මව්පියන්ගේ ආදරය දඋපතේ සිටම මිය යන මොහොත දක්වාම යමක් ඉගෙන ගන්නා අපි සර්වසම්පුර්ණ නොවන බව මින් පෙර ලිපියකදිත් සඳහන් කල බව ඔබට මතක ඇති. අන්න ඒ නිසාම කිසිම අයෙක් සර්ව සම්පුර්ණ මව්පියන් වීමේ හැකියාවක් නැහැ. මව්පියන් වශයෙන් අපි දැනුවත් වෙන්න වෙන්න සිදුවන්නේ දරුවන් කායිකව වගේම මානසිකවත් නිසි ලෙස වර්ධනය වීමයි. අපි ශාරීරිකව දරුවෙකුගේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන තැන මානසික සංවර්ධනයටත් ලබා දිය යුතු බව ඔබට බොහෝ තැනවලදී සිහිපත් කල බව මතක ඇති. ඇත්තෙන්ම කීවොත් වයස අවුරුදු 25, 28 තෙක්ම දරුවෙකුගේ මනස අපි කැමති හැඩයකට ඇඹිය හැකියි. එයට සුවිශේෂිව බලපාන්නේ දරුවන්ගේ අවට පරිසරය සහ පුද්ගලයන්ය. එතැනදී ප්‍රධාන වන්නේ දෙමාපියන්ය. නිරෝගී සමාජයක් වෙනුවෙන් තැබිය හැකි පළමු අඩිතාලම වන්නේ දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය ගැන දෙමාපියන් වන ඔබ නිවැරදිව දැනුවත් කිරීමයි.
උපතේ සිට මුල් අවුරුදු දරුවෙකුගේ මොලය විශ්වයක් වගේ නිර්මාණය වෙනවා. මිලියන ගනන් ස්නායු බිහිවෙන්නේ දරුවාට සිය දෙමාපියන්ගෙන් ලැබෙන උත්තේජනය( stimulation) මතයි. දරුවන්ට එවැනි උත්තේජන ලැබීමට නම්,
- මුහුණට මුහුණ බලා කතා කිරීම
- මුහුණේ ඉරියව් අනුගමනය කිරීම
- දරුවා සමග නිතරම සිනාසීම
- ඇස් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම
- උණුසුම ලබාදීම
- කුසගින්න/නිදිමත හෝ වේදනාවකදී අවශ්‍ය නිසි ප්‍රතිචාර දැක්විය යුතුයි.
දරුවෙකුගේ ජිවිතයේ මුල් අවුරුදු තුන ඇතුළත හිමි වන මේ ආදරය, උණුසුම, රැකවරණය පිරුණු මේ ප්‍රතිචාර මගින් ජීවිත කාලය පුරාම බැඳීමේ ස්වභාවය තීරණය කරනු ලබනවා.
” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ දේවල් අපේ වැඩිහිටියන් අතරෙන් ඔබටත් ඇහිලා ඇති.
ඒත් කලින් ලිපිවලත් සඳහන් කල පරිදිම ළදරැවෙක් කියන්නේ වැඩිහිටියෙකුගේ සහය, රැකවරණය නොමැතිව තනිව ගොඩනැගිය හැකි සත්ත්වයෙක් නොවෙයි. ළදරුවෙකුට මේ ලෝකේ තුල පවතින්න නම් බැඳීමක් තිබිය යුතු වන්නේ ඒ නොහැකියාව නිසයි. ළදරුවෙක්ට රැකවරණය නොලැබුණහොත් කායිකව මෙන්ම මානසිකවත් සිදුවිය හැකි විනාශ බොහොමයි.
දරුවෙක් හුරතල් කරන්න එපා, ඉඹින්න එපා කියන දුර්මතවලින් දරුවන් හා දෙමාපියන් අතර ඇති විය යුතු ආරක්‍ෂිත බැඳීම පලුදු වීම පමණක් බව ඔබට වැටහෙනවා ඇති. මේ තත්ත්වයට හොඳම උදාහරණයක් විදියට රුමේනියාවේ අනාථ දරුවන්ගේ කතාව දැක්විය හැකියි. ඒ දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් කර අනාථ නිවාසවල කිසිවෙකුගේ හෝ ආදරය, රැකවරණය නොමැතිව ඇති දැඩි වූවා. එහි ප්‍රතිපලයක් විදියට ඔවුන් තම හැඟීම් අවශ්‍යතා වගේම තවත් අයෙකුගේ දුකක් හෝ සතුටක් වටහා ගැනීමේ හැකියාවක් නොමැති පිරිසක් බවට පත් වූවා. මේ අනාථ නිවාසවල සේවයේ යෙදුණු පිරිස් පැවසු පරිදි මුලින් දරුවන් කොයිතරම් හඬා වැටුණත් කිසිවෙකුත් නොපැමිණි නිසා පසු කාලීනව ඔවුන් එය වටහා ගෙන හඬා වැටීම නතර කොට ඇත. මෙවැනි උදාහරණ අපේ ජිවිතවලට ලොකු පාඩම් කියා දෙන බව ඔබට වැටහෙන්නට ඇති. දරුවන් සහ දෙමාපියන් අතර බැදීම් (attachment) ආරක්ෂිත (secure) වගේම අනාරක්ෂිත (insecure) එකක් වෙන්නත් බොහෝ අවදානමක් තියෙන බවත් පොදුවේ අපේ සමාජය ගත් කළ පවතින බැඳීම් 60%ල ආරක්‍ෂිත වන අතරම 40 % අනාරක්ෂිතයි.
මොනවද මේ අනාරක්ෂිත බැදීම් ඒවා ඇතිවෙන්නේ කෙසේද?
උපතේ සිට අවුරුදු තුන වයස් සිමාවේ සිටින දරුවෙක් (බැඳීම්වල උපරිම වර්නධය සිදුවන කාලය) හඬන විට මව දරුවා අසලට නොයන්නේ නම් කාලයත් සමග දරුවා තම හඬා වැටීම නතර කර මව්වරුන්ගේ අර්ථ දැක්වීමට අනුව හොඳ දරුවෙක් බවට පත් වෙයි. එය එසේ වුවද මේ හරහා දරුවන් තුළ දුක, බිය, කේන්තිය, තරහ වැනි හැඟීම් යටපත් කිරීමට ඔවුන් හුරු වේ. එය සිය ජිවිත කාලය පුරාම ඒ ආකාරයටම සිදුවේ. මෙවැනි දරුවෙක් අනාගතයේදී තම සම්බන්දතා දෙස මෙන්ම ජීවිතය දෙසත් ඉතා හිස්බවකින් යුතුව බලන්නට හුරු වේ. එය ” avoidant attachment style ” ලෙස හඳුන්වනවා. මෙවැනි දරුවන් මානසිකව මෙන්ම පෞරුෂ වර්ධනයේදී නොයෙක් ගැටලු ඇති ය වන අතරම මත්පැන්, මත්ද්‍රව්‍ය වෙත යොමු වීමේ හැකියාව ඉහලයි.
එසේම මේ වයස් සිමාවේ දරුවෙක් වෙත යම් කිසි හේතුවක් නිසා සිය මව මනසින් දරුවා වෙත දක්වන අවදානය අඩුවෙනවා නම්, සමහර දරුවන් තම හැගීම් නොසලකා හරින්නත් ඇතැම් දරුවන් වැඩි අවධානයක් ගන්න පෙළඹෙන්නත් නැඹුරුතාවයක් ඇති විය හැකිය.
ප්‍රසුතියෙන් පසු මව්වරුන් මුහුණ දෙන Post Natal Depression (PND) තත්ත්වයේදී මවක් තම දරුවාගේ කායික සහ මානසික අවශ්‍යතාවන්ට දක්වන අවධානය අඩු විය හැකි නිසා (මෙහිදී මවක් තම දරුවාට දක්වන අවධානය අවම වන්නේ ඇය පත්ව සිටින මානසික තත්ත්වය නිසයි. PND යනු දරුණු රෝගී තත්ත්වයක් වන නිසාම ඇය මේ තත්ත්වයට පත්වනවා මිස දරුවා මගහරින්නේ හිතාමතා නොවෙයි. මෙහිදී සැමියා මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේ සහයෝගය ඇයට හිමිවීම අත්‍යවශ්‍ය වන අතරම මෙය නිසි ප්‍රතිකාර හමුවේ නිට්ටාවට සුව කළ හැකි රෝග තත්ත්වයකි) එවන් දරුවන්ගේ හිතේ ඇතිවෙන අවිනිශ්චිත සහ අනාරක්ෂිත ස්වාභාවය නිසා, ” anxious ambivalent attachment style’ කියන තත්ත්වය ඇති විය හැකියි. වැඩි වෙලාවක් දුරකතනයේ රැඳී සිටින මව්වරුන් අතින් දරුවෙකුව මගහැරෙන්න තියෙන අවධානමත් PND තත්වය නිසා ඇතිවෙන අවධානමට සමානයි.
උදාහරණ විදියට මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් තාවකාලිකව දෙමාපියන්ගෙන් වෙන්වන අවස්තාවලදී (පෙර පාසැල වෙත යනවිට) දෙමාපියන්ගෙන් වෙන්වීමට අධික අකමැත්තක් දැක්විය හැකියි. ඒ වගේම වයසින්ද වැදුණු දරුවෙක් නම් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, වැඩිහිටි වූ පසු සහකරුට හෝ සහකාරියට අනවශ්‍ය ලෙස බාධාවන ආකාරයෙන් ඇලී ගැලී සිටීම වැනි තත්ත්වයන් දැක්විය හැකියි. මේ හේතු මත සම්බන්ධතා අතර ගැටුම් පවා ඇති විය හැකියි. එය ජිවිතයට අසතුට ලංවීමට හේතු විය හැකියි.
දරුවෙකුට අධි ආරක්‍ෂිතයා මෙන්ම ආදී අනාරක්ෂිතයා වෙන්නෙත් තම දෙමාපියන්ම නම් දරුවෙකුට එවැනි වැඩිහිටියන් සමග බැඳෙන්නට වන්නේ ඉඩ අවිනිශ්චිත බවක් සමගිනි. එය Dis organised Attachment ලෙස හඳුන්වන අතරම මේ තත්ත්වය ඇති වන්නේ බියට පත්ව සිතිඅ දෙමපියගෙන් සහ දුටු විට බිය දනවන දෙමපියන්ගෙනි. උදාහරණයක් ලෙස තම ස්වාමියට බියෙන් ජීවත් වෙන බිරිඳක් දකින දරුවෙක් වගේම, අම්මට ගහල කෑගහන තාත්ත කෙනෙක් දකින දරුවෙක්ට ඇති වෙන්නේ Dis organised Attachment එකක්. මෙය දරුණු ආකරගේ පෞරුෂ ආබාධ වලට මෙන්ම මානසික රෝග තත්ත්වයන්ට හේතු විය හැකි තත්වයක්.
දැන් ඔබට වැටහෙනවා ඇති ” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ අපේ වැඩිහිටියන් අතරෙන් ඔබට ඇහුනු දේවල් ක්‍රියාත්මක කලොත් ඔබේ දරුවා පත් වන්නේ කොයි තරම් දුක්ඛිත තත්ත්වයකටද යන වග. දෙමාපිය ආදරය විඳීමට ලැබෙන අවස්ථාව තුලින් දරුවෙකුගේ ජීවිතයට එලිය වැටෙනවා මිස වරදක් නොවන බව දැන් ඔබට වැටහෙන්නට ඇති.
ළමයෙක්ගේ මුල් ළමාවිය අතිශයෙන්ම වැදගත්. දැන් ඉඳන් හිතන්න, ඔබේ අතින් දරුවාගේ මානසික වර්ධනයට හානියක් සිදු වී ඇත්නම් අදම එය නිවැරදි කරගනිමින් ක්‍රියාත්මක කරන්න. පුංචි දරුවන් ඉන්න මව්පියන් විදියට ඔබටත් මටත් කාලය තව ඉතිරි නිසාම ඒ කෙටි කාලය තුල හෝ ආදරය දයාව රැකවරණය සමගින් ලොවට කායික මෙන්ම මානසික සුවතාවයෙන් යුතු දායාද කරමු.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.