කාටූන් නරඹන්න පුංචි දරුවෝ බොහොම කැමතියි. දරුවන්ගේ සිත රිදවන්න බැරිකම, ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය නිදහස ලබාගන්න වගේ නොයෙක් හේතු නිසා මේ වෙද්දි සමහර අම්මලා දරුවන්ට කාටූන් බලන්න තහනම් කරන්නේ නැහැ. මේ ලිපිය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටූන් බැලීම පුරුද්දක් බවට පත්වුණු දරුවෙකුට ඒ තත්ත්වය කොයිතරම් දුරට අවාසි සහගත විය හැකිද යන්න පිළිබදවයි.
සාමාන්‍යයෙන් කාටූන් බැලීමට වඩාත් ප්‍රිය කරන්නේ ප්‍රාථමික පන්තිවල දරුවන්ය. කෙසේ වුවද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව මේ වයස් සීමාවේ දරුවන්ට වුවත් පාසැලේදීත් අමතර පන්තිවලදීත් පැය ගණන් එක දිගට වඩා වී අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වෙයි. එක දිගට පැය ගණන් මනස වෙහෙස වන මේ දරුවෝ නිවසට පැමිණි පසුව විවේකයක් ලබාගැනීමට සිදු කරන්නේත් කාටූන් බැලීමයි. එයද මනස වෙහෙසවන කාර්යයකි. මනසට විවේකයක් අවශ්‍ය අවස්ථාවේදී කළ යුත්තේ කායික ක්‍රියාකාරකමක යෙදීමයි. තව තවත් මනස වෙහෙස වීමත් කායික ක්‍රියාකාරකම් නොමැති වීමත් නිසා මනස හා සිරුර අතර පැවතිය යුතු සමබරතාවය බිඳී යයි. දීර්ග කාලීනව මේදේ සිදුවන විට මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, මනස දුවන ගතිය, අලස බව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි.
අද වන විට පවතින කාටූන් ඝෝෂාකාරී බව, වේගවත්ව රූප රාමු මාරු වීම, හඬ වෙනස් වීම්, තද පැහැති වර්ණ සමගින් එන රූප රාමු වැනි ප්‍රයෝග යොදමින් දරුවන් රඳවා ගැනීමට ප්‍රයත්න දරයි. එවැනි කාටූන් නිෂ්පාදනයන් තුළින් එම නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ අඩුම මහන්සියකින් දරුවා ඒ හා සමග රඳවා ගැනීමටයි. මනස දිගින් දිගටම මේ ආකාරට හුරුවීම මගින් අවශ්‍ය දෙයක් වෙනුවෙන්වත් දරුවාගේ මනස එක තැනක රඳවා ගැනීමට නොහැකි වීම එයින් ඇති වන අවදානම් තත්ත්වයයි.
කෙසේ වුවද හොද තත්ත්වයේ සුමටව ගලා යන කතාවක් සහිත කාටූන කිසිදු විටෙක දරුවෙකුගේ මානසික ඒකාග්‍රතාවය පලුදු කිරීමට හේතු නොවේ. දරුවන්ට සුදුසු කාටූන ලෙස හැදින්විය හැකි වන්නේ පණිවිඩයක් ලබා දෙන ආදර්ශමත් උපදෙසක් මෙන්ම යම් කතාවක් සමාජගත කරන මනසට සුදුසු ආකාරයෙන් නිපද වූවකි. පිස්සු පූසා, දොස්තර හොඳ හිත වැනි කාටූන මේ තත්ත්වය මනාව කළමනාකරණය කර ගනිමින් වැදගත් පණිවිඩයක් සමාජ ගත කළද මේ වන විට මාධ්‍ය ආයතන අතර ඇති තරගකාරී ස්වභාවය නිසාම තම නාලිකාව වෙත වැඩි පිරිසක් අද්දවා ගැනීමටත් ඔවුන් රදවා ගැනීමටත් කාටූන් උපරිමව ප්‍රයෝජනයට ගන්නවා. ”Attention Economy” (අවධානය රදවා ගැනීමේ ආර්ථික ක්‍රමය) සංකල්පය කාටූන් ඇතුළුව තවත් බොහෝ දේ අතීතයේදීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට හේතු වූ තත්ත්වයකි.
අතීතයේදී නැරඹූ කාටූන බොහොම සෙමින් ගලා යන කතා මලාවක් සමගින් අනවශ්‍ය කලබලයකින් තොරව උපදෙසක් ආදර්ශයක් සමාජගත කරමින් පොතක් බලන ආකාරයට ගලා ගියා. මේ තත්ත්වය මත දරුවන්ට හිතන්න යමක් ඉතිරි වුණා. සෙනෙහස, දුක, සතුට කියන හැගීම් වටාහා ගන්න දරුවන්ට අවස්ථාව ලැබුණා. නමුත් අද විකාශය වෙන කාටූන් දරුවන්ට හිතන්නට යමක් ඉතිරි කරන්නේ නැහැ. හැගීම්වලට දෙන තැන අවමයි. ඉතිං දරුවාට කිසිදු වෙහෙසක් නොදී අවධානය පැහැරගන්න මෙවැනි තත්ත්වයේ කාටූන් සමත් වෙනවා. ඒ පහසුවත් සමගින් දරුවන් එවැනි කාටූන් වෙත ඇදී යනවා. එවැනි දරුවන්ට තමාට අත්‍යවශ්‍ය දේ වෙනුවෙන්වත් අවධානය යොමු කිරීමට හැකියාවක් නැහැ. මන්ද දීර්ඝ කාලීනව දරුවාගේ මනස කලබලකාරී, ඝෝෂාකාරී බවට හුරු වී අවසන්.
ඔබේ දරුවාට දවසේ යම්කිසි කාලයක් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී තමාම සමග ගත කරන්නට යම් කාලයක් ලබාදෙන්න. එවිට එසේ ගත වන කාලය තුළ යමක් කිරීමට දරුවා වෙහෙසෙයි. නව නිර්මාණ මෙන්ම අධ්‍යයනයන් සමගින් ඉදිරියට එන්න දරුවාට එම කාලය හේතුවක් වනු ඇත. නමුත් දවසේ පැය විසිහතරම යම් යම් දෙයින් පිරුණු දරුවෙකුට මේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම දරුවෙක්ට තමන්ගේ සිතුවිලිවලට වටිනා කමක් එක්කරගන්නට අවස්ථාව ලබාදීම ඔබේ යුතුකමක් බව හිතට ගන්න. වැඩිහිටි වියේදීත් මානසික ඒකාග්‍රතාවය නොමැතිකම නිසා රැකියා ස්ථානයේදී පවා අපහසුතාවයට පත් වන පිරිස් බිහිවන්නට මූලික හේතුවක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. ඔබ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් උරුම කරවන්නට වෙහෙසෙන මාපිය යුවළක් නිසාම කාටූන්වලින් දරුවාගේ දවස ආරම්භ කරවන තැන සිටම වෙනස් වන්න.
දඹදෙනිය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.