අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අලුත් අවුරුද්දක් ලැබුවා. ඒත් හරියට ගෙවුන අවුරුද්ද ගැන මතක අද ඊයේ වගෙයි.සමහර විට ගෙවුන වසර ඔබට විවිධ අප්‍රසන්න සහ අමිහිරි සිදුවීම් සහිත වසරක් වෙන්න ඇති. ඒත් කලබල වෙන්න එපා. මේ අමිහිරි සිදුවීම් සියල්ලම අමතක කරන්න. එය අපි කියන තරම් පහසු දෙයක් නොවෙන්න පුලුවනි.
අමිහිරි දේ අමතක කරන්න…
බොහෝ දේ මතකයේ රඳවා ගැනීමට උත්සහ කරන විට, එම මතකයන් සියල්ල එකිනෙකට විරුද්ධ ආකාරයෙන් අප මනසේ තැන්පත් වෙනවා. ඒ වගේම අනවශ්‍ය පරණ තොරතුරුවලින් මනස පුරවා ගත් විට අපට අවශ්‍ය තොරතුරු භාවිත කර අදහස් නිර්මාණය කිරීමට දැඩි බාධාවක්.
ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්ලේක් රිචර්ඩ්ස් සහ ගවේෂක පෝල් ෆ්‍රෑන්ක්ලෑන්ඩ් පවසන අන්දමට මතක ශක්තියේ අරමුණ විය යුත්තේ, “අනවශ්‍ය දේ ඉවත් කර, අවශ්‍ය දේ පමණක් මතකයේ තබාගෙන, බුද්ධිමත් තීරණ ගැනීම වැඩි දියුණු කර ගැනීමයි.”
සැලසුමක් අවශයි…
මාස දොළහක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙන විට අවසානයි. ඒත් මේ කෙටි කාළය අපි විසින් ඉතාම හොදින් සැලසුම් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් ලැබූ වසර සැලසුම් කරන්න. එහිදී අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. එයින් අනතුරුව අවශ්‍ය සහ අවස්ථාවක් ලැබුන විට කිරීමට හැකි දේවල්ද පෙල ගසන්න.එය කාලරාමුව සහ අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවය අනුව සිදු වෙන්නක්.
සමාජශීලීත්වයත් අවශ්‍යයි…
පවුලක් විදිහට ඔබ පමණක් නොව තවත් සමාජගත සම්බන්ධතාවයන්ද පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සමාජගත සම්බන්ධතාවයන් ගැනත් උනන්දුවක් දැක්වීමට අමතක කරන්න එපා. ඉදිරි වසරේ දැනටමත් ඇරයුම් ලත් මංගල්‍ය හෝ වෙනත් උත්සව ඇති. “අනේ නිවාඩු නැහැ…” යන සම්ප්‍රදායික වගන්තිය වෙනුවට ඒ වෙනුවෙන් කාළය උපයා ගන්න. හදිසියේ සිදු වෙන අවමංගල්‍යකදී වුව ඒ වෙනුවෙන් සහභාගීත්වය ඔබේ මානුෂිකත්වයට විශාල ආලෝකයක් වෙන බවත් හිතන්න. නොදැන සිටියාය යන පැවසුමට වඩා ඔවුන්ගේ දුක්බර අවස්ථාවට සහභාගීත්වය දැක්වීමෙන් ඔබ සංවේදී අයෙකු බව ඒත්තු ගැනීමට තවත් අතුරු කථා අවශ්‍ය නැත.
විනෝදයකටත් කාලයක්…
ජීවිතය ගැන බොහොම වෙහෙසකරව හිතනවාට වඩා කිසියම් විනෝදයකින් සහ සැහැල්ලුවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. අනවශ්‍ය විදිහට බරක් ගැනීම නිසා හිතේ සැහැල්ලුව නොදැනීම නැති වීම නිසා මානසිකවත් මහත් වෙහෙසකර තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි සේ එළැඹෙන වසර සැලසුම් කරන්න.
නිවාඩුවක් ගත කරන්න…
දවස් තුන්සිය හැට පහම රාජකාරි… දරුවන්ට පංති… විභාග යන යාන්ත්‍රික රාමුවෙන් දැන් මිදෙන්න. මාස තුනකට වරක් දරුවන්ට ලැබෙන පාසල් වාරාවසාන නිවාඩුවේදීවත් ඔවුන් සමග නිවාඩුවක් නිවාඩුවක් සේ ගෙවන්න. එය ඔබේ මනසටත් සැහැල්ලුවක්. ඒ වගේම පාසල, අතිරේක පංති, නිවස යන කොටු රාමුවෙන් මිදී දරුවන්ටත් යම් මානසික අස්වැසිල්ලක් ලැබීමට හැකි පරිසරයක් නිර්මානය වෙනු ඇති.
ව්‍යායාම…
අපිට ලැබෙන ව්‍යායාම හොඳටම ඇති. ඔබ එහෙම හිතුවට මොළයට රුධිරය සැපයෙන ව්‍යායාමයන්හි යෙදීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් යෝග ව්‍යායාම ඉතා සාර්ථක බැව් දැන් පිලිගෙන තිබෙනවා. මේ ව්‍යයාම මගින් මොළයට නිසි පරිදි ඔක්සිජන් පරිවහනය වෙන නිසා මානසික නීරෝගීතාවයටත් ඉතාම වැදගත්. දරුවන්ට වුනත් යෝග ව්‍යායාම වඩාත් හිතකර ප්‍රතිඵල ලබා දෙන නිසා ඒ වෙනුවෙන් දරුවන්ගේ අවධානයත් යොමු කිරීමට ඉටා ගන්න.
ආගමික කටයුතු…
සෑම ආගමක් මගින්ම මිනිසාට ලබා දෙන්නේ යහ පැවැත්මයි. මේ නිසා ආගමික පසුබිමක් තුල ජීවිතය හැඩ ගසා ගැනීම ඉතාම වැදගත්. භාවනාව විද්‍යාත්මක ලෙසින් පවා මිනිසාගේ මානසික වෙහෙස පාලනය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා.
කනස්සල්ලෙන් මිදෙන්න…
අප කිසිම කෙනෙකුට අපට අවශ්‍ය හැම දෙයක්ම ලැබන්නේ නැහැ. සපත්තුවක් නැතුව කෙනෙක් හඬන විට තවත් අයෙක් පාදයක් නැතුව සිටින්නට පුලුවනි. ඒත් මේ සියල්ල කනස්සල්ලට පත් වූ පමණින් සපුරා ගැනීමට බැහැ. ඒ නිසා නොලැබුන දෙයට වඩා තමාට දැනට ලැබී ඇති දේ ගැන සෑහීමට පත් වෙන්න. ඒ තරම් සැනසිල්ලක් තවත් නැත.
සුබවාදීව සිතන්න…
වසරක්ගෙවීම අපට වලක්වා ගත නොහැක. වසරක් ලැබීමත් ඒ සමග බැදුන අනිවාර්ය සංසිද්ධියකි. මේ අවස්ථාවන් වෙනුවෙන් සුබවාදීව බලන්නට අපට හැකි විය යුතුයි. හැම දෙයක්ම අනේ අපිට බැහැ…වෙනුවට නෑ අපිටත් එය කළ හැකියි යන සිතුවිල්ලේ රැඳීම සිදු විය යුතුයි. එවිට ජීවිතය ජයගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත. අතීතයට එක් වෙන හැම දවසක්ම ජයග්‍රාහී දවසක්ය යන සිතුවිල්ලෙන් සමන්විත නම් සැබැවින්ම අපි දිනුවෝ වෙන්නෙමු.