- Advertisement -

පිළිවෙලකට උයමුද?

-

ඉක්මණින්ම මුහුණ කට සෝදා ගත් දුලීකා හිතුවෙ මොනවද අද උයන්නෙ? කියලා. ඇඳුම් මාරු කරමින්ද ඇය සිතුවෙ මොනවද උයන්නෙ? ශිතකරණයෙන් එළවළු දමන කූඩය මේසය මතින් තැබූ ඇය සිතුවෙ මොනවද අද උයන්නේ ? ශීතකරණයේ තිබූ මාළු පෙට්ටියත් එළියට තබමින් ඇය සිතුවෙ මොනවද අද උයන්නෙ? එළවළු කූඩයම පෙරලා බෝංචි ටික ගත්ත ඇය… තව මොනවද? පරිප්පු උයනවා, මාළුවකුත් හදනවනේ මැල්ලුමකුත් හදනවා. ඇයට හිතන්නම පැය කාලකටත් වඩා ගතවෙලා, දැන් ඉතින් ඇය ලහි ලහියේ උයනවා.

“ළමයින්ගේ කෑම පෙට්ටි වලට දාන්නේ මොනවද?” ආයෙත් ප්‍රශ්නයක්. “යන ගමන් මොනවා හරි අරන් දෙන්න කියනවා…” වෙලාවට තටු ඇවිල්ලා වගේ ගත වෙලා ගිහින්. තේ ටික පිළියෙල කර සැමියවත් දරුවන් දෙදෙනාවත් ඇය අවදි කලා.

- Advertisement -

“අනේ රෝහිත යන ගමන් මෙයාලට ඉස්කෝලෙට ගෙනියන්න මොනවා හරි අරන් දෙනවද? මට ටිකක් නින්ද ගියා ඊයේ ටිකක් රෑ වෙනකල් ළමයින්ගේ පොත් බලපු නිසා…” ඇය නිදහසටත් කරුණු කිව්වා.

“හා..”

“අයියෝ අම්මා… කඩ කෑම ගේන්න එපා කියලා ටීචර් කියනවා”

“අදට ගෙනියන්න”

රෝහිතට දහවල් ආහාරයද බෙදා අවසන් කර තැබූ ඇය දියණියටත් පුතාටත් බත් කවන්නට පටන් ගත්තා.

“අනේ අම්මා ලුණුත් නැහැ පරිප්පු වලට…, අර නතාරාගෙ අම්ම නම් එක එක දවසට එක එක කෑම හදලා එවනවා හරිම රසයි.”

දඩිබිඩිය නිසා පරිප්පුවට ලුණු දමන්නට තමන්ට අමතක වන්නට ඇත. කුමක් කරන්නද දැන් රෝහිතගෙ කෑම පෙට්ටියද සූදානම් කර අවසන්ය. කිසිදා මැසිවිලි නොනගන රෝහිත අදත් ලුණු නැති පරිප්පු සමඟ බත් රසවිඳිනු ඇත. එහෙත් පොඩ්ඩන්ගෙන් නම් දූලීකාට මේ මැසිවිල්ල හැම දිනකම අසන්නට සිදු වෙන නිසා ඇයට ඇය පිළිබඳම දැනුනේ තරහකි. සියළු දෙනාම නිවසින් පිටව ගිය පසු ඇය පුටු වේ හිඳ ගත්තේ හිතේ තියෙන නොසන්සුන් බව නිසාමය. පෙර පාසලක ඉගැන්වීම් කටයුතුත් කරන අතර ගෙදර කප්පරක් වැඩ තනිවම කරන ඇයට තමන් පිළිබඳව දැනුනේ ආත්මානුකම්පාවකි. සුසුමක් හැර ලය සැහැල්ලු කරගන්නට වෙර දරමින් ඇය පෙර පාසලට යන්නට සූදානම් වූවාය.

“ගුඞ් මෝර්නිග් දූලීකා…. මොකද මේ මුණ තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ.. ?”

මලීෂා ගුරුතුමී අසද්දි දුලීකා හිනා වුණා.

“මොකද කියන්නකො…?”

“අනේ මන්දා මේ උයන එක නම් මට එපා වෙලා. උදේට නැගිටලා හිතන්නම පැයක් විතර යනවා ඊට පස්සෙ වෙලා මදි වෙනවා. අදත් බබාලට කඩෙන් කෑම යැව්වේ…”

“අයියෝ ඕකද ගැටලුව මම දෙන්නම් ඔයාට විසඳුම. හැමදාම නිදියන්න කලින් පහුවදාට උයන්නෙ මොනවද කියලා හිතලා ඒවා වෙනම තියන්න. පුලුවන් නම් රෑට පොල් ටික ගාලා එළවළු ටික සුද්ධ කරලා තියන්න. කට්ටියම ගෙදර ඉන්න වෙලාවනේ ගෙදර කට්ටියවත් වැඩේට එකතු කරගන්න. උදේට හිතන්න යන කාලයත් ඉතිරියි, වැඩෙත් පහසු නිසා කූල් එකේ උයන්න පුළුවන්.”

“ඒක නම් ඇත්ත..”

යෙහෙළියගේ අවවාදය තදින් හිතට ගත්ත දූලීකා. එදා රාත්‍රී ආහාර පිළියෙල කරන්නට පෙර තීරණයක් ගත්තා. ඒ සතියටම වේල් තුන සහ දරුවන්ගේ කෑම පෙට්ටි වලට දමන්න ආහාරත් අමතර ආහාරත් කල් තියාම සැලසුම් කරන්න.

  • මුලින්ම ඇය නිවසේ සාමාජිකයන් කැමතිම ආහාර ලැයිස්තුවක් සකස් කලා.

කිරි බත්, ෆරයිඞ් රයිස් ,රොටි, නූඞ්ලස් ,පැස්ටා ,පාන්, කහ බත්, ඉඳි ආප්ප, පිට්ටු, බිරියානි, තෝසේ, පරාට,සමෝසා ආප්ප, කඩල ,කවුපි, මුං ඇට

  • අනතුරුව සඳුදා සිට ඉරිදා දක්වා මෙම ආහාර වර්ග බෙදුවා. වේල් තුනට බෙදා වෙන් කලා.

chart1

  • කල් තබා ගත හැකි ආහාර ටිකක් සකස් කර තබා ගත්තොත් තවත් පහසුවක් බව ඇයට සිතුනා. ඇය වෙනමම කල් තබා ගත හැකි ආහාර වර්ග ලෙස කූණිස්සන් චිලි පේස්ට්, වම්බටු මෝජු, අච්චාරූ, සීනී සම්බෝල, මාලු ඇඹුල් තියල්, රටකජු හාල් මැස්සන් බැදුම, කෙසෙල් මුව සීනී සම්බෝල සටහන් කරගත්තා.

“ආ දැන්නම් හිතට නිදහසක් දැනෙනවා හෙට ඉඳලා පිළිවෙලට වැඩ ටික කරන්න දැන් පුලුවන්… ” දුලීකා සිතුවා. පසු දිනට අවශ්‍ය කලමණා ලෑස්ති කල ඇය කවරදාකවත් නැති නිදහස් සිතකින් සතුටින් නින්දට ගියා.

මෙම ලිපිය සකස් කරන්නට කමනි සිරිවර්ධන සොයුරියගේ අදහස්ද බෙහෙවින්ම උපකාරී වූ බැවින් ඇයට විශේෂ ස්තුතිය පුද කරමි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article