- Advertisement -

ගැබිනි ඔබත් කොන්දේ වේදනාව ගැන බියෙන්ද?

-

ගර්භණී සමයේදී කාන්තාවක් තම එදිනෙදා කටයුතුවලදී වෙනදාට වඩා පරිස්සම් සහගත බවක් දක්වයි. එය දරුවා මෙන්ම මව ද ශාරීරිකව හා මානසික වශයෙන් වැඩි පහසුවකින් ගත කළ යුතු කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන්නට යන වග සැලවූ වහාම පවුලේ සියලු දෙනාද ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරදීම ආරම්භ වෙයි. සැබවින්ම දරුවාගේ වර්ධනය වෙනුවෙන් එම කාලය තුළ මවගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය ඉතා ප්‍රබල සාධකයක් වන අතර මවගේ ශාරීරික සහ මානසික ක්‍රියාකාරකම් එයට තදින් බලපායි. කෙතරම් පහසුව සැලසුවද ගර්භණී සමයේ මව්වරුන් බොහොමයකට විවිධාකාරයේ ශාරීරික සංකුලතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය කරුණකි. ඒ අතරින් ගර්භණි සමයේ ඇතිවන කොන්දේ වේදනාව බොහෝ මව්වරුන්ට බලපෑ ඇති ගැටලුවක් ලෙස නම් කළ හැකිය. මේ සූදානම ඒ පිළිබඳව ඔබව වැඩි වශයෙන් දැනුවත් කිරීමටයි.

ගර්භණී සමයේදී මෙලෙස කොන්දේ වේදනාවන් ඇතිවන්නේ ගර්භාෂය විශාල වීම නිසා හෝ හෝමෝන වෙනස් වීම නිසා යයි බොහෝවිට මව්වරුන් සිතයි. එහි එක්තරා සත්‍යතාවයක්ද පවතී. ගර්භණී කාලය තුළ විශාල වූ ගර්භාෂය නිසා ඍජුව නිවැරදිව සිට ගැනීමට මව්වරුන්ට අපහසුවන අතරම පහසුවෙන් සිට ගැනීමට ඔවුන් උදරය ඉදිරියට දමා සිටගන්නට පටන් ගනියි. එය මෙවැනි කොන්දේ වේදනා සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. එසේම වෙනදාට වඩා වැඩි බරක් ඉසිලීමට සිදුවීම නිසා මව්වරුන්ගේ පේශිවලට අමතර වෙහෙසක් ඇති කරන අතර ඒ හරහා ඔවුන් උසුලා සිටින සන්ධිවලටද එම වේදනාව දැනීමට පටන්ගනියි.

- Advertisement -

වැඩි වශයෙන් ගර්භණී සමයේ පිට කොන්දේ වේදනාව වැළඳිය හැකි අවස්ථා හතරක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අතරින් පෙර ගර්භණී සමයේදී පිට කොන්දේ වේදනාව වැළඳුණු මව්වරුන් ප්‍රධාන තැනක් ගනියි.

එසේම බහුල ලෙසම මෙම තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින තවත් තත්ත්වයන් වන්නේ,

  • ඉතා විවේකී ජීවිත ගත කරන මව්වරුන්
  • ගර්භණී භාවය හා අධික තරබාරු මව්වරුන්
  • ගර්භයේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින මව්වරුන්

ගර්භණී සමයේ ඇතිවන හෝමෝන වෙනස් වීම් නිසා ශ්‍රෝණි අස්ථි සහ බන්ධනී ඉහිල් වීමක් සිදුවන අතර මේවා කශේරුකාවට සම්බන්ධ වී ඇත. මෙම හේතූන් නිසා බොහෝවිට මව්වරුන් ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, බොහෝ වේලාවක් එකදිගට හිඳගෙන සිටීමේදී, ඇඳේ දී හැරෙන විට, උස අඩු පුටුවකින් නැගිටින විට, නැමෙන විට සහ යමක් ඔසවන විට මෙම වේදනාව දැනීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් මෙම වේදනාව කටී කශේරුකා පෙදෙසේ මෙන්ම ඊට පහළ කොටසේද ඇතිවිය හැක. සමහර කාන්තාවන් ගර්භණී තත්ත්වයට පත්වීමට පෙර සිටම මෙලෙස කටී කශේරුකා පෙදෙසේ වේදනාවෙන් පෙළෙන්නට පුළුවන්. මෙය ඉනට ඉහළින් වක්‍රාකාර ලෙස ඉණ පෙදෙසින් ඔබ්බට විහිදී යයි. පසුව මෙම වේදනාව දෙපා දක්වා විහිදී යන ලෙස දැනෙන්නට පටන්ගන්නා අතරම බොහෝ වේලාවක් සිටගෙන සිටීම, හිඳගෙන සිටීම සහ බරක් ඉසිලීම වැනි ක්‍රියාකාරකම් නිසා එය තවදුරටත් වර්ධනය වීමක් සිදුවිය හැකිය. බොහොමයක් ගර්භණී මව්වරුන් අතරේ මෙය සාමාන්‍ය තත්ත්වයකි. පඩිපෙළක් නැගීම, පුටුවක හිඳ ගැනීම සහ නැගිටීම, ඇඳේ දී එහා මෙහා හැරීම සහ බරක් ඉසිලීම වැනි අවස්ථාවන්වලදී මෙම වේදනාව දැඩිව දැනෙන්නට පටන් ගනියි.

මෙම කොන්දේ වේදනා තත්ත්වය වළක්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් සහිතව ව්‍යායාම ආරම්භ කිරීම අතිශය වැදගත් කාරණාවකි. පිහිනීම, යෝග ව්‍යායාම මගින් කශේරුකාව අවට ඇති පේශි ශක්තිමත් කරයි. මෙය තවත් කෙනෙකුගේ උදව් ඇතිව දියේ පාවෙමින් කරන ව්‍යායාම ලෙසද සිදුකළ හැකි අතර එමගින් යහපත් මානසික සුවයක් ගෙනදේ. මෙලෙස දියේදී සිදුකරන ව්‍යායාම මගින් පිට කොන්දේ වේදනාව අවම කරගත හැකි බව වෛද්‍ය විද්‍යාවේ ද තවුරුකර තිබේ. අනෙක්‌ වැදගත්ම ප්‍රතිකාරය වන්නේ ඇවිදීමයි. කටී ප්‍රදේශයේ වේදනාවට ශරීරය නැංවීමේ සහ හැරවීමේ ව්‍යායාම ද සුදුසු වේ.

සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී ජීවිතයේ එදිනෙදා පුරුදු පුහුණු වූ යම් යම් ක්‍රිකාරකම්වල වෙනසක් සිදු කිරීමට මව්වරුන් වගබලා ගතයුතුය. එක්වරම ඇඳෙන් නැගිටීම, උඩු අතට නිදාගැනීම, ශරීරය අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීමට ද සැලකිලිමත් වියයුතුය. ගර්භණී සමයේ මව්වරුන් සෑම විටම කෙලින් සිට ගැනීමට උත්සහගත යුතුය. ඉඳගෙන සිටින විට පවා පිට ඍජුව තබා ගැනීම වඩාත් සුදුසු වන අතරම කකුල් තබා ගැනීමට කුඩා බංකුවක් වැනි යමක් භාවිත කිරීමේ හැකියාවක්ද පවතී. වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකීමටද මව්වරුන් උත්සහ ගැනීම වඩාත් යහපත් වේ. නිදා ගැනීමේදී ද වම් පසට හැරී උදරයට සහ කකුලට කොට්ට තබා ආධාර කර ගැනීම ද වඩාත් යෝග්ය  වේ. මෙලෙස දිගින් දිගටම නිවැරදි ඉරියව් පවත්වාගැනීම ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාවලින් ඔබව ඈත් කිරීමට උපකාරීවන බව මතක තබාගැනීම වඩාත් යහපත් වේ. ගර්භණී සමයේදී උස අඩි සහිත පාවහන් පැළඳීම ඇද වැටීම්වලට පමණක් නොව මෙවැනි කොන්දේ වේදනාවලටද හේතුවන බව මතක තබා ගත යුතුය. බිම ඇති යමක් ගැනීමට නැමෙන අවස්ථාවකදී නම් නැමිය යුත්තේ දණිස් දෙකෙන් පහළට මිස කොන්දෙන් නොවේ. නැවත නැගී සිටීමේදී පළමුව බර උඩට ඔසවා නැගී සිටිය යුත්තේ දෙවනුවයි. ගර්භණී මවක් නම් මොප් කිරීම, වැකියුම් කිරීම වැනි කාර්යන් තනිව නොකිරීමට වගබලා ගත යුතු අතර ඒ සඳහා අන් අයගේ උපකාර ලබා ගත යුතුය.

ගර්භණී සමයේ ඇතිවන කොන්දේ වේදනා තත්ත්වයේ තවත් එක් සංකීර්ණ අවස්ථාවක් පවතී. එය කශේරුකාවේ පහළ කොටසේ අස්ථියක් පහතට ඇදීම නිසා හට ගන්නා අතර ,සයිටිකා වේදනාව, ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය උද්ගතවන්නේ ගර්භණී මව්වරුන්ගෙන් 1‍%කට පමණි. මෙම සයිටිකා තත්ත්වය ඇතිවූ විට දෙපා දිගේ ඇතිවන වේදනාව ඉතා අධිකය. එය කෙතරම් වේදනා සහගතද කිවහොත් පිට කොන්දේ වේදනාවට වඩා දෙපාවල වේදනාව දැනෙන මට්ටමට එය සංකීර්ණ වේ. කිසියම් මවකට තම පාදයේ සංවේදන නොදැනීම, පාදවල දුර්වල බවක් දැනීම, ඉකිළි ප්‍රදේශයේ, ගුදයේ සහ මුත්‍රාශයේ සංවේදන නොදැනීම නිසා නොදැනුවත්වම මුත්‍රා පහවන්නේ නම් හැකි ඉක්මනින් ඒ බව තම වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

සාමාන්‍යයෙන් ගර්භණී මවකට ඇති වන කොන්දේ වේදනා තත්ත්වයන් ගර්භණී තත්ත්වය වර්ධනය වීමත් සමග ටිකෙන් ටික වැඩිවීමට පටන් ගනියි. නමුත් පූර්ව ප්‍රසව සමයේ ඇතිවන මෙම සාමාන්‍ය පිට කොන්දේ වේදනා තත්ත්වයන් දරු ප්‍රසූතියෙන් ටික දිනකට පසු පහව යන නිසා ඒ සම්බන්ධව අනිසි ලෙස කලබල වීමක් සිදුවියයුතු නැත.

dr-Jaliya.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article