- Advertisement -

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

-

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

- Advertisement -

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article