- Advertisement -

ඔබේ යොවුන් දරුවාට මානසික පිඩා ඇතිවෙන්නේ මේ හේතු නිසයි

-

ළමා වියේ සිට තරුණ වියට පත්වන පරිවර්තන අවධිය ඉතා ආවේගකාරීය. පහසුවෙන් ගැටලු ඇති කර ගනී. එසේම  දෙමාපියන්ගේ පාලනයෙන් නිදහස අපේක්‍ෂා කරන සහ ඒ පිළිබඳව දෙමාපියන් සමඟ ගැටලු ඇති කරගන්නා අවධියකි. මෙම අවධියෙන් අපේක්‍ෂා කරන වෙනත් වෙනස් තත්ත්වයන් නිසා නව පුරුදු පුහුණු ඇති කර ගැනීමට සිදු වේ. තවද වැඩිහිටිවියට පත්වීමට ආසන්න වීමත් සමඟ ශාරීරික වෙනස්කම්වලට බඳුන් වීමද මානසික ව්‍යාකූල බවක් ඇති වීමට හේතුවක් වේ. මෙලෙස සිදුවන පරිවර්තනයන්ට අවශ්‍ය උපදෙස් හා හැඩගැසීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් නොලැබුණහොත් පහසුවෙන් බාහිර පුද්ගලයන්ගේ ගොදුරු වීම්වලට ලක්විය හැක. මෙම පීඩාකාරී තත්ත්වයන් ඇති වීම උදෙසා බලපාන කරුණු පිළිබඳව අපි සාකච්ජා කරමු.

අධ්‍යාපන

- Advertisement -

සමාජයේ පවතින අසීමිත අධ්‍යාපන තරඟය ළමුන හට මානසික පීඩා ඇති කරයි. සමහර අවස්ථාවලදී දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත දරුවන්ට තමන් අකමැති විෂයන් හැදැරීමට සිදුවීම අමතර පීඩාකාරී තත්ත්වයකි. හැකිතාක් මහන්සි වී කටයුතු කළද අධ්‍යාපන කටයුතුවලදී වැඩි පිරිසකගේ බලාපොරොත්තු කඩවන බව හා කැපකිරීම්වලට සරිලන ලැබීමක් සමාජයෙන් නොලැබෙන බව යෞවනයන් දකින නිසා සමහර විට ඔවුන් අධ්‍යාපනය පිළිබඳ කලකිරීමට පත්විය හැක.

අධ්‍යාපනය ළමාවියේ අත්‍යවශ්‍ය අංශයක් බව ඔබේ දරුවාට තේරුම් කරවන්න. අධ්‍යාපනය රැකියාවන් උදෙසාම නොව තම ජීවිතය සාක්‍ෂාත් කර ගැනීම සඳහා බව වටහා දෙන්න. අධ්‍යාපනය සාර්ථක කළ හැකි ක්‍රම කියාදෙන්න. දරුවාගේ ඉගෙන ගැනීම් සඳහා අවශ්‍ය සුදුසු පරිසර තත්ත්ව ලබාගැනීමට උත්සහ කරන්න. විභාගවලට සූදානම් වන දරුවන්ට කාලය  අනුව කටයුතු කිරීමට උනන්දු කරවන්න. ඉගෙන ගැනීමේ 3QSR ක්‍රමය දරුවාට හඳුන්වා දෙන්න.

Survey                 –           මතුපිටින් කියවීම

Question          –           ප්‍රශ්න තනා ගැනීම

Read                    –           පිළිතුරු සොයමින් කියවීම

Recall              –           ආවර්ජනය කිරීම

Review            –           නැවත විමර්ශනය

මිතුරු මිතුරියන් ආශ්‍රය

අධ්‍යාපන තරඟය තුළ ලකුණුවලට ඇති කෑදරකම නිසා ආත්මාර්ථකාමීත්වය වැඩි වී අනෝන්‍ය උපකාර කරගැනීමේ ගුණාංගය යටපත් වෙමින් පවතින අතරම තරඟකාරීත්වය තුල අවංක මිතුරන් නොලැබීම නිසා ඉන් ලද හැකි ප්‍රයෝජන නොලැබීම ද අවංක මිතුරන් නොමැති වීම තුල හානිදායක මිතුරන් ආශ්‍රයට පත් වීමෙන් වැරදි ක්‍රියා වලට පෙළඹීම වැනි තත්ත්ව තුළ සතුටුදායක ළමා කාලයක් නොලැබී යාමෙන් පහසුවෙන් ඇබ්බැහි වීම්වලට හා සියදිවි නසා ගැනීමට දරුවෙකු පෙළඹිය හැකිය.

ප්‍රේම සබඳතා හා ලිංගික ක්‍රියා

ළමුන් සමාජයෙන් ඉගෙන ගන්නා දේ හා අත්දකින දේ අත්හදා බැලීමෙන් අඩු වයසින් ප්‍රේම සබඳතා හා ලිංගික ක්‍රියා වලට අවතීර්ණ වේ. විවිධ මාධ්‍යයන් තුල දකින අසන දේ අනුව මෙම වයසේ ළමුන් තුළ ආශාවන් ඇති වීම හා ලිංගික හැඟීම් මතු වීම ඔවුන්ගේ විනයට බාධාවක් වී ඇත.

 ලිංගික අධ්‍යාපනය

 දෙමාපියන් වශයෙන් ඔබ කලින් සැලසුම් කළ ආකාරයට දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව දැනුම දිය යුතුය. පියා මඟින් පිරිමි දරුවන්ටත් මව මඟින් ගැහැණු දරුවන්ටත් මෙම දැනුම ලබාදීම සුදුසුය. දෙමාපියන් ලෙස ලබාදිය නොහැකි දැනුම ලබාදීමට සුදුසු පොත පත භාවිත කරන්න.

පළමුව ගැහැනු පිරිමි වශයෙන් වෙනස්කම් පවතින බව අඩු වයසින් තේරුම් කිරීම අරඹන්න. පළමුව උත්සහ කළ යුත්තේ ගැහැනු පිරිමි දරුවන්ගේ ක්‍රියාවල වෙනස්කම් ඇති බව තේරුම් කරවීමයි. ඊලඟ අවධියේදී ලිංගේන්ද්‍රිය හා අනෙක් කායික වෙනස්කම් තේරුම් කරදීමට පහසුවේ. අවු.6-7 වයස වන විට දරුවන්ට මෙම වෙනස තේරුම් ගැනීමට හැකි වේ.

වැඩිවියට පත්වීම

  • පිරිමි දරුවන් – වෘෂණ කෝෂ වර්ධනය, බාහිර ලිංගේන්ද්‍රිය වර්ධනය, ශරීරයේ රෝම වර්ධනය, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත හා කිහිලි, ඉකිලි රෝම වර්ධනය, මුහුණේ රැවුල, ක්‍රමයෙන් කටහඬ වෙනස් වීම, මුහුණේ කුරුලෑ ඇති වීම
  • ගැහැණු දරුවන් – පියයුරු වර්ධනය, ලිංගේන්ද්‍රිය, කිහිලි, ඉකිලි ආශ්‍රිත රෝම වර්ධනය, ඔසප් වීම

මානසික වෙනස්කම්

 වැඩිවියට පත්වීමේදී සිදුවන හෝමෝන ශ්‍රාවය නිසා දරුවන් තුල පෙරට වඩා වෙනස් සිතුවිලි, ක්‍රියා කලාප ඇති වේ. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් සමඟ හැසිරීමේදී පෙරට වඩා වෙනස් ආකාරයේ හැඟීම් ඇති වන බව දෙමාපියන් වටහා ගත යුතුය. මෙම තත්ත්වය වටහා නොගැනීමෙන් සමහර දරුවන් අඩු වයසින් ලිංගික ක්‍රියා වලට පෙළඹේ. එසේම දරුවන්ට ලිංගික ක්‍රියාවන් පිළිබඳව ආශාවන් පහසුවෙන් ඇති විය හැකි අතර ඒවා අවබෝධ කරදිය යුතුය. දරුවන් හට යොමු විය හැකි බාහිර ක්‍රියාවන් පෙන්වාදීම මඟින් ඔවුන්ව බොහෝ දුරට ලිංගික හැඟීම් ඔස්සේ යාම අඩුකරගත හැක. අද සමාජයේ ඇසෙන දකින දේවල් අනුව මෙවැනි ලිංගික හැසිරීම් පාලනය කරගැනීමට ඉතා අපහසු කාර්යයන් බව වටහා ගත යුතුය. එසේම යෞවන යෞවනියන් ගොදුරු කරගැනීමට මාන බලන පිරිසක් සමාජයේ සිටින බව අවබෝධ කරදිය යුතුය. මේ නිසා ඔබ දරුවන්ට අනුකම්පා සහගතව උපදෙස් දිය යුතුය. දරුවෙකු ලිංගික අධ්‍යාපනය ලැබිය යුත්තේ දෙමාපියන්ගෙන් මිස මඟ තොටේ සැරිසරන පුද්ගලයන්ගෙන් හෝ වෙළඳපොලේ අසභ්‍ය පත්තර වලින් නොවිය යුතුය. අවාසනාවකට මෙන් සමහර දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අධික වීම නිසා එවැනි දරුවන් ලිංගික ක්‍රියාවලින් ආරක්‍ෂා කරගැනීමට අමතර වෙහෙසක් ගැනීමට සිදු වේ.

ප්‍රේම සබඳතා හා ප්‍රතිඵල

ළමා වියේ කුතුහලය ඇති කරන අත්දැකීම අඩුවීම නිසා සුන්දර පැති පමණක් දැකීම හා සමාජයෙන් එන සුන්දරත්වය බලාපොරොත්තු වීම නිසා මෙම කටයුතු වලට පහසුවෙන් පෙළඹේ. සමකාලීනයන් නිතර මේ පිළිබඳව කතා කිරීම එවැනි සබඳතා නැති අයව සමච්චලයට ලක් කිරීම නිසා පහසුවෙන් මෙම තත්ත්වය පෙළඹේ. මෙවැනි ක්‍රියා නිසා ඇති වන මානසික ව්‍යාකූලභාවය මඟින් අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකි වීමෙන් විභාග අසමත් වීම සිදු විය හැක. නුසුදුසු ක්‍රියා වලට පෙළඹීමෙන් පවුලට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරයි. අත්දැකීම් අඩු නිසා පහසුවෙන් රැවටීමත්, දෙමාපියන් සමඟ මෙවැනි දේ සාකච්ඡා කළ නොහැකි නිසාත් ජීවිතයම විනාශ විය හැක. දෙමාපියන් සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතු අතර නිතර දරුවා සමඟ සෙවිල්ලෙන් සිටිය යුතුය. දරුවා යම් වරදක් කර ඇති බව හැඟේ නම් එය හොඳින් තේරුම් කරදෙන්න. දරදඬු ක්‍රියා මාර්ග වලින් දරුවා ඔබෙන් ඈත් වේ.

ඇබ්බැහි වීම හා වළක්වා ගැනීම

වර්තමාන සමාජයේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්බීම වැනි ක්‍රියාකාරකම්වලට සමාජයේ ප්‍රතිචාර වෙනස් වීම හා මාධ්‍යයේ පෙන්වන සමාජ රටාවන් නිසා ඇබ්බැහි වී ඇත. නමුත් මිලදී ගැනීමේ හැකියාව හා නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව මේවා සමාජයේ සුලබ වේ. මේ හේතු මත ලබා ගැනීමේ පහසුව නිසා ඇබ්බැහි වීම ඉක්මන්ය. සාමාන්‍යයෙන් යෞවන වියේදී ඇති වීරත්වය ලබාගැනීමට, සම වයස් කණ්ඩායම අතර සමච්චලයෙන් බේරීමට, දුම්පානය, මත්පැන් පානයට දරුවන් පෙළඹේ. මානසික කලකිරීම්වලදීද මේවාට ඇබ්බැහි වේ. පවුල් ආරවුල්, පියාගේ බීමත්කමද හේතු වේ. ඔබගේ දරුවා ජීවත්වන පරිසරයේ මේ කරුණු වෙත දක්වන ප්‍රතිචාරය ඒ කෙරෙහි යොමු වීම තීරණය කරයි. නිවසේ සාදවල මත්පැන් පානයත්, ලැබෙන ස්ථානය, නිවසේ වැඩිහිටියන් දුම්පානය මෙයට හේතු වේ. දරුවන් අතර අනිසි මුදල් ගැවසීම, ආශ්‍රය කරන මිතුරන්ගේ ක්‍රියා කලාපද මේ තත්ත්වයට හේතු වේ.

මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් ඔබ දරුවාට හැකිතාක් දුරට ආදර්ශයක් ලබාදිය යුතුය. ඉහත තත්ත්ව තේරුම් ගෙන ඉන් ඔබේ දරුවා ආරක්‍ෂා කරගන්න. මෙවැනි දේවල් වලට පොළඹවන ආවස්ථා වලට ඔබේ දරුවා සහභාගී කරවීම අඩු කිරීම හෝ ඒ සඳහා අවධානය පවත්වා ගන්න. දරුවා යම් ඇබ්බැහි වීමකට ලක්වී ඇතැයි සිතුනොත් හොඳින් කතා කර අනිසි ප්‍රතිඵල පැහැදිලි කරදී එම වැරැද්ද නවතා දමන ලෙස ඉල්ලන්න. සෑම විටම දරුවාට විනෝද වීමට හැකි වෙනත් අවස්ථා ලබාදෙන්න.

යෞවනයේ වීරත්වය

යෞවනයේ පවතින නිරෝගී ලක්‍ෂණයන් වන දෙවෙනි නොවීමේ ආශාව නිසා බොහෝ යෞවනයන් නුසුදුසු විනාශකාරී ක්‍රියා වලට යොමු වේ. වීරත්වය අපේක්‍ෂා කිරීමේ මෙම ගුණාංගය සමහර වැඩිහිටියන් තම සමාජ විරෝධී කටයුතුවලට දරුවා යොදා ගැනීමට භාවිත කරයි. දෙමාපියන් ලෙස දරුවා විෂය බාහිර ක්‍රියාවලට යොදවා ඒ තුලින් වීරත්වය ලබාගැනීමට අවස්ථාව සැලසීම වඩාත් උචිත බව ඔබට වැටහෙනු ඇත. එසේම ජය පරාජය හමුවේ එක සේ සිටින්නට දරුවාට උගන්වන අතරේ ජය හමුවේ මෙන්ම පරාජය හමුවේත් ඔබේ දරුවාට එක සේ ආදරය කරන්නට දෙමාපියන් වන ඔබ  හුරු වෙන්න.

ඔබේ දරුවාට නිරෝගී යොවුන් දිවියක් හිමි කර දීම වෙනුවෙන්,

  • ළදරු වියේ සිටම නිසි ලෙස ළමා හුරු පුරුදු වර්ධනයක් පවත්වා ගන්න
  • නිරෝගී පවුල් පරිසරයක් පවත්වා ගන්න
  • සුදුසු කාලවලදී සුදුසු දැනුම හා අවබෝධය ඇති කරවන්න
  • නිරතුරුව සෙවිල්ලෙන් සිටීම හා ඇසුරු කරන මිතුරන්ගේ දෙමාපියන්ද හඳුනාගෙන සිටින්න
  • කාලය ගත කිරීමට සුදුසු ක්‍රම පෙන්වා දීමහා ඊට අවස්ථාවක් ලබාදෙන්න
  • අනවශ්‍ය ලෙස දරුවාට මුදල් දීමෙන් වළකින්න
  • පීඩාකාරී බවින් තොරව අධ්‍යාපනය ලබාදීමට ක්‍රියාකරන්න

දරුවෙකුට යහපත් වටපිටාවක් සමගින් දුක සතුට යන දෙකම සමබරව අත්විදිමටත් ඒ හරහා ලබන අත්දැකීම් තුලින් ජීවිතය ජය ගැනීමටත් දෙමාපිය ඔබේ උපරිම සහයෝගය ඔවුන්ට අවැසි බව වටහා ගන්න.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article