- Advertisement -

බබා ලැබුනට පස්සේ කොන්දේ කැක්කුමක් ඇවිත්ද?

-

අලුත විවහාපත් ඕනෑම යුවලක් තම ආදරය තව තවත් ශක්තිමත් කරමින් පවුල අංග සම්පූර්ණ කරන්නට දරුවෙකු පැමිණෙන තුරු දහසක් බලපොරොත්තු සහගතව බලා හිඳි. දරු පැටියෙකු නිවසට කැන්දන සිහිනය ඉටු වූ දින අසීමිත සතුටකින් කිරි සුවඳකින් පිරෙන නිවස බොහොම සුන්දරයි. නමුත් ප්‍රසූතියෙන් පසු මවකගේ වැරදි ඉරියව් මේ සුන්දරත්වය විඳ ගන්නට බාධාවක් විය හැක්කේ සැබවින්ම නිවැරදි ඉරියව් පිළිබඳව ඇති අනවබෝධය නිසයි.

ගැබිනි මවක් නිවැරදි මග පෙන්වීම යටතේ ව්‍යායාමවල නිරත විය යුතු බව මින් පෙර ලිපිවලදීත් අපි ඔබව දැනුවත් කර සිටියා. ඒ දරු ප්‍රසූතිය පහසු වීම සහ නොයෙකුත් වේදනා නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමටයි. කෙසේ වුවද සාමාන්‍ය ප්‍රසූතියක් හෝ සිසේරියන් සැත්කම මගින් සිදු කෙරෙන ප්‍රසූතියක් වුවද සංකූලතාවන් නොවේ නම් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට ගැටළුවක් නොවේ. ඒ වගේම පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත යමින් ඉතාම සරල පහසු ව්‍යායාම කිහිපයක් සිදු කිරීම උචිතය.

- Advertisement -

ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඇතැම් විට ඔබ කෙතරම් නිවැරදි ඉරියව් යොදා ගත්තද කොන්දේ වේදනාව වැනි තත්ත්වයන්  ඇති විය හැකි අතරම සාමාන්‍ය ජිවිතයේ කාර්යබහුල බව මෙම වේදනාකාරී තත්ත්වයන් තවත් සංකීර්ණ කරවයි. එනිසා ප්‍රසූතියෙන් පසු දරුවන්ගේ කටයුතුවලදී මෙන්ම එදිනෙදා කටයුතුවලදීත් නිවැරදිම ඉරියව් යොදා ගැනීම මෙන්ම නිවැරදි ව්‍යායාමවල යෙදීමත් අත්‍යවශ්‍යය.

කිරි දෙන මවකගේ බෙල්ලේ සහ කොන්දේ ඇතිවන වේදනාව

ළදරුවා කිරි බීමට ආරම්භ කිරීමත් සමගම මව්වරුන් අනුගමනය කරන වැරදි ඉරියව් නිසා බෙල්ල කොන්ද වැනි ස්ථානවල වේදනාව ඇති විය හැකිය.

ඇඳ මත වැතිර ඇලයට හැරී මවගේ එක් අතක් ගෙල හා හිසට ආධාරකයක් සේ තබා ගැනීමේදී මවගේ ගෙල ප්‍රදේශය හා කොඳු ඇටපෙල අනවශ්‍ය ලෙස වකුටු වීම එතරම් සුදුසු නොවන අතර දරුවාට කිරි උරා බීමට පහසු වන සේ මවගේ ගෙලට හා හිසට ආධාර වන පරිදි තරමක උස කොට්ටයක් යොදාගැනීම වඩාත් පහසුය.  තවත් කොට්ටයක් දරුවාගේ ඇඟට යටින් සිටින සේ භාවිත කරන්නේ නම් දරුවාට මෙන්ම මවටද අපහසුවක් නොදැනෙන අතර මවගේ ගෙල සහ උරහිස ප්‍රදේශයේ වේදනාවක් හට නොගනියි.

img-001

එසේම වාඩිවී දරුවාට කිරි ලබාදීමේදී දරුවා වෙත නැඹුරු වෙමින් කොන්ද කුදුවන ආකාරයේ ඉරියව්වක සිටීම කිසිසේත්ම නිවැරදි ඉරියව්වක් නොවේ. මව දරුවා වෙතට නොනැමී මවගේ ළය පෙදෙසට දරුවාගේ මුඛය ලඟා කර ගත යුතුය.

කොන්දේ වේදනාව

දරුවා වඩා ගැනීමේදී – වර්ධනයත් එක්ක දරුවන්ගේ බර ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ. මව හෝ පියා ලවා වඩවා ගැනීමට හැම දරුවෙක්ම බොහොම ප්‍රිය කරයි. මෙසේ දරුවන් වඩා ගැනීමේදී වැඩිහිටි ඔබ අනුගමනය කරන වැරදි ඉරියව් ඔබට කොන්දේ වේදනා ඇති කරවන්නට සමත් වනු ඇත. දිනෙන් දින වැඩිවන දරුවන්ගේ බර පිළිබඳ තැකීමක් නොකොට වැරදි ඉරියව්වල සිට ඔවුන්ව එසවීම දිගින් දිගටම සිදු වෙද්දී වේදනාව මෙන්ම රෝග තත්ත්වය දෙගුණ තෙගුණ වේ.  මව්වරුන්ට ඇතිවන කොන්දේ වේදනාවට ප්‍රධාන හේතුවක් වන්නේද මේ තත්ත්වයයි. ඇතැම් මව්වරු මේ තත්ත්වය පිළිබඳව සිතන්නේ දරු ප්‍රසූතියෙන් පසු ඇති වන සාමාන්‍ය තත්ත්වයක් ලෙසටයි. නමු එය ප්‍රසූතියෙන් පසු ඔබේ වැරදි ඉරියව් හේතුවෙන් ඇති වන තත්ත්වයක් බව වැටහ ගත යුතුය. ඔබේ ඉරියව් නිවැරදි කර නොගෙන වේදනා නාශක ලබාගැනීමෙන් පමණක් තත්ත්වය සුව කරගත් නොහැක.

img-002

තොටිල්ලක හෝ ඇඳක සිට දරුවෙකු වඩා ගැනීමේදී –  මෙහිදී කොන්දෙන් නැමී පහත් වී දරුවා එසවීමේදී දරුවා මවට මදක් දුරින් සිටින නිසා මවගේ කොන්දට අනවශ්‍ය පීඩනයක් ඇති වේ. එය කාලයත් සමග කොන්දේ වේදනාකාරී තත්වයක් ඇති කිරීමට සමත් වේ. ඒ නිසා තොටිල්ලේ හෝ ඇඳ මත සිටින දරුවා වඩා ගැනීමේදී හැකි තරම් දරුවාට සමීප විය යුතුය. තවද දරුවා සිටින උසට ගැලපෙන ලෙස දණහිසෙන් නැමී කොන්ද කෙලින් තබා  දරුවා ගෙන නැවත සිටගැනීමේ ඉරියව්වට ආ යුතුය. එසේම දරුවා නැවත තබන විටත් උසට ගැලපෙන පරිදි දණහිසෙන් නැවී හැකි තරම් අදාල ස්ථානයට සමීප වී දරුවා තැබිය යුතුය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක, ශ්‍රී ලංකා වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article