නරක වචන කියන දරුවන්ට වේවැල් කසාය දුන්නොත් හරිද?

punnishing_child

“අනේ බලන්නකෝ මෙයාලා කියන වචන. මේ දරුවෝ මේවා කොහෙන් ඉගෙන ගන්නවද මම දන්නේ නැ. තැනකට ගෙනියන්න බෑ ලැජ්ජයි. අඩු තරමේ අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනේ, දෙයක් කියන්න කරන්න කලින්. පොඩියි කියල හැමදාමත් මෙහෙම කරන්න දෙන්න බැහැනේ…” ගමනක් බිමනක් අවසානයේ අම්මගේ සුපුරුදු දෝශාරෝපණයත් එක්ක ගෙදරට ගොඩ වැදුණු කවුරු කවුරුත් නිහඬව තම තමන්ගේ කටයුතුවලට යොමු වුණේ අම්මගේ හිත දුකටත් තරහටත් පත්ව ඇති වෙලේ තමන් අතින් තවත් වැරැද්දක් වුනොත් නිහඬව සිටින තාත්තගෙනුත් බේරිල්ලක් නැති බව දන්නා නිසාමය.

“අපි ඇහේ මූණේ තියාගෙන දරුවෝ හැදුවට එයාලට නම් අපි ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් නැහැ. ඒ නිසානේ කතා බහ කරන කොට කිසි සැලකිල්ලක් නැතිව කැත වචනම කියන්නේ, තැනකට යන්න කලින් කොච්චර කියලද එක්කන් යන්නේ, හොඳට හැසිරෙන්න කියලා…”

මෙන්න මේ විදියට දරුවන්ගේ භාෂා භාවිතය ගැන අම්මල මැසිවිලි නැඟුවත් කොහෙන්ද දරුවෝ මේ දේවල් ඉගෙන ගන්නේ ඒ වගේම මේ දේවල් නතර කරන්න අපි මොනවද කරන්න ඕනේ කියන කරුණ ගැන දැනුවත් බවක් නම් නැහැ.

ඇයි මේ පුංචි දරුවෝ නරක වචන කියන්නේ, ඒ ගැන හිතලා බැලුවද?

දරුවෝ කියන්නේ එයාලගේ වටපිටාවෙන් ලැබෙන හැමදේම ග්‍රහණය කරගන්න පිරිසක්. ඉතිං නිවසේ වටපිටාව කොයි තරම් හොඳින් පැවතුණත් බාහිර පරිසරයට නිරාවරණය වෙන මේ පුංචි දරුවන්ට උස් පහත් භේදයකින් තොරව භාවිත වෙන වචන අහන්න වගේම හැසිරීම රටා දකින්නත් ලැබෙනවා. එතැනදී තමන්ට නුහුරු අත්දැකීම් වෙතට දරුවෙක් නැඹුරු වෙන සම්භාවිතාවය බොහොම ඉහළයි. ඔන්න ඔතනදි තමයි “අපි සතෙකුටවත් නොකියන වචන තමයි මේ දරුවෝ අපිට කියන්නේ…” කියන දෝෂාරෝපණය අම්මලාගෙන් එල්ල වෙන්නේ.

විශේෂයෙන්ම වයස අවුරුදු පහ දක්වා කාලය දරුවෝ බොහොමයක් දේ ඔවුන්ගේ පරිසරයෙන් උකහා ගන්නවා. ඒ වගේම එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ඔවුන් ඒවා අත්හදා බලන්න පැකිලෙන්නේ නැහැ. එහෙමයි කියලා අපිට දරුවෝ සමාජයට යොමු නොකර ඉන්න බැහැ. පෙර පාසැල, පාසැල, පාසැල් වෑන් රථය, වෙළඳසැල වගේ බොහොමයක් ස්ථානවලදී එක් එක් පුද්ගලයන් භාවිතයට ගන්න වචන අපේ දරුවන්ට අහන්න ලැබෙනවා. ඉතිං අපේ නිවස තුළ පරිසරය කොයි තරම් හික්මුණු පරිසරයක් වුනත් මෙන්න මේ විදියට වට පිටාවෙන් දරුවෝ බොහෝ දේ ලබාගන්නවා නේද කියන දේ දැන් ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම පාසැලට පෙර පාසැලට එන එක් එක් සමාජ මට්ටම්වල දරුවෝ වගේම රූපවාහිනියත් දරුවන්ට මේ හා සම්බන්ධ නව අත්දැකීම් ලබාදෙන තවත් අවස්ථා. මෙන්න මේ දේවල් හරහා දරුවෝ ග්‍රහණය කරගන්නා දේ ඒ අත්දැකීම්වලට අනුව සුදුසු අවස්ථාවට භාවිත කරන්න දරුවෝ උත්සාහ කරනවා. මෙන්න මෙතැනදී තමයි අපේ අම්මල තාත්තලා කලබලයට පත්වෙන්නේ.

ඒ වගේම ඇතැම් වැඩිහිටියන් දුරකථන සංවාදවලදී දරුවන් අසලක රැඳෙන බව අමතකව තම යහළුවන් සමග කරන කතා බස්වලදී දරුවන්ගේ මුවෙන් ඔබ අසන්නට අකමැති වචන භාවිතයට ගැනෙන අවස්ථා ගැන අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ හරහා දරුවා ලබා ගන්නේ ඒ සාමාන්‍ය කතා බහට සුදුසු වාග් මාලාවක් ලෙස  විය හැකියි. අපි නොදැනුවත්වම වුවත් දරුවන්ගේ ශබ්ද කෝෂයට අපි හරහා වුවත් අනවශ්‍ය වචන මෙන්න මේ විදියට උනත් එකතු වෙන්න පුළුවන්.

දරුවෙකු හොඳ නරක ඉගෙන ගන්නේ තම වටපිටාවෙන් බව දැන් ඔබට පැහැදිලි ඇති. අපි අන්‍යයන්ට ගෞරව කරයිද දරුවාත් එය අපෙන් ඉගෙන ගන්නවා සේම අපි යමෙක්ට අගෞරවයෙන් යුතුව සලකයිද දරුවාද එය අනුගමනය කරයි.

ඉතිං මොකද්ද වැඩිහිටියෝ විදියට දැන් අපි කරන්න ඕනේ…?

දරුවෝ ගැන හොඳ අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් පුංචි දරුවෙක් නරක වචනයක් පාවිච්චි කළාම ඒ දරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නැති තැන දොස් කියන්නේ නැහැ. මොකද ඔවුන් තුළ තියෙන අවබෝධය නිසා ඔවුන් දන්නවා මේ වයසේ දරුවෝ වටපිටාවෙන් ගොඩක් දේවල් උකහා ගන්නවා කියලා. ඉතිං අම්මල මේක ලොකු ලැජ්ජාවක් කරගෙන දරුවට කෑකෝ ගහන්න ගියොත් නම් මේ වරද ලේසියෙන් හදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් ඉවසීමෙන් මේ තත්ත්වය නිරාකරණය කරගන්න ඕනේ. ඉතිං මෙවැනි අවස්ථාවකදී දරුවෙකුගේ මෙවැනි ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත්.

දරුවා නරක වචනයක් කියද්දී එයට සිනාසෙමින් හොඳ ප්‍රතිචාර ලබා දීමෙන් සිදුවන්නේ දරුවා ඒ වෙනුවෙන් ලබන ප්‍රසාදය හේතුවෙන් ඒ වැරැද්ද දිගින් දිගටම සිදු කිරීමයි. මන්ද දරුවා සිතන්නේ තමා සිදු කරන දේ වරදක් ලෙස නොව, අන්‍යයන්ගේ පුදුමයටත් සිනහවටත් හේතුවක් වන බවය. එසේම එවිට දරුවාට ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ලැබෙන බව තහවුරු වන නිසා මෙවැනි ප්‍රතිචාර මත දරුවා මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට ඔබට නොහැකියි. ඉන්පසු දරුවා ඔබ ඉදිරියේ පමණක් නොව, පිටස්තරයන් ඉදිරියේත් නොපැකිලිව තම සුපුරුදු වචන මාලාව භාවිත කරයි. එහෙමයි කියලා මේ වගේ වරදකට දරුවාට දඬුවම් දෙන එකත් අනුමත කරන්න බැහැ. මොකද ඒ උත්සාහත් නිෂ්ඵලයි. ඒ දඬුවම හරහා දරුවා ඒ පිළිබඳව කුතුහලයෙන් සිතන්නට පෙළඹෙන නිසාම තව දුරටත් ඒ වචන භාවිතයට ගනිමින් ඔබේ ප්‍රතිචාර කෙබඳු දැයි බැලීමට උත්සාහ කරයි.

ඒ නිසා දඬුවම් මගින්ද මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයක් නොමැත. අන්න ඒ නිසාම මෙවැනි අවස්තාවලදී දරුවාට ප්‍රතිචාර නොදක්වා සිටීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඔබ කළ යුත්තේ, දරුවා නිදහසේ සතුටින් ගත කරන අවස්ථාවක මේ පිළිබඳව පැහැදිලි කිරීමත් දරුවා එසේ හැසිරුණහොත් අනෙක් පිරිස් ඔහුව ප්‍රතික්ෂේප කළ හැකි බවත් තේරුම් කර දීමයි. ඒ ආකාරයෙනුත් මේ තත්ත්වය වලක්වා ගන්න බැරි නම් ශාරීරික නොවන පුංචි පුංචි දඬුවම් කිහිපයක් දරුවට ලබාදෙන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ දරුවා කැමතිම දෙයක් දරුවාගෙන් ඈත් කිරීම වගේ දඬුවමක්. එහෙම නැත්නම් ඒ වෙනුවට වෙනත් වචනයක් හඳුන්වා දෙන්නත් ඔබට පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගත නොහැකි තත්ත්වයක් ලෙස නොසිතිය යුතු වන්නේ දැනුම් තේරුම් ඇති වයසට එන විට දරුවන් විසින්ම මේ තත්ත්වය මගහරවා ගන්න බැවිනි.

දරුවන්, වැඩිහිටියන් අනුකරණය කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරනැ නිසාම දරුවෙකුගේ හැසිරීමේ රටාවට වැඩි බලපෑමක් ඇති වෙන්නේ දරුවා ජිවත් වන වටපිටාවයි. ඒ නිසාම දරුවෙකුට නිසි වටපිටාවක් සැකසීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි. ඒ වෙනුවෙන් හොඳ පැවැත්ම උදෙසා පැසසුමට ලක්වූ චරිත පිළිබඳව අලලා සැකසුණු වීඩියෝ, ගීත, පොත් පත් ආදිය දරුවාට ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමට ඔබට හැකියි.

මෙම ලිපිය හරහා සාකච්ජා කළේ සාමාන්‍ය නිරෝගී දරුවන් සම්බන්ධවයි. නමුත් අඩු අවධානම් අධි ක්‍රියාශීලි (ADHD – Attention Deficit Hyperactivity Disorder) දරුවන්, මානසික සංවර්ධනය මන්දගාමී දරුවන් (Intellectual Developmental Disorder), Tourette Syndrome, Conduct Disorder නම් තත්ත්වවල සිටින දරුවන් වේ නම් ඔවුන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුකළ යුතුය.

මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here