- Advertisement -

ඔබේ දරුවටත් අනවශ්‍ය විදියට තරහ යනවාද ?

-

“කේන්තිය” සාමාන්‍ය මිනිස් ගතියකි. එය වයසින් වැඩුණු කෙනෙකුට පමණක් නොව කුඩා දරුවන්ට පවා පොදු ලක්ෂණයකි. බාහිරින් එල්ලවන තර්ජන නිසා විටෙක අප සිතේ කේන්තිය හට ගන්නා අතර තවත් විටක සිත තුලම ඇතිවන දුක, ඊර්ෂ්‍යාව, බය, වේදනාව, කලකිරීම, පිළිකුල වැනි හැඟීම් නිසාද කෝපය හටගැනීමට පුළුවන. වැඩිහිටියන් කෙසේ වුවත් කුඩා දරුවන්ගේ මනස තවමත් ස්වයංපාලනයෙන් තොර වීම නිසා මේ කුමන තත්ත්වයේ වුවද කෝප ගැනීම මෙන්ම අවට සිටින්නන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරීමද සිදුවිය හැක. එනිසා ඔවුන්ට සැබෑ තර්ජනයක් එල්ල නොවී අනිසි ලෙස කේන්ති ගන්නා අවස්ථාවලදී ඒවා හඳුනාගෙන තත්ත්වය පාලනයට දරුවට උදව් වීම දෙමව්පියන්ගේ යුතුකමකි.

සාමාන්‍යයෙන් අප යම් තර්ජනයකට ලක්ව කලබලයට පත්වූ විට නොඑසේනම් නොසන්සුන් වූ විට සිරුරේ නිපදවෙන ඇම්රිනලීන් හෝමෝනයෙන් සහ සිදුවන අනෙකුත් රසායනික විපර්යාස මගින් ස්වාභාවිකවම අප සටන් කිරීමට හෝ එරෙහිව නැගී සිටීමට පෙළඹේ. නමුත් කුඩා දරුවන්ට එම තත්ත්වය වැඩිහිටියන් මෙන් දරාගැනීමට ඇත්තේ අඩු හැකියාවකි.පෙර පාසල් යන වයසේ පසුවන දරුවෙකුගේ සිට මෙම තත්ත්වයන් දරාගැනීමට සමත්විය යුතු අතර එම හැකියාවැති දරුවන් තවදුරටත් අනුන්ට රිදවීමකින් තොරව ජිවත් වීමට ඉගෙන ගනියි. එසේ නමුත් පවුලේ තම සහෝදර සහෝදරියන් සමග රණ්ඩු වීම ගහ බැන ගැනීම් තවදුරටත් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ.

- Advertisement -

දරුවන්ට කේන්ති යාම වළක්වාගැනීම සඳහා සුදුසු උපායන් යෙදීම සම්බන්ධව දෙමව්පියන් ලෙස ඔබ වඩාත් සලකිලිමත් විය යුතුය. උදාහරණයක් තම ප්‍රියතම සෙල්ලම් බඩුවක් පවුලේ සහෝදරයෙකු විසින් කඩාදැමූ අවස්ථාවක දරුවාගේ අනෙක් සෙල්ලම් බඩුද පෙර කී සහෝදරයට ළඟා වීමට නොහැකි ස්ථානයක තැබීමට දරුවා උනන්දු කල යුතුය. සාමාන්‍යයෙන් දරුවන් ප්‍රකෝපකාරී අවස්ථාවන්වලදී අනෙක් පාර්ශවය පිලිබඳ සලකා තමා පමණක් නිවැරදිය යන ප්‍රාථමික අවස්ථාවෙන් මිදීමට කාලයත් සමග පුරුදු වෙයි. නමුත් මුල් අවස්ථාවල එවැනි ප්‍රශ්න නිරාකරණය සඳහා දෙමව්පියන්ගේ මැදිහත්වීම වඩා වැදගත් වෙයි. එලෙස ගැටළු නිරාකරණය සඳහා යොමුවිය යුත්තේ දරුවන් සන්සුන් වූ විට පමණක් බව සිහි තබා ගත යුතුය. මෙය වසර ගණනාවක් පුරා ටිකෙන් ටික මගපෙන්විය යුතු තත්ත්වයක් නිසා ඔබේ ඉවසිමද ඉතා කල්පනාකාරී විය යුතුය. දරුවාට තරහ පිට කිරීමට බාධා නොවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරදීම මුලින් සිදුවිය යුතුය. ඉන්පසු විය යුත්තේ කේන්ති ගැනීමට හේතු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීමයි. මේ හරහා තමන්ගේ කේන්තිය පාලනය කරගැනීමට දරුවන්ට සාර්ථක මග පෙන්වීමක් ලැබේ.

දරුවන්ට කේන්තිය ඇතිකරවන හැඟීම් අත්විඳීමට අවස්ථාව සැලසීම මෙහි එන තවත් වැදගත් කරුණකි. දරුවට ඇති දැඩි ආදරය නිසා බොහෝ විට දෙමව්පියන් දුක බිය ඊර්ෂ්‍යාව වැනි හැඟීම් අත්විඳීමට ඉඩ නොදී ඒවායින් ආරක්ෂා කරයි. එය දරුවන්ට කරන අසාධාරණයකි. වරක් එවැනි හැඟීමක් අත්විඳි පසු ඊළඟ වතාවේ එය දරුවන්ට අලුත් අත්දැකීමක් නොවී සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එනිසා දරුවන්ට කරන සැබෑ ආදරය ලෙස හඳුන්වන්නේ එවැනි හැඟීම් අත්දැකීමට ලැබෙන අවස්ථා අහුරා නොතැබීමයි. දෙමව්පියන් විසින් එය දිගින් දිගටම වැළක්වුවහොත් ඒ හරහා කේන්තිය පමණක් හඳුනාගන්නා දරුවා අවසානයේ ඊට බලපෑ හේතුව නිරාකරණය කරගත නොහැකි වැඩිහිටියෙකු බවට පත්විය හැක.

කෝපය පාලනය කිරීම සඳහා වැඩිහිටියන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වන දරුවන් හඳුනා ගැනීමද මෙහිදී අතිශය වැදගත් කාරණාවකි. නිතර කේන්තියෙන් පුපුරමින් කෑගසන, තම සහෝදර සහෝදරියන්ට හැර පිටස්තර පුද්ගලයන්ට පහර දෙන, බඩු මුට්ටු විනාශ කරන, පලිගැනීමට පුරුදු වුන, තමාට අනතුරු කර ගැනීමෙන් අනුන් බියපත් කරන, අවස්ථාවට අනුව හැඩ ගැසීමට තේරුමක් නැතිව නිතර ගැටළු ඇති කරන, තමා හෝ අන් අය පිළිබඳව නිතර කෝපයෙන් පසුවෙන සහ මිතුරන් නැති, තමාට බාල දරුවන්ට පහර දෙන, සතුන්ට හිංසා කරන, වැඩිහිටි අවවාද ප්‍රිය නොකරන දරුවන් වෙත ඒ අනුව දෙමව්පියන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුය.

කේන්තිය පාලනය සඳහා දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්විය යුතුය. එසේනම් එය කරන්නේ කෙසේද යන්න දැන් ඔබට ගැටළුවක් මතුවේවි. එය මෙසේ සිතන්න. මෙහි එන අතිශය වැදගත්ම කරණය වන්නේ අපට දරුවන්ගේ ක්‍රියාවන් පාලනය කළහැකි වුවත් ඔවුන්ගේ සිතුවිලි පාලනය කල නොහැකි බවයි. එහිදී කුඩා දරුවෙකු තම හැඟීම් ප්‍රකාශ නොකර සිතේ සිරකරගත්විට ඒවා සවිඤ්ඤානිකව පාලනය කරගැනීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහී යන අතර ඉන් පසු ඒවා බොහෝවිට හිතුවක්කාර ප්‍රතිචාර ලෙස පිටතට පැමිණේ. එනිසා තමන්ගේ ආවේගයන් සහ හැඟීම් සන්නිවේදනය කිරීමට දරුවාට නිදහස ලැබුණහොත් ඒවා බොහෝ විට පහර දීමකට නොයා වචන මගින් පිට කිරීමට දරුවා පෙළඹේ.

කෝපයට පත් දරුවෙකුට තනිව සන්සුන් විය නොහැකිය. කුඩා දරුවෙකුට දෙමව්පියන්ගේ ආදරය අවශ්‍ය වන්නේ ඔබ නොසිතන, තේරුම්ගැනීමට නොහැකි අවස්ථාවක විය හැක.කෝපයට පත් දරුවෙකුට දරාගත නොහැකි මට්ටමින් දරදඬු දඬුවම් යොදාගැනීම අනුවණ ක්‍රියාවකි. උදාහරණයක් ලෙස කෝපයට පත් දරුවෙකුට දඬුවම් ලෙස තනිව කාමරයකට දමා සිටින්නට ඉඩ සැලැස්වීම නොකලයුතුය. එවැනි අවස්ථාවක තමා තනි වූ බවක් දරුවාට දැනෙන්නට ඉඩ ඇති අතර එය ඔහු තුළ පවතින ගැටලුව තව තවත් වැඩි කරලීමට සමත් වෙයි. තමාට තමාගේ පවුලේ අය සිට බවත් සියල්ල තමන්ට ආදරය කරන බවත් හඳුනාගත් විට දරුවන් ස්වාභාවිකවම තමන්ගේ කේන්තිය පාලනය කරගැන්මට පෙළඹේ.

පෙර සාකච්ඡා කල පරිදි දරුවන්ට හැඟීම් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දීමේදී දෙමව්පියන් සැලකිලිමත්විය යුතුය. නිදහස ලෙස එහිදී අදහස් කරන්නේ ප්‍රකෝපකාරී විනාශකාරී ලෙස හැසිරීම නොවේ. දරුවා කොතරම් කලබල වුවද අන් අයට පහර දීම තම සිමාවෙන් එපිට හැසිරීමක් බව දරුවාට ඒත්තු ගැන්විය යුතුය.එලෙසම ප්‍රකෝපකාරී අවස්ථාවල කෝප වීම, හැඩීම සාමාන්‍ය දෙයක් සේ ඒත්තු යන සේ දරුවා සමග පිළිසඳරක යෙදිය හැක. දරුවාව ආදරයෙන් ස්පර්ශ කරමින් ඔබගේ ආදරයේ වෙනසක් නැති බව පැවසීම ඔවුන්ව යථා තත්ත්වයට පත්කළ හැකි පහසුම ක්‍රමය වේ. එවැනි අවස්ථාවක දරුවා දෙමව්පිය ඇසුර ප්‍රතික්ෂේප කලද ඔවුන් හැර නොයන බවට සපථ වීමෙන්, ලඟින්ම හෝ පෙනෙන මානයක රැඳීමෙන් තත්ත්වය ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත්කරගත් හැකිවේ.

සංගීතයට සවන් දීම, කොට්ටයකට පහර දීම, හුස්ම ගැනීමේ අභ්‍යාස, කේන්ති ගිය කාරණාව කොලයක ලියා එය ඉරා දැමීම, ගණන් කිරීමේ අභ්‍යාස ආදී සාමාන්‍ය ක්‍රම කිහිපයක් කෝපාවිෂ්ට වූ විට සිදු කරන්නට දරුවා දැනුවත් කිරීම තමන්ගේ කෝපය පාලනයට දරුවාට ලැබෙන හොඳ අවස්ථාවක් විය හැක. දරුවෙකු කේන්තියෙන් සිටින අවස්ථාවක තරවටු කිරීම ඔවුන්ගේ නොසන්සුන් බව දෙගුණ තෙගුණ කරයි. වඩා හොඳ දේ තමන්ට ලැබෙන්නේ සන්සුන් වූ විට පමණක්ය යන අවබෝධය ලබාදීම නොසන්සුන් අවස්ථාවක තරවටු කිරීමකට වඩා වටිනාකමින් ඉතා ඉහල වේ. දෙමව්පියන් ලෙස ඔබද ඉතා ඉක්මනින් කේන්ති ගන්න අයෙක්නම් දරුවා ඔබව ආදර්ශයට ගැනීම වැලැක්වීම ඉතා අපහසු කාර්යකි. සාමාන්‍යයෙන් දුක, වේදනාව, බය, කලකිරීම වැනි හැඟීම් එතරම් භයානක නොවන බව දරුවා අවබෝධ කරගන්නේ එවැනි හැඟීම් ඉදිරියේ දෙමව්පියන් දක්වන ප්‍රතිචාරවලට අනුවටය. ඔබ ඒවායින් කලබලයට පත් නොවන විට දරුවන්ද එය සාමාන්‍ය දෙයක් සේ සලකන්නට පටන් ගනියි.

හැඟීම්වලින් අපහසුතාවට පත් නොවන දරුවන් කෝපයද එලෙසම පාලනය කර ගනියි. සමහර දරුවන් වැඩිහිටියන් කෙරෙහි දක්වන වැරදි ප්‍රතිචාර නිසා තම නොසන්සුන් හැඟීම් සන්නිවේදනයට මැලි වෙයි. දරුවන්ගේ හැඟීම් එලෙස අවඥාවට, අවතක්සේරුවට හෝ පිළිකුලට ලක් කිරීම වැරදි ක්‍රියාවකි. මෙලෙස තම හැඟීම් සන්නිවේදනයට ඉඩක් නොලබන දරුවා එම පීඩනය පිටකර හරින්නේ තම සහෝදරයන්ට දරුණු ලෙස පහර දීමෙන් විය හැක. තත්ත්වය එතරම්ම දරුණු වන බව ඔබට වැටහුනහොත් දරුවා උපදේශනය හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ.

දරුවන් වයසින් වැඩෙත්ම කේන්තිය ඇතිවන මුල් අවස්ථාව හඳුනා ගැනීමට ඔවුනට උදව් කිරීමට දෙමව්පියන් උත්සහ ගත යුතුය. එවිට එය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට දරුවට අවස්ථාව ලැබෙයි. පළමුව ඔබ උපකාර කලයුතු අතර පසුව තමාවම හඳුනාගැනීමට දරුවා ක්‍රමයෙන් පුරුදු වේ.

කෝපය පාලනය කරගත නොහැකි දරුවෙකු යනු සරලවම දුක, වේදනාව, ඊර්ෂ්‍යාව, කලකිරීම වැනි හැඟීම්වලින් බියට හා කරදරයට පත්වූ දරුවෙකි. මෙහි එන මූලික ගැටලුව වන්නේ එකී හැඟීම්වලින් ආරක්ෂා වීම සඳහා එවැනි දරුවන් කෝපය මෙවලමක් කොටගෙන තිබීමයි. මෙවැනි දුර්වලතා චිකිත්සා මගින් මගහරවා ගත හැකි අතර දෙමව්පියන්ගේ නිරන්තර අවධානයද වැදගත් වේ. එලෙස කිසියම් අසාමාන්‍ය කේන්තියක් දරුවා තුළ දිගින් දිගටම පවතීනම් වෛද්‍යවරෙකු හෝ සුදුසු උපදේශන සේවාවක් වෙත යොමු කර එම උපදෙස් අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත් වේ.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article