ජාතිකාභිමානයෙන් පෙල ගැසෙමු…

Independence-day

වැදූ මවත් උපන් බිමත් තරම් වටිනා සංකල්පයක් අතීතයේ උදවියට තිබුනේ නැහැ. තමන්ගේ දෙමව්පියන්ට සමාන ආදරයක් ඇල්මක් ඔවුන් තමන්ගේ රටටත් දැක්වූවා. ඒ නිසාම “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” කියද්දී කිසිම කෙනෙක් කටක් ඇරල එහෙම නොවෙයි කියන තර්කය නැගුවේ නැහැ. ඒ උදවිය එතරම්ම ඇල්මක් ගරුත්වයක් තමන්ගේ රට වෙනුවෙන් දැක්වූවා.

නමුත්… 1980 දශකයෙන් පසුව සහ ඒ ආසන්නයේ උපන් බොහොම දෙනෙකුට දැන් අපේ රට අතහැර යන ස්ථාවරය ගොඩ නැගිලා තියෙනවා. ඔවුන්ගේ අදහස අනුව මේ ජීවත් වෙන්න ගැලපෙන රටක් නොවෙයි කියන තර්කය නිතරම නගනවා.

අම්මාට තාත්තාට… ආචිචිට.. සීයාට ජීවත් වෙන්න පුලුවන් වුනා නම් ඔවුන් මිනිසුන් විදිහට ආලෝකයක් අපේ රටේදී ලැබුවා නම් තුන්වැනි පම්පරාවට විතරක් රට නොගැලපෙන්න විදිහක් නැහැ කියන තැනදී මේ අලුත් පරම්පරාව කියන්න අම්මලා… අත්තම්මලා…ලෝකය  ගැරහීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. රටට ආදරයක් නැති පිරිසක් රටේ ජීවත් වෙනවා කියන්නේ ඒනෑම විනාශකාරී දෙයක් වෙනුවෙන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ප්‍රබලයි. රට රැකගැනීමේ කිසිම වගකීමක් මේ අයගේ හිතේ නැහැ. මේ දරුවන් ලොකු මහත් වෙලා පවුලක් විදිහට ගොඩ නැගිල රටේ අනාගතය බාර ගත් දිනකදී වුනත් හිතන්නේ… “මාවත් මගේ අඹුවත් රැකුනොත්” යන සංකල්පය පමණයි. සමහර විට අඹුවත් නොරකින තැනට පත් වීමට තරම් ඔවුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි වඩාත් දරුණු වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුංචි මල් වගේ ඉන්න අපේ දරුවන් තුළ රට , දැය සමය ගැනත් ඇල්මක් ඇති කිරීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද…?

රටට ආදරය කරන්න කියා දෙන්න…

අපි දැන් ජීවත් වෙන්නේ තොරතුරු ලෝකයක. ඒ වුනත් අපිට අද දෙපයින් මේ රටේ ජීවත්වීමට ඉඩ හසර ලබා දුන් අතීත මුතුන් මිත්තන් ගැන දරුවන්ට කියා දෙන්න. අද අපේ දවස වෙනුවෙන් එදා ඔවුන්ගේ ලේ, දහඩිය කඳුළුලින් මේ පොළව තෙත් වුන බව සිහියට නගන්න. අදටත් අපි ඒ වීරවර මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගැති බැව් හදවතට දැනෙන සේ කියා දෙන්න.

දරු නැළවිලිවලදී ජාතිකාභිමානය …

දරුවන් නළවන නැලවිලි ගී මගින් ඔවුන්ගේ හදවතට මේ සිතුවිලි බොහොම සියුම් විදිහට ඇතුළු කරන්න පුලුවනි. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන්ගේ නැලවිලි ගී ගයන විට දරුවන්ගේ හදවතට මේ සිතුවිලි නොදැනීම ඇතුළු වේවි.

“ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ…”
“මුනි සිරිපා සිඹිමින්නේ – සමනොළ ගිරි පෙදෙසින්නේ,
මද සුළඟයි මේ එන්නේ – මගේ පුතා නැලවෙන්නේ..”

 

මෙවැනි දරු නැළවිල්ලකින් නැගෙන ස්වරය දරුවාගේ හදවතටත් නොදැනීම දැනෙන අතර එය ඔවුන්ගේ අනාගතයේ ජීවන ගීතය බවට පත් කිරීම එතරම් අපහසු නැහැ.

කථාන්දර කියා දෙන්න…

එදා අම්මලා අත්තම්මලා  තමන්ගේ දරුවන්ට නින්ද යන තුරු බොහොම ලස්සන කතාන්දර කියා දුන්නා. ඒ අතරේ විහාරමහදේවි, දුටුගැමුණු කුමාරයා වැනි වීර චරිත ගැනත් කියැවුනා. අද අම්මලාට කතන්දර කියා දෙන්න තරම් විවේක මනසක් නැහැ. අත්තම්ලා හිටියත් සමහර ඔවුන් එක වහලක් යට නැහැ. ඒ වගේම දරුවන්ගේ ලෝකය රූපවාහිනිය පමණයි. අත්තම්මලාත්  හරි හරියට මුනුපුරන් සමග රූපවාහිනියට වාඩිවෙනවා මිසක කතන්දර කලාවක් ඔවුන්ටත් නැහැ. ඒ නිසා දරුවන්ට අපේ ඉතිහාසයෙන් කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ.

මේ හොඳම කාලයයි…

71 වැනි නිදහස සමරන මේ වකවානුවේ දරුවන්ට අපේ ඉතිහාසය ගැනත් අපේ ජාතික අභිමානය ගැනත් කියා දීමට මනා පරිසරයක් නොදැනීම සකස් වෙනවා. හැම නිවසකම ජාතික කොඩියක් ඔසවන මේ කාලයේ එතැන් පටන්ම ජාතිකාභිමානය දැනෙන සේ කටයුතු කරන අන්දම දරුවන්ට පෙන්වා දෙන්න.

ජාතික කොඩිය ඔසවන විට එය නිවසේ ඉහළම තැනක ඔසවන්න කියා දෙනන්. සිංහයා උඩු යටිකුරු නොවන සේ අභිමානයක් සහ ජාතික කොඩියට ගරුත්වයක් ඇති වෙන අන්දමින් ඔසවා තැබිය යුතු බව දරුවාට කියා දෙන්න. ජාතික කොඩිය තිබෙන්නේ එල්වරසන් නැගීමට, ඇදගෙන දුවන්න, ස්ටිකර් විදිහට මුහුණේ අලවා ගැනීමට නොවන බැව් පුංචි දරුවන්ට කියා දෙන්න. අද වැඩිහිටි දරුවන් තරඟාවසානයේ ජයඝෝෂා නගන විට ජාතික කොඩියට නිගරු වන සේ හැසිරෙන අන්දමි. අනාගතය භාරගැනීමට පෙල ගැසී සිටින දරුවන්ට නොගැලපෙන බැව් පහදා දෙන්න. ජාතික ගීතය ගායනා කරන විට සිටගෙන සිටීමේ ඉරියව් සහ ඒ වෙනුවෙන් ගරු කරන අන්දම කියා දෙන්න.

ජාතිකාභිමානය යනු ජාතිවාදය නොවේ…

රට , දැය සමයට ආදරය කිරීම යනු ජාතිවාදයක් නොවේ. අපේ රටේ ජාතික හැඟීම ඇති වෙන්නනේ කුමන හෝ උනුහුම් අවස්ථාවක්  ඇති වුන විට පමණි. අපි උපන්නේ එකම රටක බැවින් අපි ලක්මාතාවගේ දරුවන් බැව් අමතකව යෑමට ගෙවෙන්නේ නිමේශයකි.

මේ පුංචි රටේ අපි කවදා කොතැනක හෝ හමුවෙන බව අමතක කළ යුතු නැත. ලංකාමාතාව යනු අපි උපන් රටයි. මේ රටේ විවිධ වර්ග, විවිධ භාෂාවන් ආමන්ත්‍රනය කරන පිරිස් සිටිය හැකියි. ඒත් අප හැමදෙනාගේම සිරුරේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. පටු වාද භේද අවශ්‍ය නැත. එකම මවකගේ කුසින් උපන් දරුවන් සේ ලංකාමාතාවගේ සෙවෙනේ සමගියෙන් සාමයෙන් ජීවත් වෙන පරිසරයක් ගොඩ නගා ගනිමු.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here