- Advertisement -

අපේ ආරාධනයෙන් මොලෙවට එන දරු පැටියා ආබාධ හමුවේ ප්‍රතික්ෂේප කරන්න අම්මෙක්ට පුලුවන්ද?

-

මවට මුහුණ දීමට සිදු වූ පාලනය කළ නොහැකි අධි රුධිර පීඩන තත්ත්වය මත සති 26 ක ළදරුවෙකු සිසේරියන් සැත්කමකින් බිහිකර තිබුණා. බොහෝ අවස්ථාවලදී මවට තර්ජනයක් වන රෝග තත්ත්වවලදී දරුවා බිහිකිරීම සිදුකරන්නේ දරුවා  ගැන ලොකු බලාපොරොත්තුවක් නොතබා මවගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින්. ප්‍රසූතියෙන් පසු මවද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. අලුත උපන් මේ අඩු මස් බිළිඳා උපන් විගස ස්වසන අපහසුවක් පෙන්නුම් කළ නිසාම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කෙරුණා. නොමේරූ ළදරු ඒකකයට දරුවා රැගෙන එනවිට හැ`ඞීම වෙනුවට කෙ`දිරිල්ලක් නඟමින් සිටි මේ කිරිකැටියාගේ පෙනහලූ නොමේරූ තත්ත්වයේ පැවතුන නිසා x-ray ඡායාරූපය ගැනීමෙන් අනතුරුව පෙනහලු ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෙස සිදුවීම ස`දහා surfactant නම් ඖෂධය දරුවාට ලබාදී කෘතීම ස්වසන යන්ත‍්‍රයට සවිකෙරුණි. උපතින්ම මේ ළදරුවාට එක කනක් අහිමිව තිබුණි. එසේ අහිමිව ඇත්තේ බාහිර සිදුර පමණක් ද අභ්‍යන්තරය පිහිටා තිබේද නැද්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ පසුවට කල් තැබුණේ ළදරුවාගේ ජීවිතය බේරාගැනීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී තිබුණු නිසාමය.

දින කිහිපයක් ගත වුවද මේ ළදරුවා ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කිරීමට නොහැකි විය. මව කෙමෙන් යථා තත්ත්වයට පැමිණි පසු ළදරුවා දකින්නට නොමේරූ ළදරු ඒකකයට පැමිණි මොහොතේ දරුවා දැකීමෙන් ඇය නොසන්සුන් විය. ඇය මේ පුංචි ළදරුවා පිළිබඳව කතා කළේ ආදරයක් අනුකම්පාවක් ඇතිව නම් නොවේ. වරින් වර නිවසට යාමට අවසර ඉල්ලූවද ඒ ඉල්ලීම වෛද්‍යවරු වෙතින් ප්‍රතික්ෂේප විය. ළදරුවා වරින් වර ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කිරීම නැවත ස්වසන යන්ත්‍රයට ඇතුලු කිරීම කිහිප වරක්ම සිදුවිය. මේ සියල්ල හමුවේ සිය ළදරුවා පිළිබ`දව යහපත් ආකල්පයක් මව තුළ නොවීය. මවගේ ඇති ආකල්පය අපට වඩාත් පැහැදිලි වූයේ මේ සිදුවීමත් සමගමය.

- Advertisement -

ළදරුවාට රුධිරය ලබාදීම ස`දහා මවගේ ඇ`ද ඉහපත ගෙන ඒමට මව වෙත ගිය අපගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ගිය විට මව ඇයගෙන් විමසා තිබුණේ දරුවා මිය ගියා ද කියාය. අත් පා අහිමි දරුවන් පවා කදුලු පිරුණු දෑසින් තුරුලු කරගනිමින් උණුසුමේ හොවා කිරි දී දරුවා සමග ගෙදර යන්නේ කවදාදැයි ඇඟිලි ගණින මව්වරුන් අපේ දෑස් හමුවේ නිතර මුණගැහෙන නිසාම මේ මවගේ ක්‍රියාකලාපය අපේ සිත් සසල කරවිය. ඒ මේ මව තුළින් අපි දරුවාගේ සුවය ප්‍රාර්ථනා කරන සෙයක් නොදුටුව නිසාමය. මවගේ ඇති මෙම වෙනස්වීම නිසා ඇය මනෝ උපදේශනවලට යොමු කළත් මානසික ව්‍යාකූලත්වයක් නොමැති බව සඳහන් වූවා. ඇයට වෛද්‍යවරු පවා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඒ කරුණු ඇයට ඒත්තු ගැන්වීමට වෛද්‍යවරුන් පවා අපොහොසත් වුණා.

මෙසේ මාසයකට අධික කාලයක් නොමේරූ ළදරු ඒකකයේ සිටි දරුවා ස්වසනය නැවැත්වීම නිසා යලිත් වතාවක් කෘතීම ස්වසන යන්ත‍්‍රයට සවි කෙරුණත් යලි`දු දින කිහිපයකින් නැවත කෘතිම ස්වසන යන්ත‍්‍රයෙන් ඉවත් කළ හැකි වූවා. කාලයත් සමග දරුවා වයසින් වැඩුනද ශරීරයේ වර්ධනයේ ලොකු වෙනසක් දක්කට ලැබුණේ නැහැ. අනෙක් වැඩුණු දරුවන්ට මෙන් කිරි උරාබීමට නොහැකි වුවත් ළදරුවා යාන්තමින් කිරි බීමට උත්සහයක යෙදුණා. මව දරුවා අතට ලැබුණු විට බාහිර ස්වරූපය පිළිබඳව විමසිලිමත් වූවා විනා කිරි දීමට උත්සහ කිරීමක් දක්නට ලැබුණේ නැහැ. කාන්තාවන් ප්‍රසූතියෙන් පසුව යම් යම් මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත්වුවද ඇය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අදහසට අනුව නම් ඇය සිටියේ සාමාන්‍ය තත්ත්වයකයි.

මාස දෙකකට ආසන්න කාලයක් ජීවත් වීමට ලොකු උත්සහයක යෙදුණු මේ කිරකැටියා අවසානයේදී කිරි හිර වීම හේතුවෙන් මිය ගියා. ළදරුවාගේ කන පිළිබ`ද පරීක්‍ෂණ කිරීමට සුදුසු තත්ත්වයට දරුවා පැමිණෙද්දී ළදරුවා මිය ගොස් සිටියා. වර්තමානයේ බොහෝ වෛද්‍ය ගැටලුවලට ඖෂධීය මෙන්ම ශල්‍යමය ප‍්‍රතිකාර බොහෝ පවතින බැවින් කන වුවද ශල්‍යකර්මයකට යොමු කිරීමෙන් සකස් කිරීමට හැකි වීමට ඉඩ තිබුණි. අපිට ඉපදෙන දරුවන් අප බලාපොරොත්තු වන ආකාරයටම උපදින්නේ නැත. කවුරු ඉපදුනත් ඒ ඉපදුනේ අපේ අවශ්‍යතාවයට බව දෙමාපියන් මතක තබාගත යුතු වේ.

[කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (පළමුවන ශ්‍රේණිය) ක‍්‍රිෂාන්ති ගංගා කුමාරි මහත්මිය ලද අත්දැකීමක් ඇසුරෙන් සැකසුණු ලිපියකි.]

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article