ජාතික හෝ වෙනත් කුමන හෝ ආපදාවක් ඇති වුන තැනදී අපි ජාතික සමගිය ගැන කතා කරනවා. කවි, ගීත ලියනවා. මාධ්‍ය ඔස්සේ දැනුවත්වීම් ලබා දෙනවා. ඒත් කාලය සමග ඒ සමගිය ගැන හැඟීම අවසාන වෙනවා. ඒත් ජාතික සමගිය ගැන හැඟීම බාල කාලයේ පටන්ම දරුවන්ගේ මනසේ ගොඩ නගන්න පුලුවන් නම් අපිට කාලයෙන් කාලයට පමණක් මේ ගැන කතා කිරීමට සිද්ධ වෙන්නේ නැහැ.
තමන්ට ආදරය කරන්න
දරුවාට බාල කාලයේ පටන්ම තමන්ට ආදරය කරන්න පුරුදු කරන්න. ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ට ආදරය දක්වන්න. එවිට දරුවා ආදරය කියන්නේ කුමක්දැයි හදුනා ගනු ඇති. තමාට ආදරය නොකරන කෙනෙක් තවත් අයෙක් වෙනුවෙන් ආදරය දැක්වීම යනු අදහා ගැනීමටත් බැරි දෙයක්. සාපරාධී කටයුතුවල යෙදුන බොහෝ දෙනෙකුගේ බාල කාලය පවා ඉතාම අමිහිරි අත්දැකීම් මත ගෙවී තිබෙනවා. එයින් පෙනී යන්නේ ඔවුන් ආදරය ගැන කිසිම අත්දැකීමක් නොලද නිසා තමන්ට ආදරය කිරීමටවත් නොදන්නා බවයි.
හොඳ ගතිගුණ කියා දෙන්න..
දරුවන් කියන්නේ හෙට දවසේ නායකයන්. ඒ නිසා අපි ඔවුන් ලෝකයට දායාද කළ යුත්තේ වඩාත් හොඳ ගතිගුණ සමගයි. වෛරය නොව දයාව දරුවන්ට උගන්වන්න. මේ දිනවල වුනත් අනෙකාට වෛරයට වඩා දයාවෙන් සැලකීමට කියා දෙන්න. ඒ හැර අනෙකාට වෛර කිරීමේ බීජ වපුරන්න එපා. පසුගිය පාස්කු ඉරිදා සිදුවීම ගැන මහනුවර සියඹලාගස්තැන්න කතෝලික පල්ලියේ හෝක ප්‍රකාශ බැනරයේ වෙනත් ස්ථානයන්හි මෙන් කෘර, ම්ලේච්ඡ, අධම වැනි විශේෂණ පද නොවීය. තම සහෝදර අගමිකයන්ගේ වියෝවය වෙනුවෙන් වූ සටහන මෙසේය.
ස්වාමින්වහන්සේ දුන් සේක…ස්වාමින්වහන්සේ ගත් සේක..අපගේ සාතිශය ශෝකය..
මෙහි වෛරයේ ගිනිසිලු කිසිත් නැත. අපි දරුවන්ටත් විවිධ ජනවාර්ගිකයින් සමග ජිවත්වීමේදී වෛරය වෙනුවට දයාවෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ කලාව පෙන්වා දීම ඉතාම වැදගත්.
සමාව දෙන්න පුරුදු කරන්න..
විශාල වරදක් කර සමාව ඉල්ලීම සාධාරණ නොවන බවට දැන් මත ගොඩ නැගුනත් දරුවන්ගේ මනසට එවන් සිතුවිලි වෙනුවට ඇවැසි තැන සමාව දීමේ ගුණය පුරුදු කරන්න.අපිටත් කවදා හෝ දිනක වැරදීමට හැකි බවත් අමතක කරන්න එපා. එදාට අපිත් කාගේ හෝ හව්හරණක් වෙනුවෙන් සහය පතනු ඇත. දැන් සිදු වූ ව්‍යසනය සිදුවී අවසාන නමුත් හෙට දවස බාරගන්නා දරුවන්ට සහජීවනයෙන් ජීවත්වෙන කලාව ඉගැන්වීම අවශ්‍ය වෙනවා. එය එක් පැත්තකින් පමණක් කිරීමට නොහැකියි. එය හැම අම්මා කෙනෙක් හැම තාත්තා කෙනෙක් විසින් තමාගේ දරුවන්ට කියා දිය යුතු පාඩමයි.
කිසිම කෙනෙක් පීඩාවට පත් කරන්න එපා..
අද පංතියේ පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා පවතින බියගැන්වීම, වධ දීම, මානසිකව බිද දැමීම වැනි අප්‍රසන්න කටයුතු සමාජගත රැල්ලක්ව පවතී. ඒ නිසා පුංචි වයසේ පටන්ම තම සමවයස් කණ්ඩාමෙන් පවා එල්ල වෙන විවිධ අකටයුතුකම් නිසා දරුවන් මහත් පීඩනයට පත්ව සිටිති. ඒ නිසාම එහි ප්‍රතිචාර හෙට දවසේ සමාජයට ලැබෙන්නේ පලිගැනීම් ලෙසින්ය. ඒ නිසා නිතරම දරුවන්ට තවත් අයෙක් බියවැද්දීම, හිරිහැර කිරීම වැනි කටයුතු නොගැලපෙන බැව් තරයේ පහදා දෙන්න. සමාජගතව සිටින්නේ මිතුරන් මිස කිසිදු තරාතිරමක් දරුවන් ලෙසින් ඔවුන් අතර නොමැති බැව් පහදා දීම දෙමව්පිය ගුණයකි. එවිට හෙට දවසේ සමාජගත වෙන පරම්පරාවටවත් සහනයෙන් ජීවත්වීමට ඇවැසි පරිසරයක් නිර්මානය වෙනු ඇති.
ධනාත්මකව හිතන්න..
දරුවන්ට බාලකාලයේ පටන්ම ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ…කියනු වෙනුවට අපි නැවත නැගී සිටිය යුතුය යන ධනාත්මක බව හිතේ ආරෝපණය කිරීමට උනන්දු වෙන්න. ආයේ නම් ඉතින් අපිට ආත්මයක් නැතැයි දරුවන් ඉදිරියේ කීම වෙනුවට හෙට දවස යහපත් වේවි යන සංකල්පනාවෙන් ඔවුන් සවිබල ගන්වන්න.