- Advertisement -

පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී

-

අපිට සාමා‍න්‍ය රෝගාබාධයක් හැදුනාම බේත් හේත් ගැනීමට පවුලේ වෛද්‍යවරයෙක් සිටිනවා. ඒ වගේම අපි දැන් බොහෝ සේ උනන්දු වෙන්නේ බේත් මාත්‍රා‍ එක දෙකකින් රෝගාබාධ සුවපත් කරන වෛද්‍යවරුන් ‍ගැනයි. ඇතැම් අවස්ථාවලදී එසේ ඉතාම ඉක්මනින් සුලු සුලු රෝගාබාධ වෙනුවෙන් සුවය ලබා දෙන වෛද්‍යවරුන් සිටියත් අපි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී සලකා බලන නිර්ණායකයන් මොනවාද….? මහනුවර රාජ්‍ය ඔසුසල විසින් ජනතාව දැණුවත් කරන පත්‍රිකාවක දැක්වෙන පරිදි අපි වෛද්‍යවරයෙක් තෝරා ගන්නා විට යොමු විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

ලියාපදිංචි වෛද්‍යවරයෙක්ද….?

වෛද්‍යවරයෙක් කියන්නේ අපේ ජීවිතය ගැන වගකීමකින් කටයුතු කළ යුතු චරිතයක්.ඒ නිසා ඔහුගේ සුදුසුකම් අනුව වෛද්‍යවරයෙක් විදිහට මහජන සේවය වෙනුවෙන් වූ ලියාපදිංචිය ලබා තිබෙනවාදැයි සලකා බැලීම ඉතාම වැදගත්.එසේ නොමැතිව ආකර්ශණීය ආයතනයක ආකර්ශණීය පෙණුම තිබුනාටම අපිට ඔහු වෛද්‍යවරයෙක් විදිහට පිළිගැනීමට බැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී එම තැනැත්තා ලියාපදිංචි ලත් වෛද්‍යවරයෙක්දැයි විමසා බලන්න.

- Advertisement -
කාරුණිකද…?

වෛද්‍යවරයෙක් කියන්නේ ගාම්භීර වගේම කාර්ය බහුල චරිතයක්.ඒත් වෛද්‍යවරයාගේ කාරුණිකබව ඉතාම වැදගත් වෙනවා. සමහර වෛද්‍යවරුන් සමග කිසිම දෙයක් කතා බහ කිරීමටවත් අපහසුයි.ඒ තරමටම ඔවුන් රෝගියාට සමීප වෙන්නේ නැහැ. ඇත්තටම රෝගියෙකුට අවශ්‍ය වෙන්නේ කරුණාවයි. සමහර රෝගීන් මේ විදිහට කියනවා ඔබටත් ඇහිලා ඇති….”අනේ ඒ දොස්තර මහත්යාගේ කතාවත් ඇති…නිකම්ම ලෙඩ හොද වෙනවා…”ඒ අන්දමින් වෛද්‍යවරයාගේ  කාරුණිකවීමත් ඉතා වැදගත් නිර්නායකයක්.

ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවාද…..?

වෛද්‍යවරයා ඉතා හොඳ සවන් දෙන්නෙක් වීම අවශ්‍යම කරුණක්. සමහර වෛද්‍යවරුන් රෝගියාගේ ප්‍රශ්න දෙස බලන්නේ හිරිහැරයක් විදිහටයි. ඒ වුනත් රෝගියාට ප්‍රශ්න රාහියක් තිබෙනවා. ඔවුන් ඒ හැම දෙයක් වෙනුවෙන්ම පිලිතුරු බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයාගෙනුයි. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා ඔබට හොඳ සවන් දෙන්නෙක් වීම ඉතාම වැදගත්. ඒ නිසා  පවුලේ වෛද්‍යවරයෙක් විදිහට ගණුදෙණු කරන විට හොඳ සවන් දීමක් සමග ඔබට යමක් විමසා දැන ගත හැකි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේ නිදහස ඔබට තිබෙනවා.

වෛද්‍යවරයා  කලබලකාරී චරිතයක් නොවිය යුතුයි…

වෛද්‍යවරයාගෙන් සිදු වෙන සුලු පමාව වුනත් විශාල ගැටළුවකට මුල පුරන්න පුලුවනි. ඒ නිසා ඔහු ඉතාම සන්සුන් මනසකින් කටයුතු කිරීමේ ගුණාංගයෙන් සමන්විත වීම වැදගත්. ඇතැම් වෛද්‍යවරුන්ගේ අනවශ්‍ය අන්දමින් පවතින කලබලකාරී ගති ස්වභාවය නිසා රෝගීන් අපහසුතාවයට පත් වීමට පුලුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා අනවශ්‍ය කලබලකාරී චරිතයක් නොවීමත් ඉතාම වැදගත්.

රෝගය සහ සුවපත් වීමට අදාල කරුණු ගැන දැණුවත් කරනවාද…?

බොහෝ විට රෝගීන් තමාගේ රෝගය ගැන නොදැණුවත්කම නිසාම එය තව දුරටත් සංකුලතාවයන්ට පත් වීමට වගේම රෝග තත්වය තවත් නරක අතට හැරෙනන්ට පුලුවනි. ඒ නිසා නිතරම වෛද්‍යවරයෙකුගේ කාර්යය විය යුත්තේ රෝග තත්වය ගැන වගේම සුවය ලැබීමට රෝගියා හැසිරිය යුතු අන්දම සහ රෝගය සමග කටයුතු කරන ආකාරය ගැන දැණුවත් කිරීමයි. ඔබේ වෛද්‍යවරා වෙතත් මේ ගුණාංගය තිබෙනවා නම් ඇත්තටම ඔබට කිසිම අපහසුවක් නොමැතිව රෝග සමග ගණුදෙණු කිරීමට පුලුවනි.

අත්අකුරු පැහැදිලිද…?

සාමාන්‍යයෙන් කියවා ගැනීමට අපහසු අත්අකුරු අපි හදුන්වන්නේ “වෙද අකුරු” විදිහටයි. ඉස්සර කාලයේ වෙදමහත්වරුන් විසින් ලියන ලද බෙහෙත් සීට්ටු වල ඇති අකුරු කියවා ගැනීම ඉතාම අපහසු වුණා. අද මේ තත්වය බටහිර වෛද්‍යවරුන් අතරත් තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඖෂධවේදීන් බෙහෙත් වට්ටෝරු කියවා ගන්නේ ඉතාම අපහසුතාවයෙන්. ඒ නිසා ඔබට වෛද්‍යවරයාගෙන් බෙහෙත් වට්ටෝරුව පැහැදිලි අකුරෙන් ලියන ලෙස ඉල්ලා සිටින්න පුලුවනි. එසේ නොමැති වුනොත් ඇතැම් විට මෙය කියවන ඖෂධවේදියාටත් අපහසුතාවයක් ඇති වේවි.

මිළ

වෛද්‍යවරුන් අතර මිළ තරගයක් ගොඩ නැගී තිබෙන්නේ ජනප්‍රියතාවය සහ විශේෂයෙන් රෝගහඳුනා ගැනීමට තිබෙන හැකියාව අනුවයි. ඒ නිසා මිළ ගැන තීරණය කිරීමේදී අපට වඩාත් වැදගත් වෙන්නේ අඩු මිළ නොව රෝග හදුනා ගැනීම සහ ඒ වෙනුවෙන් වූ ප්‍රතිකාරයන්හි සාර්ථකත්වයයි.

ඔබ වෙනත්  විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම…

වෛද්‍යවරුන් අතරත් එක් එක් රෝග වෙනුවෙන් විහේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. සාමාන්‍ය රෝගයක් නම් අවස්ථාවකදී හෝ දෙකකදී බෙහෙත් ලබා ගෙන සුවය ලැබීමට පුලුවනි. ඒත් මේ අවස්ථාවන්වලින් කිසිම සුවයක් නොලැබෙනවා නම් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම හෝ එසේ දැණුම් දීම ඉතාම වැදගත්. මේ ගුණාංගයෙන් ඔබේ ද්‍යෛවරයා පොහොසත්දැයි ඔබටම තේරුම් ගැනීමට ඉඩ තියෙනවා.

හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට පුලුවන්ද…?

මේ අවස්ථාව නම් තිබීම ඉතාම වැදගත්. අපි බෙහෙත් ගැනීමට යන විට තිබුන තත්වයට වඩා හදිසියේවත් තත්වය වෙනස් වුනොත් ඒ ගැන උපදෙස් හෝ වැඩිදුර ප්‍රතිකාරයක් වෙත යොමු වීමට නම් අපේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබිය යුතුයි. අද බොහෝ වෛද්‍යවරුන් තමන්ගේ සේවා කාලයෙන් පසුව කිසිම විදිහකින් සම්බන්ධ කර ගැනීමට බැහැ. අඩුම වහයෙන් දුරකථනයකින්වත් තොරතුරක් දැන ගැනීමට නොහැකියි. ඒ නිසා නිතරම හදිසි අවස්ථාවකදී අවශ්‍ය තොරතුරක් දැන ගැනීමේ පහසුකම් ඇති වෛද්‍යවරයෙක් තෝරා ගැනීමත් ඉතාම සාර්ථක ක්‍රියාවක්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article