- Advertisement -

සමබර ආහාරයක්..

-

සමබර ආහාර වේලක් පිලිබඳව දැන් කාලයේ කාටවත් වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. හැමදෙනෙක්ම පෝෂණීය ආහාරයක තිබෙන කාබොහයිඩ්ඩ්‍රේට, ප්‍රෝටින, මේද, විටමින් කැල්සියම්, ජලය යකඩ, ඛනිජ ලවන ආදිය ගැන දන්නවා. ඒත් අපේ දරුවන්ට අම්මලාගේ අපේක්ෂාව විදිහට සමබල ආහාරයක් ලබා දීම දැන් හරිම ගැටලුවක්. ගෙදර ගෝරනාඩු නැගෙන්නේ බත්පිගාන අතට ගත්තාමයි. ඒ නිසා අම්මලාත් දරුවන්ගෙන් කරච්චලයක් නැතුව ඉන්න ඕන හින්ද ක්ෂණික ආහාර හෝ ආපනශාලා ආහාර වෙනුවෙන් යොමු වෙනවා. ඒත් මේවායේ වන්දියත් ගෙවන්න වෙන්නේ අම්මාටයි..දරුවන්ටයි.. කිසිම පෝෂණයක් නැති මේද සහ පිෂ්ට, ලුණු විතරක් අඩංගු ආහාර නිසා දරුවන් තරබාරුවට පත් වෙනවා විතරක් නොවෙයි යාන්තම් තරුණ වියට එනවිටම කොලස්ටරෝල්, රුධිරගත සීනි වැනි බෝනොවෙන රෝග වලට ගොදුරක් වෙනවා. ඒ විතරක් නොවෙයි, නොකියාම බැරි වුනත් පිලිකාවකත් ගොදුරක් වෙන්න හොදටෝම අවස්ථාව තිබෙනවා.

ඒත් ඉතින් බීරි අලින්ට වයන වීනා වගෙයි..

මේ කොච්චර කිව්වත් තවමත් අපි ආහාර වෙනුවෙන් දක්වන උනන්දුව හොදටෝම මදි. අම්මලාගේ පැත්තෙන් කරුණු දෙකක් ඔවුන් නිදහසට ඉදිරිපත් කරනවා. “අපිට ඉතින් ඔය කියන කෑම හදන්න වෙලාවක් නැහැ… අනිත් එක තමයි අපේ දරුවෝ කන්නේ නැහැ..” ඉතින් මේ දෙකම සමබරව ගෙන ගියොත් නම් අපේ දරුවන්ගේ නීරෝගිතාවය ආරක්ෂා කරගන්න පුලුවනි.

- Advertisement -
ටිකක් උදෙන්ම නැගිටින්න…

උදේ ආහාරයට ළඟම තියෙන කඩෙන් බර්ගර් බන් එකක් එහෙම නැත්නම් හොට් ඩෝග් එකක් අරගෙන දරුවාගේ කෑම පෙට්ටියට දානවා වෙනුවට ඔබට නිවසේදී මොනවා හෝ ගුණයක් ඇති විදිහට ආහාරයක් සකස් කර දෙන්න පුලුවනි. අපිට වෙළදපොලෙන් මිළට ගන්නා බනිස් වෙනුවෙන් ගුණයක් ඇති විදිහට පිරවුම සකස් කරන්න පුලුවනි. මෑතකදී මහනුවර හෘද සහ පුනරුත්ථාපන ඒකකයේ පෝෂණ වෛද්‍යවරයෙකුගේ සඳහනත් මෙතැනට එකතු කලොත් ඒ වෛද්‍යවරයා කියා සිටියේ බිත්තර කහමදය සමග ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බවයි. ඒත් මෙහිදී බිත්තරයට එලවළු එකතු කරගත්තාම එහි තිබෙන කෙදිවලින් මේදය උරා ගන්නා නිසා ආහාරයට හානිකර නැති බවයි. තෙල් වෙනුවට නොන්ස්ටික් පෑන් එකක ආධාරයෙන් බිත්තරය සකස් කර ගත්තොත් තෙල් ගැනත් බියක් වෙන්න අවශ්‍ය නැහැ. මේ භාජනයෙන් බිත්තරය තෙල් නැතුව පිසගන්න පුලුවනි. මේ විදිහට බිත්තරයට කැරට් ටිකක් සිහින්ව දාලා ඔම්ලට් එකක් හදලා සලාද කොළ, තක්කාලි වගේ පිරවුමක් සමග දුන්නොත් දරුවාට කඩෙන් ආරගෙන දෙන අහිතකර ආහාරය වෙනුවට අම්මාගේ නිෂ්පාදනයක් ලබා දෙන්න පුලුවනි. කොළකැඳ උදේට හදන්න අපහසු නම් රාත්‍රියට කොළ සුද්ද කරලා හෝදලා තියන්නත් පුලුවන්. පිසින බත් වලින්ම කොටසක් අරගෙන දැන් ඉතින් බ්ලෙන්ඩර් තිබෙන නිසා වැඩ පහසුයි.

පුංචි සූත්තරත් අවශ්‍යයි…

දරුවන් සමහර දේවල‍් තරයේම ප්‍රතික්ෂේප කරන බව ඇත්ත.සමහර මැල්ලුම් වර්ග කටේ තියන්නේ නැහැ. ගුණදායක එළවලුවලටත් ගෝරනාඩු නැතුවා නොවෙයි. ඒ නිසා සුප් පිලියෙල කරන විට ගොටුකොල වගේ පලා වර්ග එකතු කරන්න පුලුවනි. බෝංචි , කැරට්, වගේම වට්ටක්කා වුනත් සුප් එකට එකතු කලොත් දරුවාට නොදැනම මේවා ආහාරයට එකතු වෙනවා.

යුෂවලට වඩා අමු පළතුරු ගුණයි…

පළතුරු යුෂ වෙනුවෙන් දරුවන් කැමැති වුනත් වඩාත් ගුණ ලැබෙන්නේ අමු පළතුරු ආහාරයට ගැනීමෙන් බව ඉහත දේශනයේදී කියැවුනා. යුෂ පිළියෙල කරන විට සීනි එකතු විම, පෙරන විට තන්තු අපතේ යෑම සිදු වෙනවා. මේ නිසා හැකිතරම් පළතුරු අමුවෙන් සලාද විදිහට දරුවන්ට ලබා දීම නිසා තන්තු සිරුරට ලැබෙනවා.

බත් වෙනුවට…

බත් වෙනුවට ඇට වර්ගත් දරුවන්ට ඉතාම ගුණයි. කව්පි, මුංඇට, කඩල, දැන් ප්‍රෙෂර් කුකර් නිසා තම්බා ගැනීම එතරම් අපහසු නැහැ. මුංඇට කිරිබත් විදිහටත්, මැල්ලුමක් හෝ ව්‍යංජනයක් විදිහටත් පිලියෙල කරන්න පුලුවනි. දෙමළ ජනතාව පිලියෙල කරන විදිහට කිරිබතටත් කඩල එකතු කරන්න පුලුවනි. සව් වැනි දරුවන් ප්‍රිය කරන ආහාරවටලත් කඩල එකතු කළොත් කන්නම බැහැයි යන ස්ථාවරයේ සිටින දරුවන්ට විකල්පයක්.

තෙල් සීමා කරන්න

තෙලෙන් කිරෙන් දරුවන්ට ආහාර දුන්නා ය කියල සතුටු වෙනවා වෙනුවට අපේ දරුවන්ට ගුණ විදිහට ආහාර දුන්නාය යන සතුට අම්මලාට තිබුනොත් ඔබ සාර්ථක චරිතයක්. ගැඹුරු තෙලන් බැදලා මිටිකිරි ගොරෝසුවට දානවා වෙනුවට නිතරම තෙල් සහ මිටිකිරි සීමා කරන්න. මැල්ලුමක් වැනි දෙයක් පිළියෙල කරන විට පොල් යොදා ගන්නේ ස්වල්පයක්. ඒ සමග සූදුරු, ගම්මිරිස්, සුලුළූණු පොල් සමග අඹරා ගත්තාම ආහාරයට ප්‍රිය ඇති වෙන සුවදක් ඇති වෙනවා. ගැඹුරු තෛලන් බදින දේ පේපර් සර්වියට් එකක් මත තබා තෙල් බේරා ගන්න.

ස්වභාවික කුලුබඩු

අපේ ඉවුම් පිහුම් රටාව අතීතයේ පටන්ම පැවැතුනේ අපේ නිරෝගී ජීවිතයට ගැලපෙන විදිහටයි. ඒත් අපේම ගෘහණියන්ගේ උදාසීනකමට ළූණු ගෙඩියක්, කරපිංචා කොළයක් වෙනුවට කෘතිම සුවඳ සහ රසකාරක වෙනුවෙන් යොමු වුනා. ඒත් ගොරක, සුදුළූෑනු, කුරුදු හදවත්රෝගවලට වගේම මේද උරාගැනීමේ හැකියාවෙන් යුක්තයි. උළුහාල් කොලස්රෝල්වලින් නිදහස් කරනවා. අපි ස්වබාවික කුලුබඩු වෙනුවෙන් යොමු වුනොත් බෝනොවෙන රෝගවලින් ආරක්ෂාව නොදැනීම ලැබෙනවා.

පිලිකාවෙන් වුනත් නිදහස් වෙන්න පුලුවන්

“අපේ ආහාර දිවට නොව ඇසට…” මේ ජපන් ජාතිකයින්ගේ ආහාර වෙනුවෙන් වූ ආදර්ශ පාඨයයි. ආහාරයේ තිබෙන වර්ණවත්බව අපේ ජීවිතයේ නීරෝගී පැවැත්මට හේතු වෙන බව අපි අමතක නොකල යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ පිලිකා සංගමයේ අධ්‍යක්ෂ ලොරෙලෙයි ඩි සොග්රා සඳහන් කරන්නේ අපේ ආහාරයට රතු, කහ,කොළ, නිල්දම් වර්ණයන් එකතු කළ යුතු බවයි. සුදු පැහැය වෙනුවෙන් රටළූනු සහ සුදුළෑණු එකතු කිරීමත් වැදගත් බව ඔහු සඳහන් කරනවා. ආහාරවල අන්තර්ගත වර්ණයන්ගෙන් හෘදරෝග, පිලිකා, ආඝාත, දියවැඩියාව, අධිරුධිරපීඩනය වලක්වනවා. තක්කාලිවල ඇති රතු පැහැය මගින් ලැබෙන “ලයිකොපින්” පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙන තරම් බලගතුයි.

අලුත් වෙන්න..

ආහාර පිසින කලාවෙත් ගුනාත්මකබව ඉස්මතු විය හැකි විදිහට අපිත් නිර්මාණශීලී වුනොත් මේ ගැටලු මගහැරෙනවා. මොළකාර ජපනුන් මේ වෙනුවෙන් කළුබර්ගර් විශේෂයක් දැන් හඳුනාගෙන තිබෙනවා. කලුපැහැයෙන් යුක්ත මේ බර්ගර් සිරුරට අහිතකර නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් බනිස් කලු කිරීමට උණඅගුරු (bamboo charcoal) සහ චීස් වෙනුවෙන් දැල්ලන්ගේ (දැලි) කළු පැහැය යොදා ගන්නවා. බනිස් පිරවුමට සලාද, ගෝවා, ළූෑණු සහ තක්කාලි ස්වභාවික වර්ණයෙන්ම තිබෙනවා. කළු පැහැයෙන් වුනත් මේවායේ මිළ අඩුවක් නැහැ. කූරෝ පර්ල් බර්ගර් එකක් යෙන් 480 කුත් කූරෝ ඩයමන්ඩ් බර්ගර් එකක් පවුම් හතරකුත් මිළ වෙනවා.

black burgerkuro2kuro3

 

 

 

ඔන්න ඔය විදිහට හැමදාම එකම රටාවට නැතුව පුංචි වෙනස්කම් වෙනුවෙන් යොමු වීමත් ඒ යොමුවීම තුළ ගුණාත්මක බවට වැඩි තැනක් දෙන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article