තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකනවා

one-child-in-a-family

විවාහ වෙන කලවයසට ආවාම දෙමව්පියන් පවා තමන්ගේ දූදරුවන් විවාහ කර දීමට විශාල උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ ඇවෑමෙන් තමන්ගේ දරුවන්ටත් ස්වාධීන ජීවිතයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය නිසයි. සම්ප්‍රදායික විදිහටම පැවැතෙන මේ සංසිද්ධිය අපේ පරම්පරාවේ පැවැත්ම කිව්වත් වරදක් නැහැ.

මේ නිසාම විවාහයකින් පසුව අපේ අපේක්ෂාව දරුවෙකුගේ කිරි සුවද දැකීමයි. බොහෝ දෙනෙකුට මේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වුනත් සමහර අයට ප්‍රමාද වී හෝ මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඒ මුලින් පමා වුනත් එයින් පසුව දරුවන් දෙතුන් දෙනෙක් බිහි කිරීමට තරම් ඔවුන් වාසනාවන්තයි. තවත් අයට කොටින්ම කිව්වොත් “හනිමුන් බේබි” ලා ලැබුනත් එතැනින් පසුව නැවත දෙවැනි දරුවෙක් වෙනුවෙන් මොන තරම් උත්සාහ ගත්තද ඒ බලාපොරොත්තුව ඉටු නො‍වෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. තවත් අයට නම් පැදුර පෑගුනත් ඇති කියන තැනට වගේ කිසිම අඩුවක් නැතුව දරුවන් හතර පස් දෙනෙක් වුනත් ලබන්න වාසනාව ඔවුන්ගේ පෙර පින් බලයෙන්ම ලැබිලා තිබෙනවා. මේ නිසාම සමහර අම්මලා වැලේ ගෙඩි වැලට බර නැතැයි යන සංකල්පයේ රැදී කුස පිලිසිඳ ගන්නා දරුවන් බොහොම සතුටින් බාර ගැනීමට සූදානම්. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුවත් අනේ දුක් විඳල හරි දරුවන් උස් මහත් කර ගත්තොත් “අපිට බැරි ගැහෙන දවසට බලයිනේ…” අදහසත් හිතේ නැතුවාම නොවෙයි.

ඒත් මෑතකදී බර්ලිනයේ සමාජ විද්‍යාව පිලිබඳ පර්යේෂක මාර්ෂල් රාබ් Marcel Raab විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔහුගේ ගැටලුව වුනේ දරුවන් රැසක් සිටි පමනටම මේ දෙමව්පියන්ට වියපත් වුන කාලයකදී රැකවරණයක් ලැබේවිද යන්නයි. ඔහුගේ මේ අධ්‍යනයට “බැම්බර්ග් විශ්ව විද්‍යාලයේ” හෙන්රිට් එන්ජෙල්ඩ්ට් සහ තෝමස් ලියෝපේඩ්ද සම්බන්ධ වුනා.

ඔවුන්ගේ මේ අධ්‍යනයට පවුල් 641 ක දත්ත සම්බන්ධ කර ගත්තා. එහිදී හදුනා ගත් කරුනු මේ වෙන විටත් Journal of Marriage and Family මගින් ප්‍රකාශයට පත් කර අවසානයි. දැන් ඔබ කැමැති ඇති නේද මේ අධ්‍යනයේ අවසාන වාර්තාව ගැන දැනගන්න.

අධ්‍යනය අවසානයේදි ඔවුන්ට ලැබුන නිගමනය වුනේ දරුවන් කීප දෙනෙක් සිටින දෙමව්පියන්ට වඩා තනි දරුවෙක් සිටින දෙමව්පියන්ට ඒ දරුවාගෙන් රැකවරණය නොඅඩුව ලැබෙන බවයි. මේ ගැනත් හේතු නැතුවාම නොවේ.

තනි දරුවාට අනිවාර්යෙන්ම  වගකීමක් තිබෙනවා…

දෙමව්පියන් නම් කිසිම දවසක දරුවන්ට වෙනසක් නැහැ. දරුවන් කී දෙනෙක් හිටියත් ඔවුන් හැම දෙනාටම ආදරෙයි. ඒ වගේම තනි දරුවාටත් තමන්ට තිබෙන යුතුකම වෙනත් අයෙකුට පවරා කර අරින්න බැහැ. ඔවුන් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් බැඳී සිටිනවා. එක පැත්තකින් ඒ නිසාමදෝ තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකන තත්වයට පත් වීම සාමාන්‍ය සිදුවීමක්.

දරුවන් අතරත් ගැටුම් ඇති වෙනවා…

දරුවන් කීප දෙනෙක් පවුලක සිටිද්දී පුංචි කාලයේ නම් වෙරලු ගෙඩිය හරි අටකට කපා ගෙන කෑම සාමාන්‍ය සිද්ධියක් වුනත් කර දඬු උස් මහත් වෙද්දී මේ තත්වය නොදැනීම අහෝසි වෙනවා. ඊට පසුව මුල් තැනට එන්නේ දේපල බෙදීමේදී අයියට… අක්කට… නංගිට… මල්ලිට ලැබුන පංගුව ගැනයි. එහෙම නැත්නම් බෙදූ වපසරියේ ඵලදායක කොටස් මුල් කර ගෙනත් විවිධ අමනාපකම් ඇති වෙනවා. මේ විරසක නිසා දෙමව්පියන්ගෙන් දුරස් වීමට එය ආසන්න වගේම ප්‍රබල හේතුවක් කර ගැනීමට දරුවන් පිරිසක් ඉන්න පවුල්වල සාමානයයෙන් සිදුවෙන දෙයක්.

දරුවන් දිහා බලන කණ්නාඩිය අනුව…

සමහර අවස්ථාවලදී නොදැන හෝ දෙමව්පියන් අතිනුත් සිදු වෙන වැරැදිත් ඔවුන්ගෙන් දරුවන් දුරස් වීමට බලපානවා. සමහර විටක දෙමව්පියන් එසේ නොකලත් දරුවන්ගේ හිතේ තමාට වඩා අයියට.. නංගිට… මල්ලි… අක්කට ආදරෙයි යන සිතුවිල්ල ඇති වෙන්න පුලවනි. දරුවාගේ හිතේ මෙවැනි සංකල්පයක් ඇති වුනොත් එය සාධාරණ සැකයක් බවට පත් කරමින් දෙමව්පියන්ද ඒ හැසිරීම මත සිටියොත් මේ දරුවන්ගේ හිතේ ඇති වෙන කලකිරීම යටි හිතේ තදින් තැන්පත්ව තිබිල කාලයක් ගිය පසුව අවදි වීමට පුලුවනි. “මට මොනවාද කලේ…වෙනස්කම් විතරයි…ඒ කාලේ ඇහේ මුහුණේ තියාගෙන හිටියේ…අයියා..” වැනි විදිහට කියමින් දෙමව්පියන්ගෙන් දුරස් වීමට ඒ හේතුව පසුබිම බවට පත් කර ගන්නා දරුවන් ගැනත් ඔබ අසා ඇති.

ඔබ බියවෙන්න එපා…

සමහර විට ඔබේ හිතේ මේ වගේ සංකල්පයක් මෙතෙක් තියෙන්න ඇති. පවුලක දරුවෝ හතර පස් දෙනෙක් හිටියා නම් එකෙක් නැතැත් අනිත් දරුවා හරි වතුර පොදක් දෙයි කියල අපිට සැහීමට පත් වෙන්න පුලුවනි. ඒත් එකා..යකා…කියන්නා වගේ මේ දරුවා අපිට අනාගතයේදී නොසලකා හිටියොත්…ඒත් මේ ගැන හිත කලබල කර ගන්න එපා..වගකීමෙන් මිදෙන්න බැරි කම හෝ වේවා.. තනි දරුවා දෙම්පියන්ට නොසලකා අත් නොහරින තැනක නවතීවි. මෙනවා වුනත් දරුවන් විදිහට තමන් හදා වඩා ගෙන පොලවේ පය ගසා ජීවත්වීමට ශක්තිය දුන් දෙමව්පියන්ට නොසැලකීම ගැන විවිධ හේතු පාඨ අවශ්‍ය නැහැ. තමන්ගේ ශක්ති පමනින් දෙමව්පියන්ට සැලකීම ඔවුන්ගේ හදවතට බැඳී තිබෙන යුතුකමක් බව සිහියේ තබා ගැනීම වැදගත්. ඒවා පෙන්වා දීමට ඒ ගැන අවවාද කිරීමට අවශ්‍ය නැහැ.

– science daily ඇසුරිනි –

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here