- Advertisement -

දරුවෙක් මතට යොමු වුනොත් එයින් මුදවා ගන්න බැරිද?

-

අද බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සමාජයේ අප්‍රසාදයට  පත්ව සිටිනවා. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සීඝ්‍ර‍යෙන් සිද්ධ වෙනවා. දරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනාම අපි ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු හදුනා ගන්නවා.

  • අම්මා හෝ තාත්තා විදේශගත වීම
  • තාත්තාගේ බීමත්කම
  • නූගත් පරිසරය

මේ විදිහට විවිධ හේතුපාඨ ගොඩ නගා ගත්තත් ඇත්තටම දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙන්නේ ඇයි…මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා..ඔහු මේ සංවාදයට මුප පිරුවේ මෙහෙමයි..

- Advertisement -

අපි පුංචිකාලයේ පන්දු ගහද්දී මුලින්ම නීති රීති ගොඩ නගා ගන්නවා. ඒත් හදිසියේම පන්දුව පිට්ටනියේ සීමාව පැනලා ඇලට වැටුනොත් අපි අයියාගෙන් එහෙම නැත්නම් මාමාගෙන් අහමු කියල වැඩිහිටි උපදෙසක් ලබා ගෙන ගැටුම එතැනින් අවසාන කරනවා.

අද දරුවන්ට…

අද දරුවන්ට තිබෙන වටපිටාව බොහොම යාන්ත්‍රිකයි. කිසිම ස්වාධීනත්වයක් නැහැ.අම්මා, අප්පච්චිගේ උවමනාවට හැසිරෙනවා මිසක දරුවාගේ නිදහසට කිසිම ඇගයීමක් නැහැ. අඩුම වශයෙන් දරුවාට උවමනා විෂය ධාරාවටවත් යොමු වෙන්න අයිතියක් දෙන්නේ නැහැ. අම්මාට අප්පච්චිට උවමනාව තියෙන්නේ දරුවා ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් දොස්තර කෙනෙක් කරන්න. ඒක බොහොම සාධාරණ සිතුවිල්ලක් වුනත් දරුවාට අවශ්‍ය ආදරය ආරක්ෂාව නොමැති වුනාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වීම වැනි සමාජ විරෝධී කටයුතුවලට යොමු වෙනවා.

ආර්ථිකයෙන් ශක්තිමත් පවුල්වල දරුවන් අතර මත්ද්‍රව්‍යවලට යොමු වීම …

මත්ද්‍රව්‍යවලට යොමු වෙන්නේ ආර්ථික අපහසුතාවයන් සහිත නූගත් දෙමව්පිය පරිසරයේ හැදෙන වැඩෙන දරුවන් කිව්වට එය නිවරැදි මානයක් නොවෙයි. අද මත්ද්‍රව්‍ය ගන්නා දරුවන් බොහොම ශක්තිමත් පවුල්වල දරුවන්. දෙමව්පියන් ඉතාම උගත්.අද මේ ඛේදවාචකය  ද මොන තරම් අවාසනාවක්ද කිව්වොත් පුතාට කුඩු ගන්න අම්මා සල්ලි දෙන තරමටම පිරිහුනු සමාජයක් ගොඩ නැගිලා. අම්මා මේක කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ඒත් පුතාට කුඩු නැතුව ජීවත්වෙන්න බැරි බව අම්මා දන්නවා.

මේ තත්වයෙන් දරුවා මුදවා ගන්නේ නැත්තේ ඇයි….?

සමහර දෙමව්පියන් තමන්ගේ දරුවාගේ වැරදි සසමාජයට පෙන්වන්න කැමැති නැහැ.පුතා කුඩ්ඩෙක් කියලා රටේ ලෝකයේ අය හංවඩු ගහයි කියලා බයයි. මේ හිතේ අහංකාරය නිසා දරුවා තව තවත් වැරැද්දේම පැටලෙනවා. දරුවන් කොතැන හෝ වැරැද්දකින් මත්ද්‍රව්‍යවලට යොමු වෙලා අවසානයි. දැන් තියෙන්නේ දරුවා එතැනින් මුදවා ගන්න. ඒක දෙමව්පියන්ගේ වගකීමක්. නමුත් දෙමව්පියන්ගේ හිතේ තිබෙන පුහු සංකල්ප නිසා දරුවා මේ අවාසනාවන්ත තත්වයේම ජීවත් වෙනවා.

මව්පියන් දරුවාට සමීපව හිටියොත්…

දරුවන්ට තමන්ගේ ගැටලු බෙදා හදා ගන්න පිරිසක් අවශ්‍යයි. තමන්ට ආදරය කරන පිරිසක් ඇති බව දරුවා තේරුම් ගන්නවා. ගැටලුවක් ඇති වුනාම කතා බහ කරල හිත නිදහස් කර ගන්න පුලුවනි. ඒත් අද හැම නිවසකම ලොකුම ගණුදෙනුකරුවා විද්‍යුත් නාලිකාවන් සහ අන්තර්ජාලයයි. දරුවන් හුදෙකලා චරිත වීම ඉතාම භයානකයි.

දුෂ්කර ගම්මානයක අවුරුදු 13 ක පිරිමි දරුවෙකු විසින් අවුරුදු 11 ක ගැහැනු දරුවෙකු දූෂණය කරනු ලැබුවා. මේ අපයෝජනයේ හේතු හොයද්දී පිරිමි දරුවා කිව්වේ තාත්තා බලපු සී.ඩී තැටියකින් මේ විදිහේ දේවල් උගත් බවයි. ඇත්තටම ඒ පියා නියම පිතෘත්වයෙන් හැසිරුනා නම් අර ගැහැනු දරුවා විනාශ වෙන්නේ නැහැ.

තාත්තා කියන චරිතය බොහොම ගාම්භීර වෙන්න ඕන. අම්මා වුනත් එහෙමයි. ඉස්සර කාලයේ කියන්නා වගේ ඔවුන් තැන්පත් චරිත විය යුතුයි. තැන්පත් බව සමග දරුවන් වෙනුවෙන් තිබෙන යුතුකම් සහ වගකීම් හදුනා ගන්නවා. දරුවන් හුස්ම ගන්නා හැටි පවා තමන්ට දැනෙන තරමටම ඔවුන් දරුවන්ට සමීපයි. එතකොට වැරදි හැසිරීමක් වෙනුවෙන් දරුවන් යොමු වෙන්නේ නැහැ.

අද මව්පියන්ගෙන් මේ තත්වය ගිලිහෙන්නේ..

අතීතයේ තිබුන ජීවන රටාව අද නැහැ. ඒ තත්වය වෙනස් කරන්නත් බැහැ. කාර්යබහුල මේ ජීවන රටාවට අපි අනුගත වෙන්න ඕන. ඒ වුනත් අද දෙමව්පියන්ගේ ලොකුම අවධානය තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන පමණයි. අධ්‍යාපනය අවශ්‍යයි.

ජීවිතය තියෙන්නේ සිලබස් එකේ නොවෙයි…

කටපාඩම් කර ගත්තු විෂය කරුණු ගොනු කරලා විභාගය සමත් වුනා කියන්නේ ජීවිතය ජයගත්තා නොවෙයි. ඉගෙනුම සමග හැදියාව බද්ධ වෙන්න ඕන. අද මව්පියන් තරඟයට දරුවන් යොමු කරනවා මිසක එතැනින් එහාට කිසිම දෙයක් නැහැ. දරුවා දිහා බලන්නේ විභාග රාමුව ඉලක්ක කර ගෙනයි. මොන විදිහට හෝ විභාගය සමත් කිරීම මිසක ජීවිතය විදින්න දරුවාට අවසරයක් නැහැ.

මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන දරුවෙකු ගැන කටයුතු කරන්නේ…

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුන දරුවන් මුදවා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.

  • ආයතනගත
  • සමාජගත

ආයතනගත කිරීමේදී ඒ වෙනුවෙන්ම වූ ආයතන තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා යොමු වුන දරුවන් පුනරුත්තාපනය කිරීම මෙහිදී සිද්ධ වෙනවා.

සමාජගත කිරීමේදී දරුවා නිවසේ අය හෝ පවුලේ සමිප අයෙකුගේ නිවසේ සිටියදී සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන යමින් ඔවුන් ඒ කටයුතුවලින් මුදවා ගන්නවා.

ලෝකයට අවශ්‍ය වෙන්නේ සුචරිත දරුවෝ. ඔවුන් අද නොමග ගියත් හෙට සුචරිත පිරිසක් විදිහට සමාජයට එක් කර ගත යුතුයි. මේ නිසා දෙමව්පියන් විදිහට ඔබ හිතන්න. දරුවාගේ ජීවිතය තිබෙන්නේ විෂය මාලාවේ නොව අම්මා අප්පච්චි නම් වූ බලගතු චරිත වෙතයි.

මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article