- Advertisement -

ඔබේ දරුවාත් අනවශ්‍ය ලෙස උදාසීනද?

-

දරුවන් කියන්නේ හරිම ක්‍රියාශීලි පිරිසක්. එක විනාඩියක් එක තැනක ඉන්න බැරි තරමට සමහර දරුවන් හරිම දඟයි. ඒ අතරේ ඔබට ඉන්නේ කාටවත් හිරිහැරයක් නොකරන අහිංසක දරුවෙක් විය හැකියි. එය බොහොම සාමාන්‍ය දෙයක්. සෙල්ලමට හැරුණු විට පොත පතේ වැඩ සඳහා දරුවන් තරමක උදාසීන ගතියක් දැක්වීම එතරම් කලබල වියයුතු කාරණාවක් නොවුනත් ඔබේ දරුවා අනවශ්‍ය ලෙස උදාසීන නම් එය තරමක අවධානය යොමුකළ යුතු කාරණයක් බව මතක් කර සිටිය යුතුය.

එවැනි අවස්ථාවක දෙමව්පියන් ලෙස ඔබ වඩ වඩාත් දරුවන්ට ලංවෙමින් ඔවුන්ව තේරුම් ගැනීමට උත්සහ කරනවා විනා අනවශ්‍ය ලෙස තරවටු කිරීමෙන් පලක් නොවන බව වටහා ගත යුතුය. විශේෂයෙන්ම දරුවන්ට ව්‍යාජ ලෙස තරවටු කිරීමට යාමෙන් වැළකිය යුතුය. “කියන දේ ඇහුවේ නැත්තන් අද ටීවී එක බලන්න දෙන්නේ නෑ” යන්න නිරන්තරයෙන් දෙමව්පියන් පවසන අවස්ථා ඔබටත් ඇසී ඇති. නමුත් එය එසේ කියා ක්‍රියාවට නොනැගුණ විට දරුවන් එය කෙසේ කීවත් කිසිදා නොලැබෙන දඬුවම් ලැයිස්තුවට එකතු කරගන්නවා ඇත. එනිසා නැවත වතාවක් එයම පැවසීමෙන් කිසිදා ඔබට දරුවා අවනත කර ගැනීමක් කල නොහැකිය.එවැනි තරවටුවක් කළහොත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතු අතර රූපවාහිනියට, පරිගණකයට කාලය නොදීම ඒ අතරින් ලබා දිය හැකි හොඳම දඬුවම් ක්‍රම වේ. දරුවා සමග බහින් බස් වීම කිසිවිටකත් සිදු නොකළ යුත්තකි.

- Advertisement -

දරුවන් සැබවින්ම උදාසීන නොවේ. යම් මොහොතක ඔවුන් එලෙස අක්‍රීය වන්නේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ඇති වූ කේන්තියක් හෝ දෙමව්පියන් තුල බලපෑමක් ඇති කිරීමේ උවමනාවෙන් විය හැක. දරුවන් සමග ගණුදෙනු කිරීමේදී ඔවුන් කෙරෙහි නිත්‍ය පාලනයක් තබා ගත යුතු සේම සුදුසු සුළු දඬුවමක් ලබා දීමේ වරදක් නැති නමුත් උදාසීන දරුවන්ට කිසිවිටක බැන වැදීම් නොකළ යුතුය.

ඔබේ දරුවා උදාසීන වන විටක එකම දෙය නැවත නැවත ඉල්ලා සිටීමෙන්ද වැළකිය යුතුය. දෙමව්පියන් වරක් යමක් ඉල්ලා එයට දරුවන් එකවර ප්‍රතික්‍රියා නොදැක්වූ විට දෙවන වරක් ඉල්ලීමට පෙළඹෙයි. දෙමව්පියන් මෙලෙස එකම දෙය දෙවතාවක් ඉල්ලා සිටින්නේ එය වැදගත් යමක් වන නිසා බව සිතන දරුවන් ප්‍රතිචාර නොදක්වා සිටීමට පෙළඹෙන අවස්ථාද ඇත. එනිසා එම පුරුද්දෙන් වැලකී සෑමවිටම එක්වරක් පමණක් ඉල්ලීම් කර එතනින් නික්ම යන්න. දරුවා එක්වරම ඊට ප්‍රතිචාර නොදැක්වුවත් එහි ප්‍රතිපලයක් තිබිය හැකිය.

උදාසීන දරුවන්ව කිසිවිටක උපහාසයට ලක්කිරීමෙන් වැළකිය යුතුය. ඔවුන් සමග නිතර ළඟ රැඳෙමින් ආදරය දැක්විය යුතු අතර පාසලේදී ලබා දෙන ගෙදර වැඩ කිරීමට නිරන්තර සහයෝගය දෙන්න. ඒ අතරතුර එහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දීමක්ද කල හැක. දරුවාට පාසලෙන් නිවසේදී කිරීමට දෙන ගෙදර වැඩ සඳහා කාලසටහනක් නිර්මාණය කර දිය හැකිය. නියමිත වෙලාවක් වෙන්කර දී එම කාලය තුල වෙනත් ක්‍රියාකාරකමක නියැලීමට ඉඩ ලබා නොදෙන්න. ඒ වෙනුවෙන් දරුවා දිගින් දිගටම මැලිකමක් දැක්වුවත් කිසි ලෙසකින් වෙනත් ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඔවුන්ට අවස්ථාව ලබා නොදීමට වගබලා ගත යුතුය. ඒ සඳහා දෙමව්පියන් වශයෙන් ඔබෙන් ලැබිය යුතු සහයෝගය නොමදවම ලබා දෙන්න.

එලෙසම දරුවන්ගේ හොඳ වර්ණනා කිරීමට නිරන්තරව පෙළඹිය යුතුය. පාසලේ විෂයන් වෙනුවෙන් වැඩියෙන් ලකුණු ලබාගත් අවස්ථාවන් හිදී ත්‍යාගයක් ලබා දීමෙන් ඔවුන් තව තවත් දිරිමත් කරන්න. අසමත්ව්ම් වලදී  බැනවැදීම වෙනුවට දරුවා සමග රැඳෙමින් ඔවුන්ව දිරිමත් කරන්න. දරුවන් පාසලෙන් ලබාදුන් ගෙදර වැඩ කිරීමට මැලිවන අවස්ථාවන් වලදී එහි වගකීම දරුවන්ටම බාර දෙන්න. හොඳින් වැඩ කළහොත් ඉහල ලකුණු මට්ටම් වලට යා හැකි බවටත් එසේ නොමැති විට අසමත් වීමට සිදුවන බවටත් ඔවුන්ට වටහා දෙන්න. කැමති තීරණයක් ගැනීමට එහිදී දරුවන්ට අවස්ථාව ලැබෙන අතර අසමත් වීමට ඇති අකමැත්ත නිසා ඔවුන් වැඩ කිරීම වෙනුවෙන් පෙළඹෙනු ඇත.

ඔබ රැකියාවක යෙදෙන මවක් හෝ පියෙකු නම් සතියට දවසක් හෝ වේලාසන නිවසට ඒමට උත්සහ ගන්න. හැකි සෑමවිටම දරුවා සමග රැඳෙමින් කාලය ගත කිරීමට පෙළඹිය යුතුය. දරුවන් සමග ඇවිදින්නට යාම, ඔවුන් කැමති ක්‍රීඩාවක නිරත වීම, පරිගණකයේ රැඳී සිටීම හෝ රුපවාහිනිය නැරඹීම වැනි ඔවුන් ප්‍රිය කරන ක්‍රියාකාරකම්වලට යොමුවීමද වඩා වැදගත් වේ.

දරුවන් සමග ගනුදෙනු කිරීමේදී ආදරය සහ ඉවසීම මූලික කරගන්න. බැනවැදීම්වලින් තොර වී ආදරයෙන් කරුණු පහදා දෙන්න. නිරන්තරව දරුවා සමග රැඳෙමින් කටයුතු කිරීම ඔවුන්ගේ උදාසීන බව මග හරවා ගැනීමට නිසැක මගක් කරගන්න.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article