කියවන දනා හෙට දවසට ජයකොඩිය

reading-books

ඔක්තෝබර් මාසයේදී අපි වැඩියෙන් කියවීම ගැන කතා කරනවා. ජාතික පුස්තකාල මගින් මේ මාසය කියවීමේ මාසය විදිහට නම් කර තිබෙනවා විතරක් නොවෙයි, කියවීම ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් පවා සංවිධානය කරනවා. පුංචි කාලේ පටන්ම දරුවන්ට කියවීමේ පුරුදු හුරු කිරීම වැදගත් වෙන්නේ ඇයි… ? ඒ කරුණ ඔබ නොදන්නවා නම් දැන් ඉතින් දැනගත යුතු කාලයයි මේ…

නව දැණුම

නව දැනුමෙන් ලෝකය තත්පරයක් පාසා අලුත් වෙනවා. නව දැනුම එකතු වෙනවා වගේම පවතින තොරතුරු වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම අපි ග්‍රහනය කර ගන්නේ තොරතුරු සන්නිවේදනයෙන්. මිලියන ගණනින් ලෝකයට එකතු වෙන තොරතුරු වලින් ඔබේ දැණුම අලුත් කර ගැනීමට නම් කියවන හුරුව අනිවාර්යෙන්ම ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. එහෙමනම් ඔබේ පොඩිත්තා නව දැනුමෙන් පෝෂණය කරන්න නම් පොත් පත් කියවීමේ සුරුව ගොඩ නැගීමේ වගකීම අම්මා තාත්තාට බව අමතක කරන්න එපා.

බුද්ධි වර්ධනය

කියවීම මොළයට ඉතා හොඳ ක්‍රියාකාරකමක්. අපේ සිරුරට වගේම මොළයටත් වයායාම අවශ්‍යයි. ඒ නිසා නිතරම කියවන දරුවන්ගේ මොළයට ඇති වෙන ක්‍රියාකාරීත්වය නිසා ඔවුන්ගේ බුද්ධි වර්ධනය සිදු වෙන බව අලුත්ම පර්යේෂණ මගින් සනාථව තිබෙන දෙයක්.

ස්මරණය

අද බොහෝ දෙනෙකුට ස්මරණය හෙවත් මතකය පිලිබඳ ගැටලු තිබෙනවා. පාඩම් කටයුතුවලටත් දරුවන්ගේ මතක තබා ගැනීමේ හැකියාව ඉතාම වැදගත්. අද දරුවන්ගේ මතකය වැඩ තරන්නේ විද්‍යුත් මෙවලම් වෙනුවෙන් පමණයි. අපි ඒ ගැන නිරන්තරව දොස් නැගුවාටමත් බැහැ. දරුවන් මේ පුරුද්දට තිබෙන ඇබ්බැහිය වලක්වලා ඔවුන් පොත් පත් කියවීම වෙනුවෙන් හුරු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා මතක ශක්තියෙන් වගේම මතකය රදවා ගැනීමේ හැකියාව ඇති දරුවන් පිරිසක් නිර්මාණය කිරීමට නම් පොත් පත් සමග ඔවුන් මිත්‍රශීලී කිරීම මොනතරම් වැදගත්ද යන්න ඔබට තේරුම් ගන්න පුලුවන් නේද….?

පරිකල්පනය

පොත් පත් කියවන දරුවන් එතැනින් නවතින්නේ නැහැ. ඔවුන් ඒ ඔස්සේ බොහෝ දේ විමසනවා. ඇයි එහෙම වුනේ…? එහෙම නැත්නම් ඊට වඩා මේ කතාව වෙනත් විදිහකට අවසාන වෙන්න තිබුනා. වගේ තොරතුරු  අනුව ඔවුන් තමන්ගේ චින්තනයෙන් අලුත් යමක් ගැන හිත යොමු කරනවා. අවදානම් දැරීම වගේම ධනාත්මකව සිතන පතන අන්දම මේ නිසා වැඩිදියුණු වෙනවා.

විග්‍රහාත්මක සිතන්න පටන් ගන්නවා

ප්‍රබන්ධ සාහිත්‍යය නිසා දරුවන්ගේ තර්ක ශක්තිය වැඩිදියුනු වෙනවා. ඔවුන් හේතුඵල සම්බන්ධතාවයක් අනුව විය හැකි දේ ගැන තර්කානුකූලව හිතන්න පටන් ගන්නවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේදීත් දරුවන් විග්‍රහාත්මකව සිතීමට යොමු වීම නිසා එය ජීවිතයටත් සුවිශේෂී ශක්තියක් බවට පත් වෙනවා.

වාග්කෝෂය පුලුල් වෙනවා

අද දරුවන්ගේ භාෂාව සහ රචනා ශෛලීය බොහොම දුර්වලයි… මේ නිතරම දරුවන් මුල් කර ගෙන නිතර නැගෙන චෝදනාවක්. ඉතින් හැමදාම දොස් නගනවාට වඩා දරුවන්ට ඒ වෙනුවෙන් හිතකර පසුබිමක් සකස් කර දුන්නොත් විහාල ආලෝකයක් ඔවුන්ගේ ජීවිතයට ලැබෙනවා. තමන්ගේ වාග්කෝෂයේ වචන නැති වුනොත් තමන්ගේ භාෂා සාහිතයයේදී පසුගාමී චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා බාලකාලයේ පටන්ම පොත් පත් කියවීමේ පුරුද්ද ඇති කිරීමට අම්මා තාත්තාගේ විහේෂ අවධානයක් අවශයි.

ඉතින් කොහොමද කියවන පුරුදු වගා කරන්නේ…

දරුවාගේ ලෝකයේ පුංචි කාලයේ පටන්ම පොත් පත් වෙනුවෙන් යොමු කිරීම වැදගත්. කන්න බොන්න, අදින්න දුන්නට ජනප්‍රිය පාසලකට ඇතුළු කලත්  දරුවා වෙනුවෙන් කියවන පුරුද්ද ඇති කිරීමට දෙමව්පියන් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා බාලකාලයේ බටන්ම සෙලල්ම්බඩු වගේම කියවීමට කැමැත්ත ඇති කරන පොත් පත්, පුවත්පත් වගේම සගරා වැනි කියවන දේ ලබා දෙන්න.

ගෙදර පුංචි පුස්තකාලයක්..

ඔබේ නිවසේ පුංචි පුස්තකාලයක් වෙනුවෙන් ඉඩක් තෝරා ගන්න. කියවන සමාජය මුලින්ම ගොඩ නැගෙන්නේ තමන්ගේ නිවසෙන්. අම්මා , තාත්තා කියවනවා දකින විට දරුවාත් ඒ වෙනුවෙන් යොමු වෙනවා. තවමත් අත්තම්මලා සීයලා වෙත තිබෙන කියවීමේ පුරුද්ද අපේ දරුවන්ට නැහැ. ඒත් මේ පරම්පරාව වෙත තිබෙන දැණුම, වියාකරණ හැකියාව, සාහිත්‍යමය රසවින්දනය වැනි හැකියාවන් දකින මව්දෙමව්පියන් අනිවාර්යෙන්ම දරුවා වෙනුවෙන් කියවීමට ආකර්ශනයක් ඇති පරිසරයක් නිර්මාණය කරන්න.

පුස්තකාලක සාමාජිකත්වය

අද සෑම පලාත්පාලන ආයතනයක්ම තමන්ගේ බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබා දෙනවා. ලොකු මුදලක් වැය නොවනවා වගේම කියවීමට අවශ්‍ය දැනුම් ද්‍රව්‍ය උපරිම විදිහට මෙම පුස්තකාල සතුව තිබෙනවා. ඉංග්‍රීසි පොත් පත් අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය කවුන්සලය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පොත්පත් ලබා ගත හැකි තොරතුරු මධ්‍යස්ථානත් තිබෙනවා. මෙම පුස්තකාලයන්හි ළමා අංශය මගින් කියවීමට අවශ්‍ය දැනුම් ද්‍රව්‍ය ලබා දෙනවා පමණක් නොව විවිධ සාහිත්‍ය සහ භාෂා තරග පවත්වා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුනු කර ගැනීමට උපදෙස් ලබා දෙනවා. විවිධ කෙෂත්‍රවලින් ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තරව කැපී පෙනෙන චරිතබවට පත් පුද්ගලයන් විසින් සිදු කරන අතීතාවර්ජනාවන්ගෙන් පෙනෙන්නේ ඔවුන් සිය ළමා කාලයේදී පුස්තකාල සමග ඉතා හොදින් සම්බන්ධතාවයන් පවත්වා ගෙන ගිය පිරිසක් බවට පත් වීමයි.

මහා බ්‍රිතාන්‍යයේ අම්මලා දරුවන්ගේ කියවීමට ඉතා හොඳ පසුබිමක් සපයා දෙන්නේ මේ විදිහටයි. අම්මාවරු දහ දෙනෙක්ගෙන් තුන්දෙනෙක් තම දරුවන්ට දිනකට කතා පොතක් කියවා දීමට උනන්දුවක් දක්වනවා.එ‍රට සාක්ෂරතාවය 99% ක්. මේ තත්වය 100% ක් දකාවා පත් කිරීමට නම් අම්මලා උනන්දු විය යුතු බව බ්‍රිතාන්‍ය රජයේ අදහසයි. ඒ නිසා බ්‍රිතාන්‍ය රජය අවධාරනයෙන්ම දන්වන්නේ දරුවන්ගේ කියවීම වෙනුවෙන් අම්මාවරු උනන්දු විය යුතු බවයි. එරට මැක්ඩොනල්ඩ් ආහාර ජාලයෙන් පවා මේ වෙනුවෙන් උනන්දුවක් දක්වනවා. ඔවුන් සිය ආපනශාලාවට පැමිණෙන දරුවන් වෙනුවෙන් පොතක් ප්‍රදානය කිරීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ කියවීම වැඩිදියුනු කිරීමටයි. දැනට මැක්ඩොනල්ඩ් සමාගම පොත් මිලියන හැටක් බෙදා දී තිබෙනවා. ඒත් තවමත් මහා බ්‍රිතානයයේ වුනත් දුප්පත් දරුවන් අතරින් එක් අයෙකුට කියවීම වෙනුවෙන් පොතක් මිලදී ගැනීමේ ආර්ථික දුෂ්කරතාවය තිබෙනවා.

එහෙනම් රහස තිබෙන්නේ කොතැනදැයි දැන් ඔබට වැටහෙනවා ඇති. පමාවට කරුණු අවශ්‍ය නැහැ. ඔබේ දරුවාටත් සෙමෙන් සෙමෙන් කියවන පුරුදු ගොඩ නැගුවොත් හෙට දවස ජයගැනීම ඔබේ දරුවාට වික්‍රමයක් නොවනු ඇති.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here