- Advertisement -

අම්මාගේ පියයුරේ දරු පැටියා වෙනුවෙන් කිරි නිපදවෙන්නේ කොහොමද?

-

දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන කිරි කැටියාගේ පෝෂණය වෙනුවෙන් අම්මාගේ රුහිරු කිරට හැරෙන බව අපි ඕනේ තරම් අහලා තියෙනවා. සොබා දමේ විස්මය ජනක සිදුවීමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැහැ. දසමසක් කුස හොවා සිටි කිරි කටියා මෙලොවට බිහිවීමත් සමගම දරුවා දැකීමෙන් දරුවාගේ හඬ ඇසීමෙන් දරුවා කෙරෙහි උපදින ආදරය නිසාවෙන් ඔක්සිටොසින් ප‍්‍රතීකය උත්තේජනය වී කිරි නිපදවීම ඇරඹෙනවා. රුධිරයේ ඇති ඔක්සිටොසින් නම් හෝමෝනය කිරි ධාරාව ඇති වීමට මුල පුරයි. කිරිදෙන අවස්ථාවේදී හෝ ඊට ප‍්‍රථම ක‍්‍රියාත්මක වේ.

කිරි උරාබීමේදී තන පුඩුව මගින් නිපදවෙන සංවේදී උත්තේජනය මගින් රුධිරයේ ප්‍රෝලැක්ටික් ශ‍්‍රාවය වේ. සෑම කිරි වේලකටම පසුව ප්‍රෝලැක්ටින් හෝමෝනය ශ‍්‍රාවය වී එමගින් ඊලඟ කිරි වේල නිපදවයි. ප්‍රෝලැක්ටින් ශ්‍රාවය වීම වැඩිපුර සිදුවන්නේ රාත‍්‍රියේදී ය. නමුත් මවක් අසහනය, කම්පනය, මානසික පීඩනය, වේදනාව, සැකය ආදි තත්ත්වයන් ඔක්සිටොසින් ශ‍්‍රාවයට බාධා ඇති කරවන අතරම ඒ හේතු මත කිරි නිපදවීම අඩුවීම හෝ නැතිවීම සිදු විය හැක.

- Advertisement -

breastfeeding-img01

ඔක්සිටොසින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීමේදී,

බිළිඳාට කිරි දීමට පටන් ගැනීමට ඉතා ආසන්නව හෝ කිරි දෙන කාලය තුළ තම පියයුරු මිරිකෙන ස්වභාවයක් හෝ නලියන ස්වභාවයක් මවට දැනේ. බිළිඳා ගැන සිතන විට හෝ හැඬිම ඇසෙන විට පියයුරුවලින් කිරි ගලා ඒම සිදුවේ. දරුවා එක් පියයුරුකින් කිරි උරණ විට අනෙක් පියයුරෙන් කිරි ගලා ඒම, බිළිඳා කිරි බී අත්හල විට සිහින් ධාරාවක් ලෙස පියයුරුවලින් කිරි ගලා ඒම මෙහිදී දැකිය හැකියි. දරු උපතට පසු පළමු වන සතියේදී දරුවා කිරි බොන විට ගර්භාෂය සංකෝචනය වන නිසා මවට වේදනාවක් දැනීම හා සමහරවිට වේගවත් ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම සිදු විය හැකිය.

කිරි නිපදවීම උත්තේජනයට මෙන්ම අඩු කිරීමට එනම් නිශේධනයට (යටපත් කිරීම) සමත් ද්‍රව්‍යද මව්කිරිවල අඩංගු වේ. එනම් පියයුරක කිරි වැඩි ප‍්‍රමාණයක් ඉතිරිව තිබෙන විට, තවත් ශ‍්‍රාවය කිරීම මෙම නිශේධක මගින් වළක්වයි. පියයුරෙහි අනවශ්‍ය ලෙස කිරි එකතු වීම පියයුරට පීඩාවකි. එම පීඩනවලින් ආරක්‍ෂා වීම නිශේධක (යටපත් කර රසායනික ද්‍රව්‍ය) නිසා සිදු වේ. බිළිඳා මිය යාම හෝ වෙනත් හේතුවකට කිරි උරා බීම නැවැත්වුවහොත් ස්වභාවයෙන්ම මෙසේ සිදුවිය යුතුය. කිරි උරා බීම හෝ කිරි දොවා හැරීම මගින් පියයුරෙන් කිරි ඉවත් කළ හැකි නම් නිශේධකය ද ඉවත් වේ. එවිට කිරි නිෂ්පාදනය වැඩිපුර සිදුවේ. බිළිඳා එක් පියයුරකින් උරා නොබන විට එහි කිරි නොමැති විටත් එක් පියයුරකින් කිරි වැඩිපුර උරා බොන විට එහි වැඩි කිරි ප‍්‍රමාණයක් නිපදවා අනෙක් පියයුරට වඩා විශාල වීම නිශේධක ක‍්‍රියාත්මක වීමට කදිම නිදසුනකි. මේ නිසා නොකඩවා කිරි නිපදවේ නම් එම පියයුර හිස් කළ යුතුය. (කිරි ඉරීම හෝ දොවා ඉවත් කිරීම මගින්) තවද දරුවාට කිරි ලබා නොදෙන විට දෙතනෙන්ම කිරි දොවා ඉවත් කළ යුතු වේ.

ළදරුවෙක්,
  • යමක් තොලේ ගෑවුණු විට මුඛය විවර කර දිව පහළට හා පෙරට දමයි. මෙය රූටීන් ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.
  • යමක් තල්ලේ වැදුණු විට දරුවා උරයි. මෙය ඉරීමේ ප‍්‍රතීකයයි.
  • මුඛය කිරිවලින් පිරුණු පසු ගිලීම, ගිලීමේ ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.

breastfeeding-img-02

දරුවාට කිරි පෙවීමේදී,
  • මව සුව පහසු අයුරින් පුටු ඇන්දට හේත්තු වී වාඩි වීම කළ යුතුය.
  • දරුවා ඔතා ඇති අනවශ්‍ය ඇඳුම් ඉවත් කළ යුතුයි.
  • දරුවාගේ හිස හා කඳ එකම තලයක තිබිය යුතුයි.
  • දරුවා පියයුර දෙසට මුහුණලා ඔහුගේ නාසය මවගේ තන පුඩුව මට්ටමට සිටින සේ අල්ලා ගැනීම
  • දරුවාගේ ශරීරය මවගේ ශරීරයට ඉතාම සමීප වන සේ (ලයට-ලය) දරුවා අල්ලාගෙන සිටීම.
  • පියයුරේ මුලට ආධාරකයක් වශයෙන් පළමු ඇඟිල්ල සිටින සේ මවගේ අතෙහි ඇඟිලි පියයුරට යටින් පසු බිත්තිය මතින් තබාගැනීම.
  • පියයුර මද වශයෙන් තෙරපෙන සේ තම මහපට ඟිල්ල පියයුර මත තබාගැනීම, ඉතිරි ඇඟිලි හතර පියයුර යටින් තබා ආධාර කිරීම, දරුවා පියයුරට පහසුවෙන් සම්බන්ධ කිරීමට උපකාර වන පරිදි පියයුරෙහි හැඩය C අකුරක් ලෙස ගෙන කිරි පෙවීම, තන පුඩුවට ඉතා ආසන්නව ඇල්ලීම නොකළ යුතුය.
  • දරුවාගේ මුඛය ඇරෙන පරිදි තන පුඩුවෙන් තොල ස්පර්ශ කරන අයුරු තේරුම් කර දෙන්න. මෙහිදී දරුවා මුඛය හොඳින් අරින තෙක් තන පුඩුව තොලේ ස්පර්ශ කරන්න.
  • මුඛය හොඳින් විවෘත කරන තෙක් බලා සිට දරුවා පියයුර වෙතට ආ යුතු බව පහදා ගන්න. මුඛය තුළට පියයුරෙන් සෑහෙන ප‍්‍රමාණයක් ඇතුළු කරගැනීමට දරුවාගේ මුඛය සම්පුර්ණයෙන් විවෘතව තිබීම අවශ්‍ය වේ. දරුවා පියයුර වෙත ගෙන එනවා මිස මව හෝ මවගේ පියයුර පමණක් දරුවාට ලං නොකළ යුතුය.
  • දරුවාගේ නිකට තම පියයුරු සමග ස්පර්ශ කරවීමට මවගේ තන පුඩුවට පහළින් දරුවාගේ යටි තොල යොමු කළ යුතුය.
  • මවගේ ප‍්‍රතිචාර නිරීක්‍ෂණය කරන්න. ඇය වේදනාකාරීද නැතිද යන්න විමසා ආධාර කරන්න.
මවට ප‍්‍රයෝජනවත් වෙන ඉරියව්…

අත යටින් දරුවා ස්ථාපිත කිරීම : මෙම ස්ථාපිතය පහත අවස්ථාවලදී ප‍්‍රයෝජනයට ගත හැක.

  • නිවුන් දරුවන් දෙදෙනාට එකවර පියයුරු දෙකෙන් ලබා දීමේදී
  • සිසේරියන් සැත්කමින් පසු
  • විශාල පියයුරු ඇති විට
  • මව හා දරුවා අතර නිසි සම්බන්ධය අසීරු විට

පියයුරට විරුද්ධ පැත්තෙහි ඇති බාහුවේ ආධාරකය දරුවා ස්ථාපිත කිරීම :  

  • ඉතා කුඩා බිළිදුන්
  • අසනීප වූ දරුවන් සඳහා ප‍්‍රයෝජනවත් වේ
දරුවාට ලැබෙන මව්කිරි ප‍්‍රමාණවත් නොවන විට,
  • දරුවාගේ වර්ධනය දුර්වල වේ (මසකට 500g ට වඩා අඩුවෙන් බර වැඩි වීම)
  • ස්වල්ප වශයෙන් සාන්‍ද්‍ර වූ මුත‍්‍රා (තද පාට) පහවීම. කහ පැහැති තද ගඳකින් යුතු මුත‍්‍රා දිනකට වාර 6 කට වඩා අඩු වේ
  • දරුවා මව්කිරි බීමෙන් පසු සෑහීමකට පත් නොවේ
  • දරුවා නිතර හඬයි
  • නිතර නිතර මව්කිරි උරා බීමට අවශ්‍ය වේ
  • කිරි වේලක් උරා බීමට දිගු කාලයක් ගත වේ
  • දරුවා මවගෙන් කිරි බීම ප‍්‍රතික්‍ෂෙප කරයි
  • දරුවා වියළි කොළ පැහැති තද මල පිට කරයි
  • මව්කිරි දෙවීමට තැත් කළ ද කිරි ගලා නොයේම
කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article