ලොව හොඳම ගුරුවරුන් දහදෙනා අතරට පත් යසෝදායි දරුවන් ගැන කියන කතා..

1987 වසරේ ශ්‍රි ලංකාවේ උපත ලද ‘‘යසෝදායි සෙල්වකුමරන් ‘‘ඔස්ට්‍රේලියාව බලා ගියේ ඒ වෙන විට මෙරට පැවැති දේශපාලන වාතාවරණය තුළ ජීවත්වීමට තරම් සුදුසු පරිසරයක් නොවුන නිසාය. ඒ වෙන විට ඇගේ වයස මාස 10 ක් විය. ඇගේ  පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වූ අතර මව ඒ වෙන විට සාමාන්‍ය ගෘහණියක් ලෙසින් තම පවුලේ කටයුතු වෙනුවෙන් කැපව සිටියාය. එහෙත් යසෝදායිගේ මව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියත් ඒ වෙනුවෙන් තේරීමේ අවස්ථාව නොමැති වූ නිසා ගිනුම්කරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තම අධ්‍යාපනික වටිනාකම් උපයා ගෙන සිටියාය. ඔවුන් මේ වෙන විට ජීවත් වුණේ පැරණි ගරාජයක් නිවසක් සේ සකස් කර ගෙනය.

1988 වසරේ සිඩ්නිවලට පැමිනි මේ පවුල මුලින්ම ජීවත් වනේ නගරයෙන් දුරස්ථව ‘හේ’ (Hay) පිහිටි ගම්මානයේය. ඇගේ මවගේද උත්සාහය සුළුපටු නොවීය. ඇය ඉංග්‍රිසි භාෂාව ඉගෙන එතැනින් පසුව වැඩිහිටි සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක සේවය කළාය. තම දියණිය වෙනුවෙන් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සහ මග පෙන්වීම මෙම දෙමව්පියන්ගෙන් ලැබුන නිසාම යසෝදායි සෙල්වකුමරන්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල් (Rooty Hill High School) නමැති පාසලේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූවාය.

ඇය 2010වසර අගභාගයේ පටන් බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල්හි සේවයේ නිරත අතර2009 වසරේදී  එම පාසලට ඇය මුලින් ම සම්බන්ධ වුයේ  විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලැබීමටයි. එතැන් පටන් ඇය එම පාසලේ අධ්‍යාපනයෙන් ලත් පන්නරය අද මේ තැනට පත් වීමට බලපෑ බැව් කෘතඥ පූර්වකව සදහන් කර සිටින්නීය.

අද වෙන විට  ඇය යසෝදායි ලෝකයේ හොඳම ගුරුවරුන් දහදෙනාගේ ලැයිස්තුවට එක්ව සිටින්නීය. මේ වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හොඳම ගුරුවරයාට පිරිනැමෙන අතර එම අවසාන උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. ලෝකයේ හොඳම ගුරුවරයා තේරීමේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) මගින්ය. කෙසේ හෝ වේවා දැන් යසෝදායි හොඳම ගුරුවරුන් දහ දෙනා අතරට එක්ව සිටින්නීය. මේ ගැන අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ ”ගුරු වෘත්තිය කියන්නේ, ඉතා ම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේ ම එය බලවත් වෘත්තියක්….දරුවන් වෙනුවෙන් කැප වුනාම අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් පවා අතපසු වෙනවා. ඒත් ඒ ගැන නියම ගුරුවරයා කිසිම විටෙක පසුතැවෙන්නේ නැහැ.”

  • දරුවා දිහා බැලිය යුත්තේ පංති කාමරයේදී පමණක් නොවෙයි…

යසෝදායි සදහන් කරන අන්දමට නියම ගුරුවරයා තම ශිෂ්‍ය දරුවන් ගැන අවධානය දක්වන්නේ පන්ති කාමරයේදී පමණක් නොවෙයි. පන්තියේදී වගේම එයින් එපිටදීත් අපි දරුවන් ගැන සොයා බැලීම වැදගත්. එහෙම වුනාම දරුවා ඉතා සාර්ථකව අධ්‍යාපනයට මුහුණ දෙනවා. සාර්ථක දරුවාගේ මම දකින පැහැදිලිම ලක්ෂණයක් තිබෙනවා. ඒ ඔවුන්ගේ වෙතින් පෙනෙන සතුට…නිව්සවුත් වේල්සයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන සැලසුම් අනුව දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද කීපයක් තිබෙනවා. ඒ අතරින්

  • සෑම ශිෂ්‍යයෙකුම හඳුනාගැනීම
  • වටිනාකමක් ලබා දීම
  • ඔවුන්ට රැකවරණය සැලසීම ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසා ගුරුවරයෙක් විදිහට අපි දරුවන්ගේ ලෝකයට සමීප විය යුතුයි. එහෙම වුනාම දරුවාගේ හිතේ විශාල ශක්තියක් ඇති වෙනවා විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් වුනාම ශිෂ්‍ය දරුවන් සමග එක්ව යන ගමනක් වුනොත් අධ්‍යාපනයත් සාර්ථකයි.

  • දරුවාට ඉලක්ක ලබා දීම

හැම පුද්ගලයෙකුටම ජීවිතය ජීවත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ඉගෙන ගන්නා දරුවන්ටත් ඉලක්කයක් අවශ්‍යයි. ගුරුවරන් විසින් මේ ඉලක්ක ගැන වගේම ඒ ඉලක්ක වෙත සමීප වෙන ආකාරය ගැනත් දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්.

  • දරුවන්ට දඬුවම් නොකොලොත්..

දඬුවම අත්‍යවශ්‍ය නැහැ. විනය ඇති වෙන්නේ අපි දරුවාට නැඹුරු වුනොත් වගේම එක් එක් දරුවා හඳුනා ගත්තොත් පමණයි. දරුවන් විවිධයි. ඒ නිසා අපි ඒ හැම දරුවෙක් වෙනුවෙන්ම වෙන් වෙන් විදිහට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන්ට දඬුවම් කිරීම අනුමත කරන්නේ නැහැ. ඒ වුනත්… ශිෂ්‍යයින් නුසුදුසු ආකාරයට හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නේ ඇයි කියන එක වටහා ගන්න ඕන. ඔවුන්ට ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජයගෙන ඉදිරියට යන්න උදව් කරන්න ඕන.

  • හැම දරුවෙක්ම එක විදිහට සාර්ථක නැත්නම්..

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේදී නවෝත්පාදන යොදා ගන්නවා. එවිට දරුවන්ට තිබෙන බාධක ඉවත් කර ගෙන හැම දරුවෙක් වෙනුවෙන්ම සාර්ථකත්වයක් ලැබෙන විදිහට අධ්‍යාපනයෙන් යම් මාර්ගයක් පාදා ගැනීමට පුළුවනි. මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ගුරුවරුන් වෙනුවෙනුත් විශේෂ වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කරනවා. විවිධ පර්යේෂණ කරමින් ඒවා අධ්‍යාපනයට අදාල කර ගෙන නිතරම දරුවා මුල් කර ගෙන අධ්‍යාපනය හැඩ ගසා ගන්නේ කොහොමද යන සංකල්පයට විශේෂ තැනක් දී තිබෙනවා.

බිබිසි පුවත් ඇසුරින්.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here