- Advertisement -

MRI ස්කෑන් පරීක්ෂණය කුමක් ද? කුමක් සඳහාද ?

-

යම් යම් රෝග තත්ත්වයන් පිළිබඳව නිශ්චිත නිර්ණයකට එළැමීම සඳහා MRI ස්කෑන් පරීක්‍ෂණය වෙත වැඩිහිටියන් මෙන්ම ඇතැම් අවස්ථාවල පොඩි දරුවන්ද යොමු කෙරෙන බව අප කොතෙකුත් අසා ඇති. නමුත් එම ස්කෑන් පරීක්‍ෂණය කුමක්ද? කෙරෙන ආකාරය කුමක්ද? යන කරුණු පිළිබඳව රෝගීන්ගේ ඇති නොදැනුවත්කම නිසාම ඔවුන් බියෙන් පසුවෙයි.

MRI (Magnetic Resonance Imaging) යනු වෛද්‍යමය හෝ ශල්‍ය තත්වයන් විනිශ්චය කිරීම සඳහා භාවිත කරන වේදනාත්මක නොවන වෛද්‍ය පරීක්‍ෂණයකි. ඉතා ප‍්‍රබල චුම්බක ක්‍ෂේත‍්‍රයක්, ගුවන් විදුලි තරංග සහ පරිගණකයක් භාවිත කරමින් ශරීරයේ අභ්‍යන්තර අවයව හෝ ව්‍යුහයක විස්තරාත්මක හරස්කඩක ප‍්‍රතිබිම්බයකි.

- Advertisement -

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් (Radiologist) දීප්තිමත් හා අඳුරු ප‍්‍රදේශවල ප‍්‍රමාණය හා පැතිරී ඇති ආකාරයේ අනුව සංසන්දනය කරමින් එම පටකය හෝ අවයවය රෝගී ද, නිරෝගී ද යන්න තීරණය කරයි. මේ සඳහා X-කිරණ හෝ අයනීකරණය වූ විකිරණ (Ionizing radiation) PET, CT, CAT යන ස්කෑන් පරීක්‍ෂණවලට මෙන් සම්බන්ධ නොවීම විශේෂත්වයකි.

MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකරන අවස්ථා

  • මොළයේ හා සුෂුම්නාවේ අසාමාන්‍යතා – උදාහරණ : මොළයේ අර්බුද (Brain tumouis) ක්‍ෂතිය නිසා මොළයට ඇතිවන අනතුරු (Traumatic Brain Injury)
  • ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන අර්බුද (Fumours) සැරව ගෙඩි (Cyst) හා වෙනත් අසාමාන්‍යතා
  • පියයුරු පිළිකා (පියයුරු පිළිකා ඇති වීමේ අවදානම් සහිත කාන්තාවන් සඳහා පරීක්‍ෂා කිරීම* (Breast Screenince)
  • කොන්ද, දණහිස වැනි සන්ධිවල අනතුරු හෝ අසාමාන්‍යතා
  • විශේෂ ආකාරයේ හෘදයේ ගැටලු
  • අක්මාව වැනි උදර ඉන්ද්‍රියයන්ගේ රෝග
  • කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇති වන රෝග තත්ත්ව :Fibroids, Endometriosis වැනි හේතු නිසා ශ්‍රෝණියේ ඇතිවන වේදනාවන් ඇගයීම සඳහා
  • වඳ භාවයට හේතු වන ගර්භාෂයේ අසාමාන්‍යතා හැඳිනීමට
  • ආඝාතය (Stroke)
  • මානසික රෝග :  ස්නායු සෛලවල ඇති වන වෙනස්කම් නිසා.උදාහරණ Dementia, Alzheimer
  • ආසාදන (Infection)
MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා රෝගියා සූදානම් කිරීම

MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා යොමුවන රෝගියා සතුව පහත දේවල් ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි.

  • ජංගම දුරකථනය/කාසි/කෘතිම දත්/කණ්ණාඩි/ශ‍්‍රව්‍ය ආධාරක/යතුරු/අත් ඔරලෝසු/කෘත‍්‍රිම කොණ්ඩා/ආභරණCredit Card
MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමේදී

  • Caffine අඩංගු බීමවලින් වැලකී සිටින්න.
  • පරීක්‍ෂණය සිදු කරන්නේ උදරරැුශ්‍රෝණි ඉන්ද්‍රියන් පරීක්‍ෂා කිරීමට නම් පරීක්‍ෂණයට පෙර පැය 6 ක කාලයක් නිරාහාරව සිටිය යුතුයි. ශරීරයේ වෙනත් ස්ථානයක නම් නිරාහාරව සිටීම අත්‍යවශ්‍ය නොවන නමුත් මෙහිදී ලබාදෙන පාරාන්ධ වර්ණකය (Contrast dye) නිසා ඇතිවන ඔක්කාරය වලක්වා ගැනීමට පරීක්‍ෂණයට පෙර පැය 2 ක කාලයක් නිරාහාරව සිටීම වැදගත් වේ.
  • රෝහලෙන් විශේෂ ගවුමක් ලබාදේ නම් එය ඇඳීම සුදුසු වේ. විනාඩි 30 ක් පමණ කාලයක් වැතිරී සිටීමට සිදුවන නිසා පහසු ඇඳුමකින් සැරසීඹ වඩාත් යෝග්‍ය වේ. පෞද්ගලික ඇඳුමකින් පරීක්‍ෂණයට මුහුණ දෙන්නේ නම් ලෝහ, බොත්තම්, බෙල්ට්, බකල් නොමැති ඇඳුමක් විය යුතුයි.
MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකෙරෙන ආකාරය

  • ඇතැම් රෝගීන් MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමට බියෙන් පසු වන අතරම ඒ ආකාරයේ  අධික බියක් කාංසා තත්ත්වයක් වේ නම් හෝ එවැනි තත්ත්වයක් සඳහා පෙර ඉතිහාසයක් ඇත් නම් වෛද්‍යවරයාට එය පැවසිය යුතුයි. එවිට රෝගියාට සුලූ සමනත ඖෂධ (Mid sedatives) පරීක්‍ෂණයට පෙර ලබා දේ. එවිට ඇති වන අනිසි බිය වළක්වා ගත හැකිය. ස්කෑන් පරීක්‍ෂණය පුරාවට රෝගියාට ඉහිල් භාවයකින් යුතුව සිටිය හැකි වේ.
  • පරීක්‍ෂා කළ යුතු කොටසේ දර්ශනය වඩාත් තීව‍්‍ර කිරීම සඳහා අන්තඃශෛලිය එන්නතක් (Intravenous injection) ලබාදේ. මෙහිදී Gadolinium නම් පාරාන්ධ වර්ණකයක් (Contrast dye) IV ලෙස ලබාදේ.
  • Scan යන්ත‍්‍රයෙන් ඇතිවන විශාල ශබ්ද ඇසීම වැලැක්වීම සඳහා රෝගියාට Earplugs හෝ Headphone ලබාදේ.
පරීක්‍ෂණය සිදුකරන අතරතුරදී….

  • චලනය කළ හැකි ඇඳක රෝගියාට වැතිරී සිටිමට ඉඩ සලසයි. හිස තොටිල්ලක් වැනි ආධාරකයක් (Cradled head rest) මත  තබා දෑත් දෙපසට කර තබයි.
  • ඇන්ටනාවක් ලෙසින් සැදු  උපකරණයක් (Coil) ප‍්‍රතිබිම්බය ලබා ගැනීමට අවශ්‍ය කොටස මත හෝ වටා තබයි. වඩාත් පැහැදිලි ජායාරූපයක් ලබා ගැනීමට නම් එය එම ස්ථානය මත තැබීම සුදුසු වේ.
  • ශල්‍ය සැලසුමක් සඳහා MRI ස්කෑන් භාවිත කරයි නම් විකිරණ ශිල්පියා කුඩා සලකුණ කිහිපයක් (Fiducial) නළල, මුහුණ, කන පිටුපස තබයි. මේවා ජීවිත ආරක්‍ෂා කරන උපකරණ (Life Savers)  ලෙසින්  පෙනෙන අතර, ප‍්‍රතිබිම්බය භාවිත කරමින් ශල්‍යකර්මය කිරීමට ශල්‍ය වෛද්‍යවරයාට උදව් වේ.(Image guided – Surgery) මේවා ඉවත් නොකළ යුතු අතර, තෙත් වීමට ද ඉඩ නොතබයි.
  • ඔබ පහසු ස්ථාපිතයක සිටින විට මේසය ඉතා සෙමින් චුම්බක ක්‍ෂෙත‍්‍රය තුළට ඇතුළු කරයි. විකිරණ ශිල්පියා සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහd Intercom පද්ධතියක් භාවිත කරයි.
පරීක්‍ෂණය සිදුකරන විට…

Stereo System හරහා සංගීතයකට සවන්දිය හැකිය. මෙම ශබ්දය ඇතිවන්නේ ඡයාරූප ගැනීමේදී වේ. මෙම ශබ්දය මගින් හෝ පරීක්‍ෂණයෙන් වේදනාවක් ඇති නොවේ. මෙම පරීක්‍ෂණය සඳහා විනාඩි 20-30 ක කාලයක් ගත වේ. වඩා වැදගත් වන්නේ රෝගියාට පහසු ඉරියව්වකින් වැතිර සිටිය යුතු වීමයි. මෙය සිදුකරන අතරතුරදී රෝගියා චලනය වුවහොත් ගැටලූවක් නිසා ජායාරූපය ගන්නා විට හුස්ම ගැනීම නැවැත්වීම ද කළ යුතු වේ. පරීක්‍ෂණය සිදු කරන අතරතුරදී රෝගියාට අපහසුවක් දැණුනි නම් Intercom හරහා පරීක්‍ෂණය සිදුකරන කාර්මික ශිල්පියාට කතා කර පරීක්‍ෂණය නවත්වා ගත හැකිය.

පරීක්‍ෂණයෙන් පසු…

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් එම ප‍්‍රතිබිම්භ පරීක්‍ෂා කිරීමෙන් පසු තවත් අවශ්‍ය නොවේ නම් හෝ වෛද්‍යවරයා එම ජායාරූපවලින් සෑහීමකට පත් වේ නම් රෝගියාට රෝහලෙන් නික්ම යා හැකිය. පරීක්‍ෂණය අවසන් වූ පසුව යොදා ඇති කැනියුලාව ඉවත් කරයි. මෙම ඩයි වර්ගය වකුගඩු ඔස්සේ මුත‍්‍රා සමග ශරීරයෙන් ඉවත්වන නිසා වැඩිපුර තරලය පානයට උපදෙස් දිය යුතුයි. මෙහි ප‍්‍රතිඵල ලබා දීම විශේෂඥ වෛද්‍යවරයා මත රඳයි. පැය කිහිපයකින් හෝ දිනක් තුළදී වාර්තාව ලබා ගත හැකිය.

අවධානම් තත්ත්ව…

මෙම පරීක්‍ෂණය ඉතාමත් ආරක්‍ෂාකාරී වේ. චුම්භක ක්‍ෂෙත‍්‍රයක් හා Radio Waves භාවිත කරමින් සිදුකරන පරීක්‍ෂණයක් මගින් සෞඛ්‍යයට අහිතකර අවදානමක් ගැන දක්වා නැත. නමුත් සමහර පුද්ගලයන් මෙහිදී ලබාදෙන ඩයි වර්ගයට අධි සංවේදීතාවයක් දැක්විය හැකි බැවින් ආසාත්මික ප‍්‍රතික‍්‍රියාවක ලක්‍ෂණ ඇතිවිය හැකිය. උදාහරණ සමෙහි පලූ ඇති වීම, කැසීම නමුත් මෙම ඩයි වර්ග අනුමත ආරක්‍ෂාකාරී ඒවා වේ.

මධුමේහය හෝ වකුගඩු ක‍්‍රියාකාරීත්වයෙහි ගැටලූකාරී තත්ත්ව ඇත්නම් වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි. සමහර අවස්ථාවලදී වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීමට අදාල පරීක්‍ෂණ MRI ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර කළ යුතු වේ. ඊට හේතුව වන්නේ ලබාදෙන ඩයි වර්ගය පරීක්‍ෂණයෙන් පසුව ශරීරයෙන් ඉවත් කිරීමට වකුගඩුවලට හැකිදැයි පැහැදිලි කර දැනගැනීමට අවශ්‍ය වන නිසාය.

සමහර විශේෂ අවස්ථාවලදී චුම්භක ක්‍ෂෙත‍්‍ර භාවිතය සීමා කරන අවස්ථා ද පවතී. පහත උපකරණ පැළඳ ඇත්නම් වෛද්‍යවරයාට ඒ බව දැන්විය යුතුය.

  • Cardiac pace maker හා කෘති‍්‍රම හෘද කපාට (Artificial Cardiac Valve)
  • ලෝහ පතුරු (Metal plate) ඇණ (Pin) හෝ වෙනත් ඕනෑම ලෝහ කොටසක් තැන්පත් කර ඇත්නම් (Metalic Imlant)
  • විනිවිද යා හැකි දේවල් (Piercngs)
  • අන්තර් ගර්භාෂධික උපකරණ (Intra Uterine Devices)
  • Insulin හෝ වෙනත් ඖෂධ Pump
  • Aneurysm Clips
  • කලින් සිදුවී ඇති වෙඩි වැදීමක්
  • ඇසීමට භාවිත කරණ උපකරණ
  • ස්ථීරව යොදන ලද Tattoo
  • ලෝහකරුවෙකු ලෙසින් රැකියාවක් කළ බවට ඉතිහාසයක් ඇත්නම්ශරීරය තුළ ඇති ඕනෑම ලෝහ වර්ගයක් මෙම ප‍්‍රතිබිම්බයේ (Image) ගුණාත්මක භාවයට බලපෑම් ඇතිකළ හැකිය. එසේම ඔබ චුම්බඛ ක්‍ෂෙත‍්‍රය තුළ සිටින විට ලෝහ වර්ග නිසා අනතුරක් හෝ අපහසුතාවයක් ද ඇතිවිය හැකිය.
  • ගර්භණී මවක් නම් ඒ බව වෛද්‍යවරයාට දැන්වීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගර්භණීභාවයේ මුල් මාස 3 තුළදී MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු නොකළ යුතු අතර ඉන් පසුව සිදු කිරීමෙන් අවදානමක් ඇති නොවන නමුත් නාරිවේදීය විශේෂඥ වෛද්‍යවරයාගෙන් මෙම පරීක්‍ෂණය සඳහා ලිඛිත අවසරයක් තිබිය යුතු වේ.
  • X-ray, PET Scan, CT Scan වල අයනීකරණය වූ විකිරණ භාවිතය නිසා DNA වලට හානි වීම නිසා පිළිකා ඇති වීමේ අවදානමක් පවතී. නමුත් MRT Scan හා Ultra Sound Scan වල විකිරණ භාවිත නොවන නිසා පිළිකා ඇති වීමේ අවදානමක් නොමැත.
අතුරු ආබාධ (Side effects)

ඉතාමත් කලාතුරකින් මෙහිදී භාවිත කරන ඩයි වර්ගය නිසා

  • ඔක්කාරය (Nausea)
  • හිසරදය (Headache)
  • එන්නත් ලබාදුන් ස්ථානයේ වේදනාව හෝ දැවිල්ල
  • ශරීරයේ පලු ඇතිවීම (Hives)
  • සම කැඞීම (Pruritis of skin)
  • ඇස් කැසීම Itchy eye වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

සමස්ථයක් ලෙඩ ගත්විට රෝගියෙකු මෙම පරීක්‍ෂණයට මුහුණ දීමට බිය නොවිය යුතු අතර, වේදනාවක් ද ඇති නොවේ. අද වන විට පවතින්නේ ඉතා ආරක්‍ෂාකාරී දියුණු තාක්‍ෂණයකි.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article