෙනුවෙන් අම්මලා බලපෑම් කරද්දී ඔන්න ගැටුම පටන් ගන්නවා. අපි මෙහෙම හිතමු. ගොටුකොල කන්න අකමැති දරුවෙකුට ඒ වෙනුවෙන් බල කරනවා වෙනුවට සුප්, කොළකැඳ වැනි දෙයට ගොටු කොල මිටක් එක් කරන්න පුලුවනි.

05). හැමදාම එකම විදිහට

හැමදාම එකම විදිහට ආහාර ලැබෙන විටත් දරුවන්ට එයින් ඇති වෙන්නේ අප්‍රසන්නතාවයක්. ඒ නිසා හැමදාම ලැබෙන බත් වෙනුවට නූඩ්ල්ස්, පැස්ටා, එළවලු බත්, කහ බත් විදිහට විවිධ විදිහට ආහාර පිළියෙල කරන්න පුලුවන්. මේවාට එළවලු සහ මස් හෝ මාලු එකතු කරල පෝෂනය ලබා දෙන්නත් පුලුවන්. පලා වර්ග අකමැති පැංචන්ට නූඩ්ල්ස් වලදී නොදැනෙන විදිහට ඒවා එකතු කිරීමටත් අමමලාට අවස්තාව ලැබෙනවා.

06). ආහාර ගන්ධය

ඇතැම් ආහාර වලින් නිකුත් වෙන ගන්ධයට දරුවන් මනාප නැහැ. සමහර දරුවන් බිත්තර තම්බාගත් ගන්ධයට අප්‍රියයි. එහෙම අයට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරල එය නොදැනෙන විදිහට දෙන්න පුලුවන්.

07). හැමදාම එකම පිගාන

දරුවාට හැමදාම දෙන එකම පිගාන වෙනුවට පුංචි පොල්කොළ වට්ටියක්, එහෙම නැත්නම් කෙසෙල් කොලයක වැනි විවිධ දැවටුමක ආහාර දෙන්න. මේසයට පුටුව තියලා මෙතැනම කන්න ඕන කියනවා වෙනුට ඉඳහිට පැදුරක් වැනි දෙයක තබා ආහාර දෙන්නත් පුලුවනි. දණගාන දරුවන්ට නම් මෙය ඉතාම හොදයි. ඔවුන් දණගාමින් ඇවිත් බත් ඇට දෙක තුනක් හෝ ආහාරයට ගනීවි.

08). කෝටුව එපා

බත් කෑවේ නැත්නම් දඩුවම් කිරීමත් එතරම් සතුටුදායක නැහැ. දරුවා කෝටුවට බියෙන් ආහාර ගැනීම ඔවුන්ගේ මානසිකත්වට එතරම් ගුණ නැහැ. සමහර අම්මලා කියන්නේ උගුරෙන් පහලට ගියාම දිරවනවා. නොකා ඉදලා මන්දපෝෂනය වුනාම..? ඒත් මේ සංකල්පය එතරම් සුබවාදී නැහැ. ආහාර ගැනීම ප්‍රසන්න කටයුත්තක් මිසක දඩුවම් ලැබිය යුතු වරදක් නොවෙයි. දරුවාගේ පෝෂණය නිසා වදෙන් පොරෙන් හෝ දඬුවමෙන් ආහාර දීම කළ යුතු වුනත් ඒ නිසා ඇති වෙන මානසික ගැටුම සුලුපටු නැහැ.

09). අල්ලස් දෙන්නත් එපා

“බත් සේරම කෑවොත් අයිස්ක්‍රිම් දෙනවා…” එහෙම නැත්නම් සෙල්ලම් බඩුවක් අරගෙන දෙනවා. මේ විදිහට තෑගි බෝග ගැන විකල්ප ලබා දීමත් ඒ තරම් සුදුසු නැහැ. එවිට දරුවා ආහාර ගන්නා හැම අවස්ථාවකම තැග්ගක් බලාපොරොත්තු වේවි. ඒ වෙනුවට ආහාර ගැනීමෙන් දරුවාට ලැබෙන වාසි කියා දෙන්න.

ආහාරපාන ලබා දීම වෙනුවෙන් දරුවන් සමග අරගලයේ යෙදෙන දෙමව්පියන්ට දරුවන්ට කියා දිය යුතු හොඳ කතාවක් තිබෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ “උඩගිය බබා” කතාන්දරය ඇසූ අපි ළමා කාලයේ බත් නොකා ඉන්න බය වුනේ කතාවේ එන බබාට සිද්ධ වුන දෙය වෙයි කියන බයටයි. අද දරුවන්ටත් මේ කතාව සමහර විට සාධාරණ වෙන්න පුලුවනි. ඒ වගේ සම්‍යප්‍රයෝගයකින් මිසක් කෝටුව හෝ තෑගි ලබා දෙමින් ආහාර පාන ලබා දීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි. ආහාර මුල් කර ගෙන දරුවන් සහ සෙමව්පියන් අතර ඇති වෙන ගෝරනාඩුව දරුවන්ට මානසික ගැටුමකට මුල පුරන තැනටත් පත් නොවන්නත් වග බලා ගන්න වේවි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here