අම්මලා තාත්තලා විදිහට අපිටත් ඉතින් කේන්ති යන්නේ නැතුවාම නොවෙයි. අපි කියලත් මස් ලේ වලින් උපන් අයනේ. අපිට තරහ යන්නත් හේතු ඇති වෙනවා.
අපි කැමැති විදිහට යම් යම් දේවල් සිද්ධ නොවෙන විට අපිටත් ඉතින් තරහ යනවා. උදේ ඉඳන් මහන්සි වෙලා ගෙදර ඇවිත් රෑ කෑම වේල හදල ඉවර වෙන කොට දරුවන් නිදාගනන්වා නම් අම්මාට තාත්තාට කේන්ති යෑම බොහොම සාධාරණයි. ඉතින් දරුවන් කියන්නේ අපිට මහන්සි නිසා නිදා ගත්තාම මොකද වෙන්නේ කියලයි. ඉතින් දෙගොල්ලන්ම තමන් සාධාරණ කර ගැනීම මේ කෝපය ඇති වීමට හේතු වෙනවා.
ඒ වගේම නිදහසේ ඉන්න වේලාවක මහ හයියෙන් සිංදුවක් දැම්මොත් ඇති වෙන කේන්තිය අපිට සාධාරණයි. මොකද අපි ඒ සිංදුව අහන්න කැමැති නැහැ. මේක නවත්වන්න කිව්වාම දරුවන් කියන්නේ අපි කැමැති දෙයක් කරන්න නිදහස නැති බවයි. ඔන්න අකමැති දේ නිසා දොගොල්ලන් අතරම ගැටුම ඇති වෙනවා. මේ විදිහට හදිසියේ ඇති වෙන කෝපය නිසා තමන් අනාරක්ෂිතයි කියන හැගීම නම් ඉවත්ව යනවාලු. ඒ ඉවත්වීම අපිට දැනේනේනේ කේන්තිය විදිහටයි.
හැමෝටම එක විදිහට කේන්ති යන්නේ නැත්තේ ඇයි….?
මේ සිද්ධි හැම පවුල්කම ඇති වෙනවා. හැබැයි එක් එක් අය ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වෙනස්. සමහර විට එකම සිද්ධිය වෙන්නත් පුලුවනි. සමහර දෙමව්පියන්ට ඒවා කේන්ති යන තරම් බරපතල නැහැ. ඒ වුනාට හොස්ස ලගින් මැස්සා යන බැරි දෙමව්පියන් නම් නිතරම දරුවන් සමග මේ සිද්ධි නිසා ගැටුම් ඇති කර ගන්නවා.
ජාන අනුවත් කේන්ති යෑමේ ප්‍රවනතාවය එක් එක් අයට වෙනස්
ඒ වගේම විවිධ මානසික තත්වයන්ගෙන් යුක්ත අය අතරත් මේ වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහර විට බාල කාලයේදී ඉතාම අප්‍රසන්න මානසිකත්වයකින් කල් ගත කළ පුද්ගලයන් තමාගේ ස්වාධීන ජීවිත ගොඩ නගා ගත් විටත් අනවශ්‍ය විදිහට කේන්ති ගැනීමේ තත්වය ඉතා වැඩි බවත් පෙනී යන කරුණක්.
කේන්තිය අපේ ජීවිතවලට එතරම් ගුණ නැහැ
කේන්තිය නිසා ඇති වෙන රසායනික වෙනස්කම් අපේ සෟඛ්‍යයට අහිතකර විදිහට බලපානවා. කේන්තිය දරා ගෙන සිටීමත් එතරම් හොඳ තත්වයක් නොවෙයි. ඒ නිසා හිසරදය, ආහාර ජීරණ මාර්ගයේ රෝග, නින්ද නොයෑම, දද, කුෂ්ට, ආතතිය, අධි රුධිර පීඩනය ඇති වෙන්න පුලුවනි.
ඒ වගේම නිවසක කේන්ති යන පුද්ගලයා සමාජයේත් එතරම් ප්‍රසන්න චරිතයක් වෙන්නේ නැහැ. කේන්ති යන කළමනාකරවෙක් ගැන වුනත් අපි කතා වෙන්නේ “අදත් එන්නේ යකා වැහිලද දන්නේ නැහැ…” යනුවෙන්. ඉක්මන් කේන්තිකාර ප්‍රධාණීන් නිසා ආයතනයේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් එතරම් සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ.
කෝපය පාලනය කර ගන්නේ කොහොමද….?
කෝපය පිට කරන විදිහත් එක් එක් අයගෙන් වෙනස්. සමහර අය නම් කැත්තට පොල්ල වගේ. තවත් අය බඩු මුට්ටු පොළවේ ගහනවා වගේ විවිධ ආවේගශීලී හැසිරීම්වලින් කෝපය ප්‍රදර්ශනය කරනවා. නමුත් මේ හැම දෙයටම වඩා තමන් පාලනය කර ගත්තොත් ඔබ දිණුම්. සමහර විට කෝපය වැඩි වෙන නිසා එම ස්ථානයෙන් ඉවතට යන්න පුලුවනි. එවිට කෝපයත් හෙමින් සීරුවේම අඩු වේවි.
හැම දෙයම අසාධාරණය මුල් කර ගෙන හිතන්න එපා
අපිට කේන්ති යෑමට බොහෝ විට හේතු වෙන්නේ හැම දෙයම අපිට සාධාරණ කර ගන්නා නිසයි. එහෙම නැතුව සිද්ධිය සාධාරණ කර ගෙන හිතන්න අමාරුවෙන් වුනත් පුරුදු වෙනවා නම් කේන්තිය මට්ටු කර ගන්න පුලුවන්. දරුවන් මුල් කර ගෙන ඇති වෙන සිද්ධිවලදී ඔවුන්ගේ පැත්තෙන් එහි සාධාරණත්වයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් මුල් තැන දෙන්න. එවිට හිත හදා ගැනීම එතරම් අපහසු නැහැ. අපි දෙමව්පියෝ අපිට ඕන විදිහට දරුවෝ ඉන්න ඕන කියන තැන නොව දරුවන්ටත් තමන්ගේ නිදහසක් තියෙන්න ඕන කියල මැදිහත්ව හිතන්නත් පුලුවන්. ඒත් දරුවන්ට නිදහස ලබා දෙනවා කියන්නේ යා යුතු නොමගට යෑමට ඉණිමං බැදීමක් නොවෙයි. සමහ තැන්වලදී පමණක් අපිට නම්‍යශීලීව බලන්න පුලුවන්.
කේන්තියට සම්බන්ධ සිද්ධිය පමණයි
ඔබට සැනින් කේන්ති ගියේ යම් සිද්ධියකට නම් ඒ සිද්ධිය ගැන පමණක් කතා කරන්න. අතීත සිද්ධි ගලපන්න එපා. එදත් මෙහෙමයි… අදත් මෙහෙමයි… ඒ නිසාම හෙටත් මෙහෙමයි යනුවෙන් දොස් නැගුවොත් ඇත්තටම දරුවා වුනත් ඔබේ ස්ථාවර දෙස බලන්නේ නොසතුටෙන්. ඒ නිසා වර්තමානයේ ඇති වුන එම සිද්ධිය පමණක් සැලකිල්ලට ගෙන කෝපය නිවුනාට පසුව ඒ ගැන කියා දෙන්න.
විකල්ප හේතු සොයාගන්න
ඔබට කේන්ති යන සිදුවීමක් සමග එහි පසුබිම සොයා බලන්න. ඒ වෙනුවෙන් විකල්ප තිබෙනවා නම් ඒවා අනුගමනය කරන්න. විකල්ප නැත්තේ නම් ඒ වෙනුවෙනුත් සාකච්ඡා මාර්ගයෙන් යම් විසඳුමකට පැමිණෙන්න.
සංගීතයත් හොඳ ප්‍රතිකාරයක්
කෝපයට පත් අවස්ථාවක එය නිවෙන්න සංගීතය ඉතාම හොඳ ඔසුවක් බව දැන් හදුනාගෙන තිබෙනවා. ඒ නිසා දොඩ දොඩා බස් බෝ කර ගන්නවාට වඩා සංගීතයක් වෙත යොමු වෙන්න. තරහ නොදැනීම නිවී යාවි. හුස්ම ගැනීමේ ව්‍යායාම මගිනුත් ඇති වෙන සැහැල්ලුව කෝපය නිවන ඔසුවක් බවත් අමතක කරන්න එපා. ඒ නිසා තරහ ගිය වේලාවක හුස්ම ගැනීමේ ව්‍යායාමයේ යෙදෙන්න පුලුවන්.
අපිට ඉක්මන් තරහ යන්නේ ඇයි…
කාර්යබහුල වුනාම ඇති වෙන මානසික වෙහෙස එක් හේතුවක්. ඒ නිසා අපිට ඕනෑ දෙයටයි එපා දෙයටයි වෙනසක් නැතුව තරහ යනවා. නින්ද නැති වුනාමත් මේ වෙහෙසකර බව වැඩි වෙනවා. ඒවා අපි නොදැනීම පිට වෙන්නෙ තරහ විදිහටයි. මේ ගැන ඔබටත් අත්දැකීම් හොඳටම ඇති. හොදින් නින්ද ගිය දවසක සහ නින්ද නොගිය දවසක් යන දවස් අතර තිබෙන වෙනස ගැන සසදා බලන්න.
පිරිමි උදවියට නම් මද්‍යසාර නිසා අනවශ්‍ය විදිහට කේන්ති ඇති වෙනවා. මේ තත්වය ඉතාම බරපතලයි. පවුලක තාත්තා බීමත් නම් ඔහුට කරන්නේ මොනවද කියල තේරුම් ගන්න බැරි තරමටම මානසික තත්වය අවුල් ජාලයක්. ඉතින් ඒ වගේ පවුලක අම්මාටයි දරුවන්ටයි ඇති පවුල් පරිසරය ඉතාම දුක්ඛදායකයි.
හරිහැටියට පෝෂණය සිරුරට නොලැබුන විට අපේ මනසේ සමබරතාවය නැති වෙනවා. විවිධ රෝගාබාධ තත්වයන් නිසාත් කේන්ති යෑමේ තත්වය එක් එක් අයට වෙනස්. ඒ වගේම අසාමාන්‍ය විදිහට කේන්තිකාරයෙක් පවුලක ඉන්නවා නම් ඔහු හෝ ඇය වෙනුවෙන් මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමත් වරදක් නොවෙයි.