- Advertisement -

දරුවන්ගේ නිර්මාණ අගයන්න වැඩිහිටි ඔබ දන්නේ නැද්ද?

-

එදාට වඩා අද වෙද්දී දරුවා සහ ගුරුවරයා අතර තියෙන බැඳීම බොහෝසෙයින් දුරස් වී ඇති බවක් මා අවබෝධ කරගත්තේ මගේ මවත් ගුරුවරියක් නිසාත් දරුවන්ගේ එදි නෙදා කටයුතුවලදී මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් නිසාත්ය. විශේෂයෙන්ම පාසලට සම්බන්ධ වූ දිනයේ සිට දියණිය මුහුණ දෙන අත්දැකීම් අනුව ඇගේ සිතිවිලි ධාරාවන් වෙනස් වූ ආකාරය මා දකින්නේ පසුතැවීමක් ද සමගයි. පාට කූරක් අතට ගත්ත ඇය වෙනදා නම් යම් රටාවක් ගොඩ නගන්නට අම්මාගෙන් තාත්තාගෙන් හෝ විමසුවේ නැත. ඇය කුඩා වියේ සිටම බිත්ති මත හෝ ඇය ඇගේ සිතුවිලි චිත්‍රයට නගන්නට දෙවරක් නොසිතූ අයෙකි. ඇයගේ නිර්මාණවලට අන්‍යයන්ගේ අදහස්, යෝජනා, චෝදනා නොවීය. නමුත් අද වන විට තත්ත්වය හාත්පසින්ම වෙනස්ව ගොස් ඇත. එය අපිට මහත් කනගාටුවට කරුණක් සේම “ඇයි මේ දේවල් මේ විදියට වෙන්නේ..?” යන සිතිවිල්ල ද හිතට වද දෙයි.

අත් වැඩ, චිත්‍ර නිර්මාණ හෝ දරුවාට පැවරෙන වෙනත් කාර්යයකදී තමාම වෙහෙස වී ඒ කර්තව්‍ය ඉටු කිරීම එකම ආසාව වූ දරුවන් කොතරම් ඇතිද? නමුත් අද වන විට පරිගණකය, පොත් සාප්පු හෝ වෙනත් ස්ථාන වෙතින් පාසැලට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි නිසාම දරුවෙකු වෙහෙස වී කරනු ලබන යම් කර්තව්‍යයක් ඇගයීමට ගුරුවරුන්ට පවා අමතකව ගොස් ඇත. නිර්මාණකරණයේදී පවා දරුවන් තුළින් සියයට සියයක්ම අනවශ්‍ය පිළිවෙළ බලාපොරොත්තු වන ඇතැම් ගුරුවරුන්ගේ සිත්, පැය දෙක තුනක් පුරා දරුවෙකු වෙහෙස වී තම දෑතින්ම සකසන නවතම නිර්මාණයක් අගය කිරීමට නොනැවෙන ආකාරය නම් ශෝචනීයයි. අගය නොකළද කම් නැත. දරුවෙකුට දරා ගත නොහැකි වන්නේ පුංචි සිත් රිදවන වාග් ප්‍රහාරයන්ය.

- Advertisement -

“ඊයා … වට් ඉස් දිස් ? ” එය ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකුගේ ප්‍රතිචාරයක් විය හැකිද?

මේ ප්‍රතිචාර මැද හිතට නැගෙන හැම සිතුවිල්ලකටම “අපෝ ඒක හරි නැ… ටීචර් මෙහෙම කියයි… අරෙහෙම කියයි….” යන තර්කය තම සිතෙහි රඳවාන අදහස් ගොන්නක් අතර දරුවෙකු අසරණ වන්නේ නම් සැබවින්ම අප ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු නොවේද?

නිර්මාණකරණය යනු සැම දරුවෙකු තුළම එකසේ පිහිටන්නක් නොවන අතරම එක් එක් දරුවා තුළින් එක් එක් ආකාරයට ඉස්මතු වන්නකි. චිත්‍රයට අදක්ෂ දරුවෙකු නර්තනයට උපන් හපන්කම් ඇත්තෙකු විය හැකිය. නර්තනයට දුර්වල දරුවෙකු ගයන්න, වයන්නට හපනෙක් විය හැකිය. ඇතැම් විට මේ හැකියාවන් තුනම නොමැති දරුවන්ද හමුවිය හැකිය. මේ හේතුව අද වන විට ගුරුවරුන්ගේ මනසින් ඉවත්ව ගොස් ඇති සැටියක් පෙනී යන්නේ ඔවුන් යම් කාර්යයකදී දරුවෙකුගේ මනසට එල්ල කරන දරුණු පහර දීම් නිසයි.

තමන් කැමති චිත්‍රයක් අඳින්නට අවසර ලබා දී “කවුද මේ ලේසි එකක් ඇඳලා තියෙන්නේ…?” යැයි ගුරුවරයෙකු පන්තිය ඉදිරියේ දරුවෙකුගෙන් විමසද්දී පොඩි දරුවෙකු පත්වන අපහසුතාවය, තමන්ට හැකියාවක් නැතිද යන ගැටලුව හැ ඒ සමග එන පසුතැවීම, ලැජ්ජාව, ආත්ම අනුකම්පාව, තමා අදක්‍ෂයෙකු යැයි ඇති වන සිතුවිල්ල සැබවින්ම දරුවෙකුගේ මානසික සමතුලිත බව බිඳ දමයි. එහි අවසාන ප්‍රතිපලය ලෙස එතැන් සිට දරුවෙකු නිර්මාණකරණයට අත් පොවන්නේ ගුරුවරයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබීමට මිස තමන්ගේ හැකියාව නව අදහස් අනුව ක්‍රියාත්මක කරවීමට නොව. එය දරුවෙකුගේ අදහස් කප්පාදු කිරීමකි. එකම මාතෘකාවක් යටතේ දරුවන් සිව් දෙනෙකුගේ අදහස් අනිවාර්යයෙන් වෙනස්ය. ගුරුවරයා දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් විය හැකිය. මේ හේතුවෙන් දරුවෙකුගේ අදහසකට “ඒ මොකද්ද ඒ…” ලෙස බැන වැදීම හෝ සිනහවට ලක්කිරීම හෝ කළ හැකිද?

සමාජය වෙනස් කිරීම හෝ ගුරුවරුන් සමග මෙවැනි දේ පිළිබඳව සාකච්ජා කිරීම දරුවාගේ ඉදිරි ගමනට බාධාවක් වන්නේ අපි පොඩි කාලේ දරුවන්ට, දරුවන්ට ලෙස සලකන ගුරුවරු සිටියද අද වන විට එවන් මව්වත් ගුරුවරුන් අවම නිසාමය. නිවසේ ප්‍රශ්න හේතුවෙන් ඇති වන තම මානසික පීඩනය පවා පන්තියේ දරුවන් හරහා පිට කරන ගුරුවරුන් සිටින මෙවන් යුගයක අපි දරුවන්ට කියා දිය යුතුම යමක් ඇත. එනම්, “ඔයාට හිතුනෙ මොකද්ද, ඒක තමයි ඔයාගේ නිර්මාණය… ඒකට ලකුණු ඇතත් නැතත්, ටීචර් ගැහුවත් බැන්නත්, මුළු පන්තියම ඉදිරියේ ලෑජ්ජාවට පත් කළත් ඔයාගේ නිර්මාණය ගැන ඔයා සතුටු නම් ඒ ගැන පසු නොතැවෙන්න එපා….”

විද්‍යා, ගණිත විෂයයන් හා සම්බන්ධව දරුවෙකු ගුරුවරයෙකුගෙන් දොසක් ඇසුවත් දරුවෙකු අතින් නිමවෙන නිර්මාණයකට අදහසක් මිස අපහාසයට ලක් කිරීමක් හෝ බැන වැදීමක් කිසිසේත්ම සුදුසු නොවේ. තමන්ගේ හැකියාව මත පිටතට ගෙනන දරුවන්ගේ පිවිතුරු අදහස්වලට සීමා පනවන මේ සමාජය තුළ ස්වාධීනව ගොඩ නැගෙන්න අපි අපේ දරුවන්ට කියා දෙමු.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article