අම්මාගේ කුසේ ඇති දැඩි වෙන පුංචි පැටියෙක් එයාට අවශ්‍ය පෝෂණය වගේම ඔක්සිජන් ලබාගන්නේ අම්මාගෙන්මයි. ඒ අපරාව එහෙමත් නැත්නම් වැදෑමහ හරහායි. ගර්භාෂයේ ඇතුළු බිත්තියට සවි වෙලා තියෙන මේ වැදැමහ පුංචි පැටියට සම්බන්ධ වෙන්නේ පෙකණිවලෙන්. පුංචි පැටියා මේ ලෝකෙට බිහිවෙද්දී අම්මාගෙන් වෙන් කරන්නේ මෙන්න මේ පෙකෙණි වැල කපලා. මේ කැපුමේදී ළදරුවාට වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි වෛද්‍යවරු පවසන්නේ. මෙන්න මේ විදියට අම්මාගෙන් පැටියා වෙන් කළාම පෙකෙණි වැලේ හරිම පුංචි කොටසක් පැටියාගේ කුස මත ඉතිරි වෙනවා. එය වියළී යන්න සති දෙක තුනක කාලයක් ගත වෙනවා. පෙකෙණිය වියළී වැටෙන කොට නාභිය මත ඇති වන පුංචි තුවාලයත් දින කිහිපයකින් සුව වෙනවා. ඉතිං අලුත් අම්මලාට මේ පෙකෙණිය ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඒක පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක ගැන නිවැරදි අවබෝධයක් නැති නිසයි. ඒ නිසාම පුංචි පැටියාගේ කමිසයේ ලේ බිංදුවක් තිබුණම අම්මලා ගොඩක් බය වෙනවා. ඇත්තටම නිවැරදිව දැනුවත් වුණොත් පුංචි පැටියාගේ පෙකණිය අම්මලාට කිසිම විදියකින් ගැටලුවන් වෙන්නේ නැහැ.
පෙකෙණිය සම්පූර්ණයෙන් වියළී ස්වභාවිකව වැටෙනවා මිස එය ඉවත් කිරීමට කිසිදු විටෙක උත්සහ නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ එතෙක් එය පිරිසිදුව හා වියළිව තබාගැනීමයි. දරැවා නැහැවීහට පෙකෙණිය හැලෙන තුරැ සිටීම අත්‍යවශ්‍ය නොවේ. ඔබ කළ යුත්තේ දරුවා නැහැවීමෙන් පසුව හොඳින් තෙත මාත්තු කර වියළිව තබාගැනීමයි.
පෙකෙණිය පිරිසිදු කිරිමේදී කළ යුත්තේ උණුසුම් වතුරේ ගිල්වූ පුළුන් කැබැල්ලක ජලය මිරිකා ඉවත් කර පෙකෙණි වැල සමට සම්බන්ධව ඇති පෙදෙස වටා ඉතා සෙමින් පිස දමා පිරිසිදු වියළි රෙදි කැබැල්ලකින් තෙතමාත්තු කිරීමයි.
පෙකණිය හැලුණු ආසන්නතම දින කිහිපයේදී ඇඳුමේ රුධිර පැල්ලමක් තිබීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම එසේ වන්නේ ඒ කාලයේදී ළදරුවාගේ අත වැදීම ඇඳුමේ පැටලීම වැනි කරුණු නිසා විය හැකිය. එහිදී කළ යුත්තේ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කිරීමයි. යම් හෙයකින් පෙකෙණිය ආසාධන තත්ත්වයකට පත්ව ඇත්නම්, ඒ අවට සම රත් පැහැ වී ඉදිමුම් ස්වභාවයක් ගන්නා අතරද ස්පර්ශ කිරීමේදී දරුවා හඩා වැටේ. තවද සැරව හෝ දුගඳ ශ්රාවයක් එහෙමත් නැතිනම් දිගින් දිගටම රුදිරය පිටවීමක් දැකිය හැකිය. ආසාදිත අවස්ථාවකදී ළදරැවාට උණ ඇති වීම, කිරි ප්‍රතික්ෂේප කිරීම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ තත්ත්වයේදී වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. එසේම ඇතැම් අවස්ථාවලදී ග්‍රැනියුලෝමා වැනි තත්ත්ව ඇති විය හැකි බැවින් පෙකෙණිය හොඳින් නිරීක්ෂණය කොට මස් දල්ලක් වැනි යමක් තිබේද අවර්ණ ශ්රාවයක් නිකුත් වේද යන්න පිළිබඳව අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.
පුංචි පැටියාගේ පෙකණිය සම්බන්ධව මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න
- සැමවිටම පෙකණිවැල පිරිසිදුව හා වියළිව තබාගන්න.
- පෙකණිය වාතයට නිරාවරණය වීම වැදගත් වන නිසා ළදරුවාට නැපි ඇන්දවීමේදී ඒ ආශ්‍රිතව නොවැසෙන සේ අන්දවන්න
- මුත්‍රා තැවරීමෙන් ආරක්ෂා කරගන්න
- පෙකණිය මත කිසිවක් ගැල්විම හෝ සැරහුම් යෙදීම නොකරන්න
[කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරි මහත්මිය සමග සැකසූ ලිපියකි]
