පුංචි කාලයේ පටන් ගහ කොළ සතා සිව්පාවා සමග බොහොම සමීප සම්බන්ධතාවයක් දරුවන්ට තිබෙනවා නම් එයින් ලොකුම වාසියක් ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙන අලුත්ම අදහසක්. අතීතයේ අම්මලාට නම් මේ වගේ ආරංචි ගැන කිසිම අමුත්තක් නැහැ. ඊට හේතුව ඔවුන් තමන්ගේ දුවා දරුවන් හදා වඩා ගත්තේ පරිසරයත් සමග බොහොම ලොකු සම්බන්ධතාවයකින් ඒ වගේම බැඳීමකින්. නමුත් අපි ගෝලීයකරණය වීමත් සමග පරිසරයෙන් නොදැනීම ඈත් වෙන්න පටන් ගත්තා. ඒ වුනත් මේ ඈත්වීම පැවැතුනේ දශක දෙක තුනක් වැනි ඉතාම පුංචි කාල සීමාවක පමණයි. දැන් අලුත්ම අධ්‍යනයන් මගින් මේ වෙනුවෙන් විවිධ පර්යේෂණ සිදු කර ගෙන සොයා ගත් අලුත් අදහස් දැන් අපේ අම්මලාත් දැන ගැනීමට කැමැත්තෙන් ඇති නේද…?මේ අධ්‍යයනය සිදු කරනු ලැබුවේ ඩෙන්මාර්ක්වල ආර්හස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. මේ අධ්‍යයනයේ ප්‍රධානී විදිහට ජීවන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටි (Kristine Engemann) එන්ජිමන් කටයුතු කරනු ලැබුවා.
ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී පෙනී ගියේ බාල කාලයේදී කොළ පැහැයට වැඩි කැමැත්තක් දක්වන දරුවන්ගේ අනාගතය ඉතාම යහපත් බවයි. මේ ගැන වැඩි අවධානයක් දැක්වීම අවශ්‍ය නිසාම මේ පිරිස විසින් ඔවුන්ගේ නියැදියත් විශාල පරාසයක් දක්වා වැඩි කරනු ලැබුවා.
කොහොම වුනත් ඩෙන්මාර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට මේ අන්දමේ පර්යේෂනයක් වෙනුවෙන් අවදානය යොමු වීමටත් බලපාන ලද හේතු කීපයක් තිබුණා. අපේ රටේ වගේම ඩෙන්මාර්කයේත් විශාල විදිහට ජනතාව ගම්බද සිට නගර දක්වා සංක්‍රමනය වීමට පටන් ගත්තා. 1985 වසරේ පටන් මේ ශීඝ්‍රතාවය වැඩි වීමත් සමග තවත් පැත්තකින් මේ නාගරික ප්‍රදේශවල වෙසෙන පිරිස් අතර මානසික සංකුලතාවයන් වැඩි විමේ ප්‍රවනතායකුත් පැහැදිලිවම දැක ගන්න ලැබුනා.
එහිදී පැහැදිලිවම පෙනී ගියේ මේ අතරින් ඔවුන්ගේ වයස අවුරුදු දහයක් වැනි බාල කාලය ගස්වැල් මල්පල බරින් පිරුන පරිසරයක ගත කළ පිරිස තුළ මානසික සංකුලතාවයන් ගැන ඒ තරම් ගැටලු සහගත තත්වයක් දකින්න ලැබුනේ නැහැ. නමුත් මේ විදිහට සංක්‍රමනය වුන දෙමව්පියන්ගේ දරුවන් මුලුමනින්ම කාලය ගත කළේ කොන්ක්‍රිට් වනාන්තරවල කිව්වත් වරදක් නැහැ.
මේ අධ්‍යයනය මගින් පර්යේෂකයන් විසින් අවධාරනයෙන්ම සඳහන් කරන්නේ දරුවන්ගේ ලෝකය ගස්, වැල්, මල් පලතුරු සමග ගෙවෙනවා නම් එය ඔවුන්ගේ මානසිකත්වයට වඩාත් හොඳ බලපෑමක් ලබා දෙන බවයි. නමුත් අද බොහෝ දෙමව්පියන් විසින් මේ ගැන ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන්ගේ බාල කාලය බොහොම සුන්දර වටපිටාවක ගෙවුනත් ඒ අත්දැකීම තමන්ගේ දරුවන්ට ලබා දීමට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන්නේ මේ වාසිය ගැන තවම නොදන්නා නිසා වෙන්න පුලුවනි.
එහෙමනම් තමන්ගේ අපුරු වූත්, ස්වබාවික හරිත වටපිටාවට වඩා නගරයේ කොන්ක්‍රිට් වනාන්තර සැපයි, සුබයි කියලා හිතනවා නම් දරුවන්ගේ නාමයට දැන් ඒ මානසිකත්වයෙන් ඔබ මිදෙන්න කාලය ඇවිත්. හැකි තරම් දරුවන්ට හරිත වටපිටාවක ජීවත් වෙන්න ඔබේ උදව් ලබා දෙන්න. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කොළ පැහැයෙන් මල පහ පිටවෙන විට කිව්වේ ගස් කොලන් දකිද්දී ඒ විදිහට සිද්ධ වෙන බවයි. මේ කතාවෙන් තේරුම් යන්නෙත් දරුවන් පරිසරයට මොන තරම් ප්‍රතිචාරයක් දක්වනවා කියන අදහසම නොවේද…?