බත් වර්ග

rice

වචනයට වුනත් අපි කියන්නේ බත් අපේ ප්‍රධාන ආහාරය බවයි. ඒක ඇත්ත. අද වෙන විට අපේ ජීවන රටාව විවිධ ක්ෂණික ආහාර වෙනුවෙන් ඇබ්බැහි වුනත් බත් ඉතාම ගුණදායක වගේම ශක්තිය ලබා දෙන ආහාරයක්. ඒත් අපි තවමත් බත් කී විට මතකයට නැගෙන්නේ සාමාන්‍යයෙන් ව්‍යංජන සමග බත් විදිහට ගන්නා වේල පිරිමහන ආහාරය ගැනයි.

ඒ වගේම අතීතයේදී බත් ඇටයක්වත් ඉවත දමන්න අපේ අම්මලා සූදානම් වුනේ නැහැ. බත් ඉවත දැමීම බොහොම පව් සිදු වෙන දෙයක් විදිහට ඒ අය සැලකුවා. ඒ විතරක් නොවෙයි, බත් පිරිමසින ආකාරය ගැන විවිධ ජනකතාවන්ද ප්‍රබන්ධ වී තිබුනා. ඒ නිසාම බත් පිරිමැස්ම ඔවුන්ගේ ජීවිතයේ විශාල අවධානයක් යොමු වුන පැවැත්මක් බවට පත්ව තිබුණා.

නානා ප්‍රකාර විදිහට බත් පිසින අන්දම ගැන අපේ අම්මලා හොදින්ම දන්නවා. දරුවන්ගෙන් ඇහුවොත් ඔවුන්ගෙනුත් පිලිතුරු වැලක් ලැබේවි. මේ හැම දෙයක්ම දන්නා අපේ තරුණ අම්මලා වගේම දරුවන් “හීල්බතේ” තිබෙන ගුණ දන්නවාද යන්නත් ගැටලුවක්. ඒක ඉතින් දරුවන්ගේවත් තරුණ අම්මලාගේවත් වරදක් නොවෙයි, බාල කාලයේ පටන්ම මේ අය ජීවත් වුන පරිසරයේදී හිල්බත් ගැන කිසිම දැණුවත් බවක් තිබුනේ නැහැ.

අතීතයේ අද වගේ හැම නිවසකම ශීතකරණය තිබුනේ නැහැ. ඒ නිසා දින ගණනක් අධි ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගැනීමක් සිද්ධ වුනෙත් නැහැ. ඒ විදිහට ආහාර කල් තබා ගැනීමේ පරිසරයට ගැලපෙන මුලුතැන්ගෙයක උපාංගත් තිබුනේ නැහැ. ඒ නිසා රාත්‍රියේ ඉතිරිවෙන බත් පසු දින උදයේ නැවත රත් කිරීමක් නොමැතිවම ආහාරයට ගත්තා. මේ හිල්බත බොහොම ගුණ ලබා දෙන ආහාරයක් වුනා.

රාත්‍රියක් පුරාම තිබෙන බතේ උපස්ථරය මතට යීස්ට් වැනි හිතකර ජීවින් එකතු වෙනවා. ඒ නිසා බත පැසවීමේ ක්‍රියාවලියට පත් වෙන අතර විටමින් “බි” සහ “සි” කාණ්ඩයේ සාන්ද්‍රණය ඉහල යනවා. බත් පිලුණු වුනා යැයි ඔබ කියන්නේ මේ ක්සුද්‍ර ජීවින්ගේ පැසීම කල් ඉකුත් වුන විටයි.

ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය මගින් විටමින් බී 12 ප්‍රභවයන් මිනිස් සිරුරට උරා ගැනීමේ හැකියාව තිබෙනවා. හිගන්නන්ට කොයින්ද උනුබත් කිව්වාට පෝෂණීය වටිනාකම අතින් හීල්බතට ඇති වැදගත්කම ඉතාම ඉහලයි. අපි නානා ප්‍රකාර නම් වලින් හැදින්වෙන බත් වර්ග වගේ තෙල් දැමීමක් නැහැ. විවිධ රසකාරක නැහැ. ඒ නිසා සිරුරට කිසිම අගුණයකුත් නැහැ. හීල්බත සකස් වෙන්නේ ජෛවීය විදිහට නිසා රෝග වෙනුවෙන් හේතුකාරක මේද ගබඩා විම, රුධිරගත සීනි, කොලස්ටරෝල් වැනි කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ.

හීල්බත පිසින්න අමුතු කාලයක් මුදලක් අවශ්‍ය වුනෙත් නැහැ. රාත්‍රියේ පිසින ලද බතේ වැඩි ප්‍රමාණය ඉවත ගියෙත් නැහැ. උදේ පාන්දර පාන්, බනිස් වෑන් එන තෙක් මග බල බලා වැලපෙන්න වුනෙත් නැහැ. උදේට පිළියෙල කර ගත්තු පොල්සම්බෝලයක් එහෙම නැත්නම් රාත්‍රියේ ඉතිරි වුන ව්‍යංජනයක් සමග ආහාරයට ගත්තා.

ඒ විතරක් නොවෙයි, දර හෝ ගෑස් විදුලිය වැනි බත පිසින්න යොදා ගන්නා ඉන්ධනත් නොදැනීම ඉතිරි වුණා. රාත්‍රියේ ඉතිරි බතෙන් උදේ වේල නොදැනීම පිරිමැසුන නිසා වැය පැත්තටත් වාසියක් ලැබුණා.

දියබත ගැන ඔබ අහල තියෙනවාද…?

දියබත් කියන්නේ  බොහොම ඖෂධීය ගුණ ලබා දෙන ආකාරයේ ඉතාම පහසුවෙන් පිළියෙල කර ගත හැකි බත් විශේෂයක්. රාත්‍රියේ බත් උයපු මුට්ටියේම බත් ටිකකට වතුර දමා තබනන්. මේ වෙනුවෙන් වඩාත් ගැලපුනේ කුරුට්ට සහිත තම්බාපු සහලින් පිසින ලද බත්.

පහුවදා උදයට මුට්ටියේ බත් ජලයත් සමගම භාජනයකට දමන්න. දැන් සිහින්ව ලියා ගත් රතුලූණු, අමුමිරිස්, උමම්ලකඩ, ලුණු ආදියත් මේ බත් මිශ්‍රණයට එක් කරන්න. සමහර උදවිය අමුමිරිස් වෙනුවට වියලි මිරිස් කරලක් එක් කරනවා. පොල් කිරි ස්වල්පයක් සමග දෙහි යුෂ දමා ආහාරයට ගනන්. අද දරුවන් අතර ඉතාම බහුලව තිබෙන ගැස්ට්‍රයිටිස් රෝග තත්වයට දියබත හොඳම ප්‍රතිකාරයක්. ඒ වගේම සිරුරේ දාහය නිවන ආහාරයක්.

කිරිබත්

සුබකටයුතු වලදී පඅනිවාර්යෙන්ම පිළියෙල වෙන වගේ නිවාඩු දිනයට උදේ ආහාරය වෙනුවෙන් පිළියෙල වෙන කිරිබත් පෝෂණීය ගුණයෙන් යුක්තයි. සිරුරේ ඇති වෙන දැවිලි සහගත බවට ගැස්ට්‍රයිටිස් තත්වයට, ගිලීමේ අපහසුතාවයන් ඇති විට කිරිබත් ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදු වුණා. කිරිබත මැදට පැණිපොල් තබා ගුලියක් සේ සකස් කර ගත් විට එය “ඉඹුල් කිරිබත්” එහෙම නැත්නම් “කොට්ට කිරිබත්” යනුවෙන් හැදින්වුණා.

සුන්සහල් බත්

අද නම් ගල් වැළි ඉවත් කළහාල් ගන්නා නිසා අපිට සුන්සහල් එකතු වෙන්නේ නැහැ. ඒත් සුන්සහල් ගරා ලිප තබා බත පිස එයට පොල් එකතු කර ගෙන කූරු ගා ගනන්වා. සමහර විට සීනි හෝ හකුරුත් එකතු කරන්න පුලුවනි. හැන්දෑවේ තේ වෙලාවට මේ බත ඉතා ජනප්‍රිය ආහාරයක් වුණා. හැබැයි පිරිමි දරුවන්ට නම් මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති වෙනවාය යන විශ්වාසය නිසා සුන්සහල් බත් ආහාරයට දුන්නේ නැහැ.

පොංගොල් බත්

දෙමළ ජන සංස්කෘතියට සම්බන්ධ පොංගොල් බත පෝෂණීය ගුණයෙන් ඉහලයි. මෙය සාමාන්‍ය බත පිසින තරමට වතුර දමා පිස ගෙන එයට කිරි, තම්බා ගත් මුංඇට , කජු, හකුරු , මුද්දරම්පලම් ආදිය එකතු කරන්න. අවසානයටම මිටි කිරි එකතු කර පැසුන විට ලිපෙන් බා ගන්න.

ඉවතලන බත්

නිවසේ ඉවත ලන බත් වියලා කබලේ බැද ගෙන පැණි සහ පොල් එකතු කර අග්ගලා සාදා ගැනීමටත් පුලුවනි. කිසිම අගුනයක් නැහැ. රසකාරක නැහැ. අවශ්‍ය නම් ගම්මිරිස් ඇට දෙකක් එකතු කර ගන්න පුලුවනි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here