අද දරුවන්ගේ විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන‍්නේ යම් දෙයක් වෙත අවධානය දැක්වීමට තිබෙන පසුගාමීත්වයයි. මේ වෙනුවෙන් අපි චෝදනා නගන්නේ විද්‍යුත් උපංගයන්ට වුනත් ඒ වෙනුවෙන් චෝදනා නැගීමට වඩා දරුවන් එයින් මුදවන මාර්ගය පිලිබඳව විමසිලිමත් වීම ඉතාම වැදගත්. භාවනාව නිසා මේ තත්වය බොහෝ දුරට මග හරවා ගැනීමට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන්ට යම් දෙයක් වෙනුවෙන් සිහිය පවත්වා ගැනීම හෙවත් අවධානය දැක්වීමට තිබෙන ශක්තිය නොදැනීම වර්ධනය වීම එක්තරා ආකාරයකින් දරුවන් ලද වාසනාවක් ලෙස සලකන්න පුලුවනි. මේ නිසා භාවනාව වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයක් ගැන අවධානය යොමු වෙන යුගයක්.
අණුක ජීව විද්‍යාඥයෙකු ලෙස ප්‍රකටව සිටින “එරික් ලෑන්ඩර්” විසින් අධි සංඛ්‍යාත ගැමා තරංගයන් සමග මොළයේ භාවනාවට සම්බන්ධ ( පූර්ව පාර්ශවික) කොටස අතර පවතින සම්බන්ධතාවය අද්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ භාවනාව මගින් දකින මොලයේ පිබිදීම ඉතාම අපූරු බවයි. මෙම මානසික ක්‍රියාකාරකමෙන් ලැබෙන පිබිදීම ගෝල්ෆ් හෝ ටෙනිස් ක්‍රිඩාවෙන් මොළයට ලැබෙන ප්‍රබෝධයට සමාන බව පර්යේෂකයන් සඳහන් කරනවා.
බොස්ටන් විශ්ව විද්‍යාලයේ “සාරා ලාසන්” විසින් MRI ස්කෑන් දර්ශනයක් ආශ්‍රිතව ලබා ගත් තොරතුරු පාදක කර ගෙන පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාවන් මගින් මානසික වෙහෙසකර තත්වයන් පවා නැති කර ගත හැකි බවයි.
සතිය පිහිටුවා ගැනීමේ වාසි
-
අධ්‍යාපනයේ ප්‍රගතියක් :
ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගුරුවරුන්ගේ මෙන්ම දරුවන්ගේ සහභාගීත්වය කරත්තයක රෝද දෙක සේ සමාන්තරව අවශ්‍යි. මොනතරම් දක්ෂ ගුරුවරුන් සිටියත්, දරුවන් ඒ වෙනුවෙන් වූ සහභාගීත්වය සතුටුදායක නොවේ නම් මුනින් නවන ලද කළයක් ජලයෙන් පිරවීමට සමාන නිෂ්ඵල ක්‍රියාවක් බව අපි දනන්වා. ඒත් සතිමත් හෙවත් භාවනාවෙන් සිහිය පවත්වා ගන්නා දරුවෙකුගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඔවුන් දක්වන දායකත්වය ඉතාම සතුටුදායක බව විවිධ අධ්‍යනයන් මගින් දැන් හදුනා ගෙන තිබෙනවා.
-
අන්තර් සම්බන්ධතාවයන් :
“අනේ අපේ පුතා අල්ලපු ගෙදර මිනිස්සු එක්කවත් වචන දහයක් තව කථා කරල නැහැ…” මේ වගේ කතා බහ අපි අතර නැගෙන්නේ දරුවන්ගේ අන්තර් සම්බන්ධතාවයන්ගේ තිබෙන ඛේදාන්තය නිසයි. මෑතකදී වයස අවුරුදු 22 ක් පමණ වුන තරුණයෙකුගේ පියා අභාවප්‍රාප්ත වුණා. ඔහු පවුලේ එකම දරුවා. මේ මළගෙදරට දරුවා සේවය කරන ස්ථානයේ හිතවතුන් ආවාත් ඔහු ඒ තරම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සාමාන්‍යයෙන් දරුවන් පවුලේ නැදෑයින්ට කෙසේවුනත් සමවයස් කණ්ඩායම් සමග පවත්නා සම්බන්ධතාවයන් ඒ තරමටම පිරිහී නැති බවටත් අදහස් තිබෙනවා.
ඒත් මේ තරුණයා අවම වශයෙන් ඒ අයටවත් සංග්‍රහශීලව කතා බහ කළේ නැහැ. පවුලේ ඥාතීන් විසින් කාර්යාලයේ හිතවතුන්ට කතා බහෙන් සහ වෙනත් සංග්‍රහ කරද්දී මේ තරුණයා මුහුනු පොත ඔස්සේ කටයුතු කළ නිසා ඉතාම අප්‍රසන්නතාවයක් ඇති වුනා. එහෙත් සතිමත් දරුවෙක් පසුකාලයක තරුණයෙක් වුනත්, සමාජගත පුද්ගලයෙක් වුනත් ඔහුගේ පිරිසිදු මනස නිසා ඉතාම හෙඳ අන්තර් සන්නිවේදන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
-
තමන්ගේ අභ්‍යන්තරය කණ්නාඩියකින් දකිනවාට සමානයි :
සිහිය පිහිටුවා ගත් දරුවෙකුගේ සාමාන්‍ය හැසිරීම අපි කණ්නාඩියකින් අපේම අඩු පාඩු අපිම දකිනවාට සමාන බවයි. මේ අඩු පාඩු වෙන කිසිම අයෙකුගේ පෙන්වා දීමක් නැතුව අපිම සකස් කර ගන්නවා වගේ මේ දරුවන්ටත් තමන්ගේ අඩු පාඩු සකස් කර ගැනීමට ඉබේටම හැකියාව ලැබෙනවා.
-
අනුන් මත වැරැදි පැටවීම අඩුයි :
අද බොහෝ දරුවන් වැරැද්ද පිලිගන්නේ නැහැ. එය වෙනත් අයෙකු මත පටවා තමන් නිවරැදි යැයි කියනවා මිසක වැරැද්දක් නිවරැද්දක් කර ගැනීමට සූදානම් නැහැ. මේ ගැන දෙමව්පියන්ද යම් දුරකට වග කිව යුතුයි. ඔවුනුත් මගේ දරුවා අර ළමයා නිසා නාස්ති වුනා යැයි චෝදනා නගනවා විනා දරුවා නිවරැදි කිරීමට මුල් අවස්තාවේදි උත්සාහ ගන්නේ නැහැ. නොමගට ගිය පසු පසුතැවිලිවීම හරියට අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසනවාට සමානයි. ඒත් භාවනාව ප්‍රගුණ කල දරුවෙකුට කිසිම විදිහකට අනුන් මත වැරැදි පැටවීම අවශ්‍ය නැහැ. ඊට හේතුව සිහියේ පිහිටුවා ගත් සන්සුන් මනස නිසා නිවරැදි දේ නිවරැදි ලෙසින් තෝරා ගැනීමට තරම් වාසනා ගුණයක් ඔවුන් තුළ නිර්මාණය වෙනවා.
-
පාසලේ විනය :
අද පාසල් දරුවන්ගේ විනය දැඩි ලෙස පිරිහී තිබෙන බවට අපට නිතරම ඇසෙන කරුණක්. අඩුම වශයෙන් ගුරුවරුයෙකුට පවා දරුවන්ගේ වරදක් වෙනුවෙන් අවවාදයක් කිරීමට නොහැකි තැන් පවතිනවා. ඒත් සිහිය පිහිටුවා ගත් දරුවෙක් තුළ ස්වයං විනය ඉබේටම ගොඩ නැගෙන නිසා පාසල තුළ ඔවුන්ගේ හැසිරීම ඉතාම සංයමයෙන් සහ සංවරයෙන් පවත්වා ගන්න පුලුවනි.
පාසල තුළ වුනත් දරුවා ලොකු සහ කුඩා පංතිවල දරුවන් අතර වගේම ගුරුවරුන් සහ වෙනත් පාසලේ කළමනාකාරිත්වය සමග ඉතාම හොඳ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. මේ නිසා පාසල් පරිසරය තුළ ඇති වෙන ගැටුම් ආරවුල් නොදැනීම පහව ගොස් “පාසලෙන් මග දකින හොඳම දරුවා මමය…” යන සංකල්පයේ සතිමත් දරුවා පිහිටන බව රහසක් නොවේ.
ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලේ පවත්වන ලද දේශනයක් ඇසුරිනි.