තොටිල්ලේ සිටින කාලයේ පටන්ම පුංචි දරුවන්ගේ ප්‍රතිචාර ඔබට දැන හදුනා ගන්න පුලුවන්. දරුවාගේ ක්‍රියාශිලීත්වය මැන ගැනීමට අම්මලා හරිම කැමැතියි. ඒ නිසා ඉස්සර කාලයේ අම්මාවරුන් කරන්නේ තොටිල්ලට ඉහලින් වර්ණවත් කඩදාසිවලින් සකස් කරන ලද සැරසිල්ලක් එල්ලා තබනවා. දරුවා ඒ දෙස බලා ගෙන සිටිනවා පමණක් නොව එය සෙලවෙන විට සිනාසෙන්නත් පටන් ගන්නවා. අම්මලා මේ නිසා තමන්ගේ දරුවා වර්ණ දැකීමේ හැකියාවෙන් යුක්ත බව තේරුම් ගන්නවා.
පළමු මාසය වෙද්දී දරුවා තමන්ගේ වපසරිය හඳුනා ගන්නවා. තොටිල්ල, සෙල්ලම් බඩු ආදිය ගැන යම් හඳුනා ගැනීමක් ලබා ගන්නවා. අම්මාගේ කටහඬ දරුවා හොදින් හදුනනවා. ඒත් මුල් මාස දෙකේදී දරුවාට තමන්ගේ අම්මා වෙනත් අයගෙන් වෙනස්ව හඳුනා ගන්න බැහැ. ඒ නිසා වඩාගන්නා ඕනෑම කෙනෙක් අතට වෙනසක් නැතුව ගියත් මාස හතරක් විතර වුනාම නම් මේ රැවටිලි බැහැ. තමන්ගේ අම්මා ඉතාම හොඳින් හදුනන නිසා වෙනත් කෙනෙක් අතට යන්නේත් නැහැ. වෙන කෙනෙක් අත හිටියත් අම්මා දුටු සැනින් අඬන්න පටන් ගන්නවා. ඉතින් සමහර විට ඔබ මේ විදිහට කියාවි “ඉස්සරනම් ඕන කෙනෙක් අත හිටියා… දැන් කාගේවත් අතට යන්නේ නැහැ.” මට කිසිම දෙයක් කර ගන්න විදිහක් නැහැ. ඉතින් ඔබ මෙහෙම කිව්වත් දරුවා දැන් තමාගේ අම්මා කවුද කියන්න හොඳට දන්නා නිසා ඔහු රවටන්න අමාරුයි.
මාස පහක් විතර වෙද්දී දරුවා ශබ්ද හඳුනා ගන්නවා. ඒ වගේම දරුවන් ගේ අඩු පාඩු ගැන අම්මලාගේ හිතේ මොනවා වුනත් තියෙන්නේ බියක්. ඒ නිසා ඔවුන් තමන්ගේ දරුවාගේ කණ ඇසීමේ හැකියාව ගැන බලන්න විවිධ ශබ්ද නගනවා. පුංචි සෙල්ලම් බඩු සොලවනවා. එහෙම නැත්නම් රිද්මානුකූල ශබ්දයක් ඇසෙන සේ විවිධ දේ එකටෙක ගැටීමෙන් මිහිරි නාද නගනවා. දරුවා එවිට මේ නාදය එන පැත්ත දෙස බලනවා නම් පැටියාගේ ඇසීම ගැන හිතේ බියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ්ම ඇස් හරවා බලන්නත් පුලුවන්.
මාස හයක් විතර වුනාම නම් දරුවා ටික වේලාවක් වාඩිවී සිටිනවා. මේ කාලය අම්මලාට ටිකක් කරදරයි. ඇගිලි කටේ දා ගැනීම වගේම දණගාගෙන ගොස් බිම තිබෙන දේ අහුලා කටේ දා ගන්නත් පුලුවනි. අතට හසු වෙන දේ ඇඟිලි ආධාරයෙන් හසු කර ගන්නවා. අම්මා දුටු සැනම එතැනට දණ ගා ගෙන එන්න පටන් ගන්නවා.
මාස හතක් වෙන විට ඔවුන් උනන්දුවක් දක්වන්නේ තමන්ට කෙලින්ම පෙනෙන දේ ගැන විතරයි. බෝලයක් පෙරලී වෙන තැනකට ගියොත් දිසාව හදුනා ගනන් බැහැ. අපි අර කාක්කා අරගෙන ගියා කියලා දිශාව වෙනස් කරන්නේ ඔන්න ඔය කාලයටයි. බෝලය හැංගුවාම එතැනින් එහාට තිබෙන තැන ගැන දැනීමක් නැහැ.
මාස නවයක් වෙද්දී සමහර දරුවන් අල්ලා හිටගනන්වා. මාස දහයක් විතර වෙද්දී සමහර දරුවන් අල්ලා හිට ගැනීමට වගේම ඇවිදීමට උත්සාහ ගන්නවා. “හතායි…හතායි…” කියමින් අපිත් ඔවුන්ගේ ඇවිදීමට සහයෝගය ලබා දෙනවා.
අවුරුද්දක් විතර වුනාම අතට අසුවෙන සෙල්ලම් බඩු එහා මෙහා විසි කිරීමට ඒ වගේම තල්ලු කර ගෙන යෑමට පුලුවනි. ආධාරයක් නැතුව ඉඳගන්නත්, ආධාරයක් ඇතුව හිටගන්නත් පුලුවනි. දණ ගාගෙන ඇවිත් පුටුවක් අල්ලා ගෙන හිට ගන්න උත්සාහ ගන්නවා.
අවුරුද්දකුත් මාස පහක් පමණ වෙන විට දරුවාගේ කුතුහලය අවදි වෙන කාලයයි. අතට හසුවෙන දේ ඇදීමට, පිරිමැදීමට පටන් ගනන්වා. නිවසේ තිබෙන විදුලි උපාංග සහ ස්විච් ආදිය ඉතාම පරිස්සමින් දරුවාගෙන් ඈත් කිරීම හෝ ඔහුට අනතුරක් නොවන සේ සකස් කිරීමට අවශ්‍යයි. වැලි ඇනීම, වතුර සමග සෙල්ලමට දැන් කාලය ඇවිත් මේ නිසා පොල්කටුවටල වතුර දැමීම වැනි ක්‍රියකාරකම් වලට අම්මලාත් සහයෝගය ලබා දීම වැදගත්.
අවුරුදු දෙකක් වෙද්දී අනුකරනය පටන් ගන්නවා. අනුන් කරන දෙයම කිරීම ඔවුන්ගේ උත්සාහයයි. මේ නිසා මුහුණ දස්දීම, ආහාරයට පෙර සහ පසු අත් සේදීම, තනියම ආහාර ගැනීම, ඇදුම් ඇඳීම වැනි කටයුතු පටන් ගැනීමට කියාපු කාලයයි. දරුවන් මේ අලුත් වැඩ කටයුතු බොහොම සතුටින් කරන නිසා අනාගතය වෙනුවෙන් මේ හැකියාවන් වගා කිරීම පහසුවෙන්ම පුලුවන්.
අවුරුදු දෙකක් වෙන විට මොළයේ වැඩීම සමග බුද්ධි වර්ධනය සිදු වෙනවා. තමාගේ අවයව හදුනා ගනන්වා. පුතාගේ අත කෝ.. කට කෝ… ඇසූ විට ඒවා පෙන්වනන් පුලුවනි. පුතා හපනා කියල අම්මා තාත්තාත් සතුටට පත් වෙනවා. දරුවාගේ ලෝකය ඉතා සීමිතයි. මිතුරන් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. තනියම සෙල්ලම් කිරීමට පුරුදු වෙනවා. වාක්‍ය එකට එකක් සම්බන්ධ කර ගෙන කතා බහ පටන් ගන්නවා. මේ කාලය වෙද්දී එතරම් ලොකු වාග් කෝෂයක් නැති නිසා ඔහු වචන අහුලන කාලයයි. නිවස පුරා දුව පැන ඇවිදමින් අතට අසු වෙන දේ විසි කිරීමට විතරක් නොවෙයි කඩා බිදින්නත් පුලුවන්. වැඩි වැඩ කරන්න ගිහිං අනතුරු සිදු වෙන්නත් පුලුවන්.ඒ නිසා මේ කාලයේදී අපි දරුවන් ගැන ඉතාම අවධානයෙන් සිටීමට වග බලා ගන්න අවශ්‍යයි.
දරුවන් ගැන සැලකිල්ලක් නොදක්වා ඉඳීමෙන් ඔවුන්ට සිද්ධ වෙන අනතුරු ගැනත් අපිට නිතරම ඇසෙන නිසා දෙමව්පියන් විදිහට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවන් දක්වන මේ ක්‍රියාකාරකම් වෙනුවෙන් දෙමව්පියන්ගේ ප්‍රතිචාරත් හොදින්ම අවශ්‍යයි. ඔවුන්ගේ ආරක්ෂාව වගේම දරුවන් සමග මව්පියන්ගේ සම්බන්ධතාවය ඉතාම හොඳින් ගොඩ නැගෙන්නේ එවිටයි.