- Advertisement -

හිමිදිරි උදෑසන මිහිරි කරමු

-

උදෑසන ගැන අතීතයේ පටන් තිබුනේ බොහොම පූජණීය සංකල්පයක්. දහසක් බුදුන් බුදුවන උදෑසන කියලා බොහෝ දෙනා උදයට ගැන වැඩි වටිනාකමක් ලබා දුන්නා. ඒ වගේම උදෑසනම හිත රිදුනොත් හෝ කිසියම් මානසික රිදීමක් ඇති වුනොත් එය දවසටම බලපාන බැව් ඔවුන් පිලිගෙන තිබුණා. සමහර විට ඔබට මේ වගේ දෙබස් වැඩිහිටියන්ගෙන් ඇහිලා ඇති.

අද උදේ කවුද මන්දා දැක්කේ…එයින් අදහස් වෙන්නේ උදයෙන්ම ඔවුන්ගේ හිතේ යම් අකමැති දෙයක් සිදු වී තිබෙන බවයි. මේ නිසා නිතරම උදය සුබවාදී විදිහට සැලසුම් කර ගැනීමට ඔවුන් උනන්දු වුනා. උදයෙන්ම අවදි වෙලා වතුර පිරන තැනක්, එහෙම නැත්නම් මල් ගොන්නක් දැකීම දවසම සුබාවාදීව ගෙවන්න හැකියාව ලැබෙන බවට විශ්වාසයන්ද ගොඩ නැගී තිබුනා.

- Advertisement -
  • ඒත් අපි උදේ පටන් ගන්නේ කොහොමද…?

අම්මා උදෙන්ම අවදිවෙලා මුලුතැන්ගෙට ගියත් ඇය තනියම කටයුතු කරනවා. ඒ ගැන නම් එතරම් ගැටුමක් නැහැ. මොකද අම්මලා බොහොම සතුටින් තමන්ගේ  යුතුකමක් විදිහට ඉවුම් පිහුම් කරනවා. සමහර විට අම්මාගේ ආහාර තරම් වෙන කිසිම තැනකින් ආහාර ගත්තාට ඒ රසය නොලැබෙන බව බොහෝ දෙනා කියනවා ඔබ අසා ඇති.අම්මාගෙන් බත් කටක් කෑවාම බඩපිරෙන බවත් අපි කවුරුත් දන්නවා.

ඒ වුනත්….අද හැම අම්මා කෙනෙක්ම තවත් රාජකාරියක් සමග සම්බන්ධයි. ඇය රතු ඉරට පෙරාතුව කන්තෝරුවට යා යුතුයි. ඒ නිසා වගකීම් රැසයි. ඒ අතරේ තමන්ගේ යුතුකම්ද ඉටු විය යුතුයි. ඉතිං මේ කටයුතු නිසා අම්මාට වුනත් හිතට පුංචි කේන්තියක් ඇති වෙනවා. අනේ..ටිකක් උදව් වෙන්නකෝ…මම තනියම මේ ඔක්කොම කරන්නේ..මටත් වෙලා යනවා. අම්මාගේ පුංචි ඉල්ලීමක්. ඉතින් මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වලා කවුරු හෝ කෙනෙක් උදව්වට මුලුතැන්ගෙට ආවොත් නම් අම්මාට ටිකක් සහනයක්. හැබැයි නාවොත්…? මුවින් නොදොඩා වැඩ ටික කරාවි. සමහර විට පවුලේ හැම දෙනාටම බැන අඩගහාවි. මේ ප්‍රතිචාරවලින් අම්මා හිතේ ආවේග පිට කළත් ඇය විසින් මේ සුන්දර උදෑසන නිවසම සෘණ සිතුවිලි වලින් පුරවලා.

  • දැන් ඔන්න තාත්තාගේ වාරේ..

අම්මා කන්කරච්චලයක් නැතුව කියවද්දී තාත්තා කියාවි..මේ මට ඕන බතක් නැහැ. ඔය බතක් මාලුවක් උයන්න ඔය තරම් කෑගහන්නේ..හරියට ගමකට උයනවා වගේ..මම කැන්ටිමෙන් කන්නම්. තියාගන්න ඔයාගේ බත..තාත්තා ඒ විදිහට ආවේග පිට කරද්දී නැවතත් නිවස සෘණ සිතුවිලි වලින්ම පිරෙනවා. අම්මාගේ හිතටත් පුදුම වේදනාවක් දැනෙනවා.

  • ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද..? මාත් රස්සාවක් කරන ගෑනියක් කියලා..

අම්මාගේ හිතේ ආත්මානුකම්පාවෙන් පිරෙනවා. තවත් සෘන සිතුවිලි නිවසේම අයගෙන් පිටවෙලා නිවසම පිරෙනවා.පොඩි අයගේ යුද්ධයත් පටන් ගන්නවා. අම්මේ…මගේ මේස් එක කෝ…මගේ ගවුම අයන් කරලා දෙන්නකෝ…කෝ බත් එක මට වෙලා යනවා…එක එක්කෙනාගේ එක එක පැමිණිලි. වතුර ගලන්නේ මිටි තැනින්නේ..අම්මා , තාත්තා දෙනාන්ම එකතු වෙලා ඔවුන්ගේ  ආවේග පොඩිවුන් පිටින් යවනවා. සමහර විට පාරක් දෙකක් ගහන්නත් පුලුවනි. ඉතින් දරුවෝ අඩ අඬා ගෙදරින් පිටවෙනවා.පුංචි හිතෙන් පිටවෙන්නෙත් සෘණ සිතුවිලි .හැමදෙනාගේ හිතේ තරහ, පසුතැවිල්ල, ආත්මානුකම්පාව…උදය පටන්ගන්නේ මේ විදිහට ඉතාම අප්‍රසන්න අන්දමින්…

  • එහෙම නම් ලස්සන උදෑසනක් අපිට පටන් ගන්න බැරිද…?

පුලුවනි…බොහොම පහසුයි. උදයට කරන්න තියෙන වැඩකටයුතුවලින් හැකි තරම් පෙරදා රාත්‍රිෙය් සූදානම් කරන්න පුලුවනි. එවිට පසුදා උදය එතරම් බරක් වෙන්නේ නැහැ.

පුංචි පුංචි උදව් කරන්න…අම්මාට පුංචි අයගෙන් වුනත් පුංචිවට හෝ උදව් ලැබෙනවා නම් එය ඇගේ හිතට හයියක්. තනියම බර දරාගෙන් ඉන්නවාට වඩා බෙදා ගෙන වැඩ කිරීම පහසුයි. සමහර විට අම්මා වැඩ බෙදන එකකුත් නැහැ. ඒ වුනත් කවුරුන් හෝ සහයට සිටිනවානේ කියන සැනසිල්ල ඇගේ හිතේ ඇති වෙනවා.

තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුලුවනිනේ..දරුවන්ගේ වැඩ හැකිතරම් ඔවුන්ටම පවරන්න. අම්මා හැම දේම දරණ මහපොළව වගේ කියන්නා සේම ඇය දරුවන්ගේ බර පමණට වඩා කරට ගත යුතු නැහැ. තමන්ගේ සපත්තු මේස්, පොත් පත් පිලිවෙලට තබා ගැනීමට දරුවන් උනන්දු කරන්න. ඒවා අම්මාගෙන් විමසනවාට වඩා පෙරදා හෝ ඒවා සැලසුමකින් තබන්නට ඔවුන්ට උපදෙස් දෙන්න.මේ විදිහට උදය සැලසුම් වුනොත් හැම දෙනාටම බොහොම සතුටින් නිවසෙන් පිටව යන්නට පුලුවනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article