13+ දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද කියා හරියටම දන්නවාද?

මත්ද්‍රව්‍ය ගැන ඉතිහාසය අදින් වසර දහස් ගනනාවක් තරම් දුර අතීතයකට අයිතියි. ඊජිප්තුව, චීනය වැනි රටවලත් වසර හත්දහසකට පමණ අතීතයකදී මත්ද්‍රව්‍ය  භාවිත කළ බවට වාර්තාවන් තිබෙනවා. ඉන්දියාවේ වසර 2700 කට පමණ පෙරාතුව මත්ද්‍රව්‍ය  භාවිත කර තිබෙනවා. ඔවුන් ඒවා සකස් කර ගත්තේ හාල් සේදූ ජලයෙන්. ඒ වගේම බැබිලෝනියාවේ ”සුරා දෙව් දුව” පිදීමේ චාරිත්‍රයක්  පවා තිබී තිබෙනවා.

චීන ජාතිකයන්ට අබිං හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය විශාල උත්සාහයක් ගත්තා. ඒ නිසා ඔවුන්ගේ රටේ ධනය බ්‍රිතාන්‍යයට ඇදී ගියා පමණක් නොවෙයි, රටේ ජනතාවයත් අබිං නැමැති මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුනා. මේ කාලයේ සිටි ‘‘තවෝ තුවං “ අධිරාජ්‍යයා විසින් චීනයේ අබිං භාවිතය තහනම් කිරීමට උත්සාහ කලා පමණක් නොව ඔහු 1839 වසරේදී  බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට විවෘත ලිපියක් යවමින් විමසා සිටියේ ”අපි බ්‍රිතාන්‍යට තේ, පිඟන්මැටි වැනි වෙළඳ භාණ්ඩ ලබා දෙන විට අපට මේ අන්දමට විෂ මත්ද්‍රව්‍ය  ලබා දීම සාධාරණද යන්නයි…

මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද?

මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන, මානසික ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන සහ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කරන නීති විරෝධී දේ මත්ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුලුවනි.

මත්ද්‍රව්‍ය විදිහට හදුන්වන්නේ…

  • මද්‍යසාර- අරක්කු, බියර්, කසිප්පු
  • මරිජුවානා
  • පාලනයක් යටතේ පාවිච්චි කරන ඖෂධ
  • දුම්කොළ
  • සිගරට්
  • හෙරොයින්
  • අබිං
  • හසිස්

මීට අමතරව නම් ප්‍රසිද්ධ නොවූ බොහෝ දේවල් තිබෙන්න පුලුවනි. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය පෙති, කරල්, කුඩු, විටමින්, ටොපි, චුයින්ගම්, මුද්දර විදිහට බුලත් විට සහ එන්නත් විදිහටත් පාවිච්චි කරනවා.

මත්ද්‍රව්‍ය ගැන පුරසාරම් දොඩන දරුවන් ඒ ගැන කියන්නේ…

  • පාඩම් මතක හිටිනවා
  • අමුතු වින්දනයක්
  • සැහැල්ලුවක් දැනීම
  • ශක්තිය ලැබෙනවා…

මේ විදිහට ඔබේ දරුවා අතරම සිටින තවත් මතට යොමු වුන දරුවෙක් ඒ ගැන ආලවට්ටම් කතා කියන්න පුලුවන්. එහෙම කියන්නේ ඔබේ දරුවාත් මතට ගොදුරක් කර ගැනීමේ අදහසින්. ඒ වගේම මතට ඇබ්බැහි වුන දරුවන් සෙසු දරුවන්ට නින්දා කිරීමට පටන් ගන්නවා. බලහත්කාරයෙන් ලබා දෙනවා. මේ නිසාම දරුවන් නොදැනීම මතට ගොදුරක් බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ විවෘතව දරුවන් සමග කතා කරන්න. මතට යොමු වුනොත් සැබෑවටම ලැබෙන්නේ ඔවුන් කියන  නොව ලැබෙන  ආදීනව ඉතා දරුණු බව දරුවාගේ හිතට තදින්ම දැනෙන විදිහට කියා දෙන්න…

මත්ද්‍රව්‍යවලට යොමු වුනොත් මොකද වෙන්නේ?

ශාරිරික ලෙසින් මේ අවයවයන්හි දුර්වලතාවයන් ඇති වෙනවා.

  • වකුගඩු
  • අක්මාවමොළය
  • හදවත
  • පෙනහලු සහ ශ්වසන රෝග
  • මොළය

සමාජයීය වශයෙන්-

  • ප්‍රචණ්ඩයි.
  • ආවේගශීලියි.
  • නිරන්තර ගැටලු ඇති කර ගැනීම

පුද්ගල  සංවර්ධනයට ඇති බාධා-

  • සන්නිවේදන දුර්වලයි.
  • සංවේදන නැහැ
  • කිසිම උනන්දුවක් එහෙම නැත්නම් අබිප්‍රේරණයන් දුර්වලයි.
  • ඉච්චාභංගත්වයෙන් පසුවෙනවා.
  • මානසිකව බිඳවැටීම
  • හුදෙකලාව ප්‍රියකරනවා.

ආර්ථික වශයෙන්

  • තමාට ලැබෙන ආදායම තුළ මත්ද්‍රව්‍ය සදහා විශාල කොටසක වැය බරක් තිබීම.
  • මෙවැනි පුරුදු ඇති දරුවන් විවාහයෙන් පසුව වුනත් තමන්ගේ පවුලට වඩා මත්ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කිරීමට යොමු වෙනවා. දැනට හදුනා ගත් තෙරතුරු අනුව මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පද්ගලයෙක් ඔහුගේ ආදායමෙන් තුනෙන් එකක් පමණ මත්ද්‍රව්‍ය සඳහා වැය කරනවා. සමහර අයගේ මේ තත්වය ආදායමෙන් 50% ක් පමණත් වෙන්න පුලුවනි. ඒ වගේම මත්ද්‍රව්‍ය සදහා යොමු වුන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට රජයටත් විශාල වියදමක් දැරීමට සිදු වී තිබෙනවා.

වැඩිහිටියන් විදිහට දරුවාට සමීප වෙන්න පුලුවන් විධි

මත්ද්‍රව්‍ය වැනි අලුත් අත්දැකීමක් වෙනුවෙන් දරුවන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ඉහලයි. ඒ නිසා ගමක, පංතියක වැනි පුංචි සමාජයකින් මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන් පටන්ගැනීම ඉතාම වැදගත්.

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍ය ගන්නා අය ලස්සන වීරයන් විදිහට පෙන්නුවත් , මේ නිසා ඔවුන් අනාගතයේදී බන්ධනාගාරවල වගේම පුනරුත්තාපන මධ්‍යස්තානවල දුක්විදින බව අනිවාර්යෙන්ම පහදා දීම.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වීරයන් නොව, මනස දුර්වල මෝඩ චරිත බැව් කියා දෙන්න.

ඒ වගේම අපේ දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන වෙළදපොළ සපයන්නේ අමානුෂික වැඩිහිටියන්. සමහර විට පාසල ආසන්නයේ තියෙන පුංචි හෝ ලොකු වෙන්නත් පුලුවන් කඩ, ජංගම රථ මගින් අලෙවි කරන ටොපි, හෝ බුලත් වැනි දේ මත්ද්‍රව්‍ය විය හැකි බව කියාදෙන්න. ඒ වගේම පාසලේ දරුවන් ආරක්ෂා කරන සංගමයක් ගොඩ නගා ගැනීමත් ඉතාම වැදගත්. ඒ නිසා විදුහල්පති පෞරෂයත් මෙතැනට ඉතාම වැදගත්.

පාසලේ උත්සවයන්හිදී සහ බිග්මැච්වලදී මත්ද්‍රව්‍ය නිවාරනයේ වැදගත්කම ඉස්මතු කරන්න.

දරුවාට හෝ ඔහුගේ මිතුරෙකුට යම් කෙනෙක් මත්ද්‍රව්‍ය සේ සැලකෙන දෙයක් දුන්නොත් ඒ ගැන වහාම වගකිවයුතු කෙනෙකුට දැනුම් දෙන්න.

 මතින් නිදහස් රටක්- පත්‍රිකාව ඇසුරෙන් මහවැලි ජාතික අධ්යාපන විද්යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්යා චාන්දනී සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here