රසකාරක නැතුව පොඩ්ඩන්ට ආහාර හදන්න….Monosodium glutamate (MSG)

දිව ඉල්ලන රසයටම ගැලපෙන රසකාරකයක් විදිහට ‘‘ග්ලුටමින් ඇසිඩ් “ හෙවත් Monosodium glutamate (MSG), අද ලෝකය පුරාම ජනප්‍රියයි. අද ඔබේ පුංචි පැටව් වුනත් දිව ඉල්ලන මේ රසයට ඔබටත් නොදැනීම ඇදී ගිහින් අවසානයි.අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන Monosodium glutamate (MSG),තක්කාලි, හතු,චීස් සහ මිදි වැනි ආහාරවල අන්තර්ගතව තිබෙනවා.

  • මුලින්ම මේ රසය හදුනා ගත්තේ කවුද…?

1800 වැනි ඈත කාලයකදී ජර්මනියේ විසූ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම රසය හදුනා ගත්තා.1908 වසරේදී ජපානයේ ජීව රසායන විද්‍යාඥ විසින් මුහුදු පැලෑටි මගින් සකස් කරන ලද ආහාරය රස කිරීමට Monosodium glutamate (MSG), යොදා ගෙන තිබෙනවා.1968 වසරේ පටන් චීන ආපනශාලාවල MSG භාවිතා කිරීම ආරම්භ වුණා.                                                                        

  • මුල් කාලයේදී නම් චෝදනා නැහැ..

MSG භාවිතා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් විවාදාත්මක සංවාද ඇති වුනේ නැහැ. ඊට හේතුව විදිහට බොහෝ දෙනා විසින් පෙන්වා දෙන්නේ නියම මාත්‍රාවකින් මෙම රසකාරක එකතු කළ නිසා කිසිම හානියක් සිදු නොවුන බවයි.

  • චීන අවන්හල් ජාලයට චෝදනා

ඒත් කාලය සමග චීන අවන්හල් ජාලාවලින් මේ ගැන චෝදනා නැගෙන්න පටන් ගත්තා. MSG යොදා සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් පසුව හිසරදය හා වෙනත් අපහසුතාවයන් ඇති වුන නිසාම චීන අවන්හල්වලින් ආහාර ගැනීමට පසුව ඇති වෙන අපහසුතාවය “Chinese Restaurant Syndrome” යනුවෙන් හදුන්වනු ලැබුවා.

1979 වසරේ එංගලන්තයේ ‘‘සරේ “ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් තව දුරටත් මේ අධ්‍යනය දියත් කළ අතර එතැන් පටන් ඒ කියන්නේ 1980 දශකයේ පටන් MSG යොදා ගෙන සකස් කරන ලද ආහාර බහුල වෙන්න පටන් ගත්තා.

මුල් කාලයේදී නම් MSGයොදා ගත්තේ සුප් වර්ග සදහා පමණයි. චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල ආහාර රටාව අතර සුප් වැදගත් තැනක් ගත් නිසාම MSG ඔවුන් අතර වඩාත් ප්‍රචලිත වීම සිදු වුනා.

රසකාරක භාවිතා කරන ජාත්‍යන්තර සමාගම්

  • ඇමරිකා එක්සත් ජනපදය- ACSENT
  • ජපානය- අජිනොමෝටෝ
  • නිව්යෝක්-සැසෝන්
  • යුරෝපය-වෙට්සින්

සුළු ප්‍රමාණයකින්  MSG භාවිතාය අහිතකර නොවුනත් පමණ ඉක්මවා MSG භාවිතා කිරීම නිසා ඇති වෙන අහිතකර තත්වයන් ගැන ප්‍රංශය සහ එංගලන්තය විසින් නිකුත් කරන ලද Afasti Assement වාර්තාවේ සදහන් වෙනවා.

  • සිරුර විජලනයට පත් වීම.
  • අධික දහඩිය දැමීම.
  • අධික පිපාසය
  • සිරුරේ කෙඩෙත්තුව
  • නිදිමතගතිය
  • හෘද ස්පන්දනයේ වෙනස්කම්
  • පෙනහළු වේදනාව.

තවත් වැදගත්…

දියවැඩියාව, අධිරුධිරපීඩනය, ස්නායු ආබාධ කොලස්ටරෝල් ,වකුගඩු සහ හෘද රෝග සංකුලතාවයන් වැනි රෝග තත්වයන් තිබෙනවා නම් MSG වලින් හැකි තරම් ඈත්ව සිටීම වැදගත්.

MSG නැතුව ආහාර පිළියෙල කරන්නම බැරිද…?

අපි මොනවා කිව්වත් පොඩ්ඩෝ ඉල්ලන්නේ දිවට රස.ඒ හින්දා අම්මාටත් හරිම කරදරයක්. අහවල් කඩෙන් ගෙනත් දෙන්න කියන යුද්ධය අන්තිමට අවසාන වෙන්නේ පොඩි එකාගේ ඉල්ලීම දිනලා.

ඒත් ඉස්සර කාලයේ මේ වගේ රසකාරක නොතිබුනත් අපේ අම්මලා උයන පිහන විට පුදුම සුවඳක්. ඒ සුවදටම රස නහර පිනා යනවා. හැබැයි MSG දාලා නම් නොවෙයි.

ඇයි දැන් බැරිද…?

කිසිම බැරි කමක් නැහැ.

  • සුප්

සුප් හදන විට රසකාරක වෙනුවට කොත්තමල්ලි, සුදුරු, මහදුරු, කුරුදු කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිපයක් කපු රෙදි ( තුනී රෙදි කඩක් ) කැබැල්ලක දාලා පුංචි පොට්ටනියක් හදන්න. තුනපහ ලිහි ඉහිරිලා නොයන විදිහට ගැටගහලා සුප් එකරටම දාන්න.

සුප් එක ඉදුනාම පොට්ටනිය හොදින් මිරිකා ගෙන තෙම්පරාදු කරන්න. දෙහි යුෂ ටිකක් එකතු කරන්න. තක්කාලි ගෙඩියකුත් ආවොත් හොදයි.දැන් බලන්නකෝ රස කාරක නැතුව බොන්න බැරිද කියලා.

ඒ වගේම සුප් එකට සැරසිල්ලක් විදිහට සැල්දිරි, කොත්තමල්ලි කොළ සහ මිංචි යොදා ගන්න.

 

  • නූඩ්ල්ස් හදන විට

නූඩ්ල්ස්වලට දැන් ඇත්තම කිව්වොත් එකතු වෙන්නේ MSG විතරයි. ඒ වුනත් පොඩ්ඩන්නට ගුණ ලැබෙන්නේ නූඩ්ල්ස්වලට එකතු කරන එලවළු සංයෝගයෙන් බව අමතක කරන්න එපා. ඒ නිසා කැරට්, ලික්ස් වගේ එළවලු එකතු කරන්න. තෙම්පරාදුවට බිත්තරයක් ගසා එකතු කරන්න. ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. MSG කැටය වෙනුවට ලුණු එකතු කළත් බොහොම ටිකක්. ඒ ඇයි කිව්වොත් ලුණු එතරම් අපට හිතකර නැහැ.

 

  • කහ බත්, තෙල් බත් එකී මෙකී නොකී සැරසිලි බතට….

අපේ අම්මලා ලේසියට ඉතිං MSG වලින් දිවට රසය හොයනවා. ඒ වුනත් කරන්නන් වාලේ නොකොර මේ විදිහට බලන්නනෝ…

බත මස් ස්ටොක් සාරයෙන් සකස් කර ගන්න. බතටත් සුප් වලට එකතු කරන ලද රස හා සුවඳ පොට්ටනිය එකතු කරන්න. තෙම්පරාදුවට පසුව මුද්දරම්පලම් සහ කජු එකතු කරන්න.

  • සැන්ඩ්විච්

සැන්ඩ්විච් හදනවා නම් බිත්තරයට අබ, ගම්මිරිස් අඹරා ගෙන දා ගත් විට හොඳටෝම ඇති.

  • ඒත් ව්‍යංජනයක් හදනවා නම්…

ඕනම ව්‍යංජයක් පිළියෙල කරන විට රම්පෙ, කරපිංචා, කුරුදු, උලුහාල් එකතු වුනොත් ඔය කියන රස විතරක් නොවෙයි, හොඳ සුවදක් ලැබෙනවා..

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here