චීන ජනාධිපති ‘‘ෂින් ජෙන් පෙන්ග් “ (Xi Jinping ) කුඩා කාලයේදි ඔහුගේ පියා මේ පුංචි පැටියා අනාගත ලෝකයේ නායකත්වය දරණ පුද්ගලයෙක් බවට පත් වෙයි කියලා හාංකාවිසියක්වත් දැන සිටියේ නැහැ. ඒත් ඔහුට අවශ්‍ය වුනේ තමාගේ දරුවා හොඳ මිනිසෙක් විදිහට ලෝකයට දායාද කිරීමටයි. ඒ වෙනුවෙන් පියා විසින් චීන ජනාධිපතිවරයාට බාල කාලයේදී ලබා දුන් දැනමුතුකම් ගැන ඔහු අදටත් කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්.
ජනාධිපතිවරයා කුඩා කාලයේ අද වගේ ආහාර සුලබ නැහැ. ඒවගේම ඇතැම් ආහාර සුඛෝපභෝගී විදිහටත් සීමා වී තිබුනා. අපිට අද නම් බිත්තර ඉතාම සුලබ සහ ආර්ථික අතින් ලාබදායී පෝෂන ප්‍රභවයක් වුනත් එදා බිත්තර කියන්නේ බොහොම සුඛෝපබෝගී සහ නිතරම ආහාරයට නොගත් වටිනාකමින් ඉහළ තත්වයක තිබුණා.
දවසක් ඔවුන්ගේ ආහාරය මව විසින් පිලියෙල කරල මේසය උඩ තිබුණා. එක් ආහාර පිඟානක බිත්තරයක් තිබුණා. පුංචි පැටියා දුවල ගිහින් තාත්තාටත් ඉස්සරින් බිත්තරය තිබුන පිගාන අතට ගත්තා. තාත්තයි පුතයි මේ විදිහට බත් කන අතරවාරයේ පුතාට පෙනුනේ තාත්තාගේ පිගානේ බිත්තර දෙකක් තිබුන බවයි. ”තාත්තාගේ පිගානේ බිත්තර දෙකක්….” පුංචි පුතා ඇහුවා…
ඔව් පුතේ අපි ඇසින් දකින දෙයට වඩා ඇතුලත තිබෙන දේ වටිනවා වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම තමන් ගැන විතරත් හිතන්න එපා.
පුතා බිත්තරය තිබුන පිඟාන ඉක්මනට ගිහින් බදා ගත්තේ ඔයා ගැන හිතලයි. තාත්තාට නැති වුනත් මට බිත්තරය කන්න පුලුවන් කියන සිතුවිල්ල නිසා ඔබ ඉස්සර වුනා. ඒත් පුතේ අපි ආත්මාර්ථකාමී වීමෙන් සමහර වෙලාවට අපිටම එයින් පාඩු සිද්ධ වෙනවා. හරියට මයෙ පුතාට බිත්තර දෙකක් කන්න තිබුන අවස්ථාව අහිමි වුණා වගෙයි නේද…? තාත්තා කිව්වා.
තවත් දවසක මේසයේ බත් පිගන් දෙකක් තිබුණා. එක පිගානක බිත්තරයක් තිබුණා. අනිත් පිඟානේ බිත්තරයක් නැහැ. දැන් පුංචි පුතාට එදා අත්දැකීම මතකයිනේ.. ඔහු බිත්තරය නැති පිගාන අතට ගත්තා. එදා තාත්තාට වගේ මටත් දැන් පිගාන අන්තිමෙන් බිත්තර දෙකක් පෑදෙයි කියල පුංචි පුතා හිතුවා. දැන් බත් සේරම අවසානයි. ”ඒත් කෝ ….එදා තාත්තාට වඩා බිත්තර දෙකක්…” පුංචි පුතාට හිතුනා…
තාත්තේ මේ පිගානේ අවසානයට බිත්තර දෙකක් තියා එකක්වත් නැහැ. පුංචි පුතා කිව්වා..
පුතා බිත්තර නැති පිගාන අතට ගත්තේ එදා මගේ පිගානේ වගේ බිත්තර දෙකක් ඇතැයි කියල හිතාගෙනද…? තාත්තා ඇහුවා.
ඔව් පොඩි එකා ඇත්තම කිව්වා.
පුතේ ජීවිතයත් එහෙම තමයි. අපි ලබන අත්දැකීම් හැම වෙලාවේම එක වගේ නැහැ. එක වතාවක් වැටුනොත් නැවතත් අපිට වැටෙන්න තිබෙන අවස්ථාවන් නැතුවාම නොවෙයි. සමහර විට අපි රැවටෙනවා. මුලින්ම පාඩමක් ඉගෙන ගත්තත් අපිට නැවත වරදින්න තිබෙන අවස්ථාවන් නැතුවා නොවෙයි. එදා බිත්තරය නැති පිගානේ අවසානයට බිත්තර දෙකක් තිබුනත් හැම අවස්ථාවක්ම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි වැරැදි වැරැදි ඉගෙන ගන්න ඕන ඒක හරියට අද පුතාට වැරදුනා වගේ පාඩමක්..තාත්තා කිව්වා..
ඔන්න තවත් දවසක් මේසය උඩ බත් පිඟන් දෙකක් තිබුනා. එකක බිත්තරයක්…අනෙක් පිඟානේ බිත්තර නැහැ. එදා පුංචි පුතා ඉස්සර වුනේ නැහැ. තාත්තා බත් පිගාන ගන්න තෙක් හිටියා. තාත්තා ඇවිත් බිත්තරය තිබුන පිගාන ගත්තා. දැන් ඉතිරි වෙලා තිබ්බේ බිත්තරය නැති බත් පිගානයි. පොඩි එකා හෙමින් සීරුවට ඒ බත් පිගාන අරගෙන කන අතරවාරයේ එහි අන්තිමට බිත්තර දෙකක් තිබෙනවා දුටුවා.
තාත්තේ…බිත්තර දෙකක්..පුතා කිව්වා..
ඔව් මගෙ පුතා හරි…අද පුතා ඉස්සර වුනේ නැහැ. මම පිගාන ගන්නකම් හිටියා. තරගයේදී වුනත් පුතේ පරාර්ථකාමීත්වය තියෙනන්ම ඕන. දැන් පුතාටම තේරෙනවා ඇති නේද..? අද පුතා බිත්තර දෙකක බත් පිඟාන ලැබුනේ තරගය අතරේ යම් විදිහකින් පරාර්ථකාමී වුන නිසා නේද..? තාත්තා කිව්වා.