ගැබිනි මවකට ඇතිවන මේ අපහසුතාවලට පිළියම් නැද්ද?

pregnant-mother-on-bed
ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා

ගැබිනි සමයේ බහුතරයක් කාන්තාවන් බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. සිරුරේ ඇති වන වෙස්කම් සමගම ඇති වෙන මේ තත්ත්වයන් නිසා ඇතැම් විට දෛනික ජිවිතයේ වැඩ කටයුතු බොහොමයක් වෙනස් වෙන අවස්තාවනුත් ඕනේ තරම් ඇති. ඉතින් අපි බලමු මේ වෙනුවෙන් පුංචිම හරි පිළියමක් නැද්ද කියලා. එහෙනම් අපි ඇද කතා කරමු ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා සහ ඒවා අවම කර ගැනීමට යෙදිය හැකි පිළියම් පිළිබඳව.

ඔක්කාරය හා වමනය – Nausea & Vomiting

img-001

සිරුරේ හෝමෝන හා මව තුළ ඇති වන චිත්තාවේගීය වෙනස්කම් නිසා ඇති වන මෙම තත්ත්වය කාන්තාවන්ගෙන් 50% කට පමණ ගර්භනී සමයේ පළමු කාර්තුව එනම් භාවයට සති 4-16 දක්වා කාලයේදී ඇති වේ. HCG නම් හෝමෝනය (Human chorionic Gonadotropin) මුල් මාස 3 තුළ බහුලව පවතින අතර මීට අමතරව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මෙම උදා වමනයට බලපායි. ඔක්කාරය හා වමනය යන මේ තත්ත්වය බහුලව දැකිය හැක්කේ උදෑසන වුවත් දවසේ ඕනෑම වේලාවකදී ඇති වීමටද හැකියාව ඇත. කෙසේ වුවද ආහාරවල ගඳ සුවඳ, ආහාර පිසීමේදී ඇති වන සුවඳ මෙම තත්ත්වයන් වැඩි කිරීමට බලපායි.

ඔක්කාරය හා වමනය තත්ත්වය උග්‍ර වීම වැළක්වීමට,

  • නිදාගන්නා විට කොටට් කිහිපයක් තබා හිස දෙසින් එසවීම. දකුණට හැරී වැතිරීම.
  • උදෑසන අවධි වී ඇඳෙන් නොබැස කර කළ පාන්, සීනි අඩු බීම, මේදය හා ප්‍රෝටීන අඩු පහසුවෙන් දිරවිය හැකි ආහාරයක් ගෙන පැය ½ පමණ වැතිර සිට ඉන්පසු ඇඳෙන් බැසීම.
  • ගැබිනි මව ගන්නා ලද ආහාර සියල්ලම වමනය නිසා පිට වෙයි නම් ආහාර වේල් ගණන වැඩි කිරීම.
  • අධික කුළු බඩු සහිත ආහාර ගැනීමෙන් වැලකීම.
  • කිරි ආහාර ගැනීමට උනන්දු කිරීම.
  • මෙම තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රති ආම්ලික ඖෂධ (Antacid) ගැනීම.
අධික ලෙස ඛේටය ශ්‍රාවය වීම – Excessive Salivation/Ptyalism

img-002

මේ තත්ත්වය ගර්භයට සති අට පමණ වන විට දී හෝමෝනවල බලපෑම හේතුවෙන් ඇතිවන අතර මාස 3 පසු වූ පසු සාමාන්‍යයෙන් අඩු වීමක් සිදු වේ.

අඟුරු, හාල් වැනි දේ කෑමට රුචි වීම – Pica

මෙයට හේතුවක් නොදන්නා අතර හෝමෝන හා පරිවෘත්තීය වෙනස්කම් මීට හේතු වන බව විශ්වාස කෙරේ. මව ගන්නා දෑ දරුවාට හානියක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

මල බද්ධය – Constipation

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් බඩවැල් ක්‍රමාකුංචනය (හැකිලීම) අඩු කිරීම හේතුවෙන් බඩවැල් තුළ ඇති සිනිඳු පේශී ඉහිල් වීම නිසා මෙම තත්ත්වය ඇති වේ. විශාල වන ගර්භාෂය මගින් මහන්තක තුළට ඇති වන පීඩනය නිසා මෙම තත්ත්වය වැඩි වේ. ගර්භනීභාවයේදී ගන්නා යකඩ පෙති (Fersolate) නිසා ද මල බද්ධය ඇති වේ. මෙම තත්ත්වයන් මඟහැරීම සඳහා,

  • දියර වර්ග වැඩිපුර ගැනීම
  • කොළ පැහැති එළවළු, පළතුරු, ධන්‍ය වර්ග ආහාරයට එක් කිරීම
  • ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදීම
  • උදෑසන ආහාරයට හෝ කිරි වීදුරුවට පෙර උදෑසන උණුසුම් ජලය පානය කිරීම. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වීම නිසා ක්‍රමානුකූල චලන ඇති වේ. මළ හොඳින් පිට වේ
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here