නාන කාමරය හා වැසිකිලිය දැන් හැම ගෙදරකම වගේ තියෙන්නේ නිවස තුලමයි. ඒ හැරෙන්නට ප්‍රධාන නිදන කාමරයට ඇඳු නාන කාමර දැන් බොහෝ ගෙවල් වල තියෙන නිසා දනගාගෙන යන,වැටි වැටි ඇවිදින ඔබේ සිගිත්තා නාන කාමරයට ඇතුළු වීම වළක්වාලන්න. ලිස්සා වැටි සිදුවන අනතුරුවලට වඩා බොහෝ අනතුරු නාන කාමරය ආශ්‍රිතව සිදුවෙන්න පුළුවනි. කොමෝඩ් එකට එබෙන්නට ගොස් සිදුවිය හැකි අනතුරු…. රස්නේ වතුරකරාමය විවෘතකිරීම නිසා ඇතිවියහැකි පිළිස්සීම්…වතුර බේසම් වලට වැටීම් වැනි අනතුරුත් නාන කාමරයට ඇතුළුවීම වැළකීමෙන් නවතගන්නට පුළුවනි. මේ හැරුනාම නාන කාමරය කියන්නේ රසායනික ද්‍රව්‍ය බහුල ස්ථානයක්.පිරිසිදු කිරීම් සදහා යොදාගැනෙන රසායන ද්‍රව්‍ය බොහොමයක් ඔබේ දරුවට නිදහසේ අතපත ගන්නට හැකි තැනක්. මේ නිසා නාන කාමරය දරුවට තනිව ඇතුළුවිය නොහැකි තැනක් බවට පත් කරන්න.
ගෙදර භාවිතා කෙරෙන සියලු රසායනික ද්‍රව්‍ය , පිරිසිදු කිරීම් ද්‍රව්‍ය, ගම් වර්ග , ගෘහස්ත කෘමි නාශක , මදුරු විකර්ශන සියල්ල යතුරු ලන කබඩ් එකක උඩ තට්ටුවක අසුරා තබන්න.ගෙදර සියලු බෙහෙත්, කොලොන් වර්ග දරුවාට ලං වෙන්න බැරි උස කබඩ් එකක අසුරා තබන්න.
කුස්සිය කියන්නේ දරුවන්ගේ ඇස් දෙකට ඉමිහිරි ආකර්ශනීය ලෝකයක්. අඩි 1-2 අතර උසක සිට දකින විටදී මේ අකර්ශනියත්වය තවත් දෙගුණ තෙගුණ වෙනවා.අම්මා දිය සහ ගිනි එක්ක යමා මහා පෙළහර පානවා දකින දරුවෙකුට කුස්සියට ඇතුල් වෙන්න ඇති කරවන්නේ නොඉවසිලි කුතුහලයක්. මේ නිසා කුස්සියේ දොරටුවට වැටක් හෝ ගේට්ටුවක් දැමිම ඉතා නුවණක්කාර වැඩක්.වැටක් තිබ්බත් නිතරම කුස්සියේ පිහි සහ ආයුද සියල්ල උඩ ලාච්චුවක දමා තබන්න. කෑම වළන් හොදි භාජන, උණුවතුර ජොග්ගු සියල්ල counter ටොප් එකේ ඇඟ පැත්තට නොවන ලෙස තියන්න.
දන ගාගෙන ගිහින්, වැටි වැටි දුවගෙන ගිහින් කාමරේ දොරවහගන්න පුංචි දගයගේ චූටි ඇඟිලි දොරවල් වලට අහු නොවෙන්න දොරවල් දරුවට තනියම වහන්න බැරි වෙන රඳවුමක් මගින් දොර ඇර තබන්න. නැත්නම් කාමර දොරවල්වල එලිය පැත්තේ අගුලේ කුරුළු කොට්ට හෝ සොෆ්ට් ටෝයි ටිකක් දැමු බෑගයක් එල්ලන්න. පුංචි අය්යා දුවල ගිහින් මල්ලි එනවට කාමරේ දොර වහද්දි මල්ලිගේ හරි අය්යාගේ හරි චුටි ඇඟිලි දොරට අහුවෙන්න නැති වෙන්න එය උදව්වක් වේවි.
දරුවාට අනතුරු දායක තැන්වලට ලඟ විය නොහැකි වන පරිදි ගේට්ටු /වැටවල් දමන්න. තරප්පු පෙලට, නානකමරයට, කුස්සියට , ඉදිරිපසදොරටුවට ආදී ලෙසට ඔබේ නිවසේ පිහිටීම අනුව ගලපා ගන්න.තියුණු දාර නැති සුමට නිමාවක් ඇති සිරස් අතට ගරාදි ඇති ,ඔළුව කකුල් සිර කරගත නොහැකිතරමේ පරතරය ඇති ගරාදි ඇති ගේට්ටු ගෙදරදී සාදාගෙන හෝ ළදරුවන්ගේ අවශ්‍යතා සඳහා ඇති වෙළඳ සලකින් මිලදීගන්න.
ඔබේ ගෙදර කාර් එක නවතා තබන ගරාජය ගෙදර ඉදිරිපස දොරටුවට අසලින් ඇත්නම් ප්‍රධාන දොරටුවට වැටක් දමන්න. මහත්තය උදේ ගෙදරින් පිටත් වෙද්දී ඔබ අලුත උපන් සිගිත්තට කිරිදිදී ඉන්නවා වෙන්න පුළුවනි. ඊයේ හවස සෙල්ලම් කරද්දී කාර් එක යටට විසිවුණු බොලේ දැකලා ඔබේ අවුරුදු 4 පුතා කාර් එක ලඟට දුවනවා අප්පච්චි උදේ පාන්දර කලබලේදී නොදකින්න පුළුවනි.පුතාලගේ අප්පච්චි හවස ගෙදර එනකොට අම්මා ගේට්ටුව අරින්න දුවද්දී අනිවාර්යයෙන්ම ගෙදර සියලු දරුවන් ප්‍රධාන දොරට යෙදු වැට ඇතුලෙන් තියලා ඉදිරිපස ගේට්ටුව අරින්න යන්න පුරුද්දක් ඇති කරගන්න.
සද්දේ එන කතා පොත් : සුබපැතුම් පත් , උත්සව සැරසිලි ,calculators,සෙල්ලම් බඩු , දුරස්ථපාලක වගේ දේවල් වල තියෙන බොත්තම් බැටරි ඉතා අනතුරුදායකයි.මේ බැටරි යෙදු දෑ ඉස්කුරුප්පු ඇණවලින් තදකොට වැසූ පියනක් සහිත නම් මිස පාවිච්චි කරන්න එපා. දිලිසෙන සුළු හුරුබුටි ස්වභාවය, බෙහෙත්පෙත්තක්/ කාසියක හැඩය ගැනීම නිසා දරුවා මෙලෙස ගැලවුණු බොත්තම් බැටරිය ගිලදමන්නට කන හෝ නහය තුලට දමාගන්නට පොළඹවන සුළුයි.මේ බොත්තම් බැටරි ශරීර ගත වුවිට විදුලිය කාන්දු වීමට හැකි නිසා එයින් දරුවට ඇති විය හැකි විපත ඉතා දැඩි වගේම ඉතා වේගවත්.බොත්තම් බැටරි පමණක් නොවෙයි ඕනෑම උපකරණයෙන් ඉහිල් වුන බැටරියක් දුටු විගස ඉවත් කරන්න. ඕනෑම බැටරි යෙදු උපකරණයක් දරුවාගේ පාවිච්චියට දෙනවා නම් ඒ ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටින්න.
බේබි පෘෆ් කරනවා කියන්නේ හුදෙක්ම උපායමාර්ග ස්ථාපනය කිරීමක් විතරක් නෙවි. ආරක්ෂාව සම්බන්ධව දරුවා තුළ පුංචි කලේ සිටම විනයක් පුරුදු පුහුණු කල යුතුවෙනවා. අපි හැමෝම අතින් වෙන ලොකු වරදක් තමයි ,”දරුවට තේරෙන්නේ නැහැ,”එපා” කියන එක තේරුම් ගන්න තරම් එයා පුංචි වැඩියි” කියා හිතන එක. ඒ නිසාම අපි බොහෝ දෙනෙක් භව්‍ය අනතුරුදායක අවස්ථාවලදීත් එයින් ඉවත් වෙන්න කියල කියා දෙන්නේ උත්සහ ගන්නේ නැහැ. ආරක්ෂාව වෙනුවෙන් උපාය මාර්ග ස්ථාපනය කරනවා වගේම පුංචිම කාලෙදිම දරුවට තේරෙන විදියට අනතුර ගැන කියා දෙන්න පටන් ගන්න. “පුතු ඒක දය්යා” “අල්ලන්න එපා මගේ පුතා ඌවා වෙයි” “එක අම්මගේ” වගේ දරුවට තේරෙන හැටියට කියල දෙන්න.ඔබ නොහිතුවට එය අනතුරු මග හරවා ගන්න උදව්වක්.එත් පුංචි හිත්වල තියෙන කුතුහලය නිසා දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔබේ නිරන්තර අවධානය තිබිය යුතුමයි.
දෙමාපියන් විතරක් නෙවි පව්ලේ සියලු දෙනාම මේ බේබි පෘෆ් සම්බන්ධයෙන් වගකීමෙන් විනයක බැදෙන්න. පුතාලගේ අප්පච්චි සපත්තු පොලිෂ් කර කර ඉන්න වෙලාවේදී ඔබ තේ එක ගිහින් දුන්නාම… ඉස්සර වගේ සපත්තු පොලිෂ් කරලා ඉවර වෙනකල් ලඟට වෙලා ඉන්න වෙලාව නැත්නම්… ලිපේ හොද්ද බලන්න දුවන්න තියෙනවා නම් කිසිම වෙලාවක ළඟ තිබ්බ මේසේ උඩින් දුම් දාන තේ එක තියල එතනින් යන්න එපා… මේසෙට යන්තම් උස ඔබේ පුංචි පුතාට අම්ම ගෙනාව කෝප්පේ තියෙන්නේ මොනාද කියල බලන්න හිතෙන්නේ කොයි වේලාවේද කියලා ඔබටවත් ඔබේ මහත්තයටවත් හිතාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා ගෙදර ජිවත් වෙන හැමෝම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න හැම මොහොතකම හැම හැසිරිමකින්ම වගකීමෙන් බැදෙන්න.
කොයිතරම් උපායමාර්ගිකව ඔබේ ගෙදර බේබි පෘෆ් කළත් වැඩිහිටියකුගේ නිරන්තර සුපරික්ෂාව,දුර දැකීමේ නුවණෙහි තැන ගන්නට කිසිම බේබි ප්රුෆ් ක්රමෝපායක් සමත් වන්නේ නැහැ. ඒ නිසා හැම තත්පරයකම අනතුරක සේයාව දකින්න ඔබේ ඇස හුරුකරගන්න. එය ඔබේ රන්කැටියාට නිදහසේ හපන්කම් පාන්නටත් සුරැකිව වැඩෙන්නටත් රුකුලක් වෙවී.
කතුවරිය ගැන
දීපිකා ගුණසේන මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.