ඩවුන්ස් සහ ලක්ෂණය හඳුනා ගැනීමේ NIPT පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාවේත්

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම අද වන විට කලලයේ ඇති වන අසාමාන්‍යතා මෙන්ම මවට ඇති විය හැකි සංකූලතා සඳහා ඇති අවදානම කල්තියා හඳුනා ගැනීමට හැකි වටපිටාව සැකසී ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. අද වන විට මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගැනීමට හැකි සංවේදී පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළත් සිදු කෙරෙනවා. ඒ අතරින් නිරාක‍්‍රමණික පූර්ව ප‍්‍රසව පරීක්‍ෂණය (NIPT) මගින් බිහිවන්නට සිටින දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙක්ද යන්න 99% ප්‍රතිශතයකින් හඳුනා ගැනීමට අවස්ථාව සලසා දෙනවා.

NIPT පරීක්ෂණය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළහොත් මෙය ඩවුන්ස් සහ සහ ලක්ෂණය ඇතුළු ජාන සම්බන්ධ රෝගී තත්ත්වයන් රැසක් හඳුනා ගැනීමට සිදු කෙරෙන තරමක් මිල අධික රුධිර පරීක්ෂණයකි.

 

වෛද්‍යතුමනි, NIPT පරීක්ෂණය සිදු කෙරෙන්නේ කොහොමද?

මේක රුධිර පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ, සෛලවල නිපදවෙන DNA අන්තර්ගත වෙනවා වගේම ගැබිනි මවකගේ රුධිරයේ 80% පමණ මවගේ DNA ත් ඉතිරි 20%ක පමණ ප්‍රමාණය කලලයේ DNA ත් වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා ගැබිනි මවකගේ රුධිර සාම්පලයක් හරහා ලැබෙන්න ඉන්න දරුවාගේ DNA පිළිබඳව අවබෝධයක් ලබාගෙන මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගත හැකියි.

NIPT පරීක්ෂණය මගින් අණාවරණය කරගත හැකි අසාමාන්‍ය තත්ත්ව මොනවාද?

සාමාන්‍ය ගණනට වඩා වැඩි/අඩු වර්ණදේහ ගණනක් පැවතීම හේතුවෙන් ඇති වන අසාමාන්‍යතා පිළිබඳව මෙම පරීක්‍ෂණයෙන් මූලිකව හඳුනා ගනී.

 

  • ඩවුන් සින්ඩ්‍රෝම් (අංක 21 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • එඩ්වඩ් සින්ඩ්‍රෝම් (අංක 18 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • පැටඔ සින්ඩ්‍රෝම් (අංක 13 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • ටර්නර් සින්ඩ්‍රෝම් (X වර්ණදේහයේ එක වර්ණ දේහයක් පමණක් තිබීම)
  • ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් – (XX වර්ණදේහ යුගලයක් සමග Y වර්ණදේහයක් එනම් XXY ලෙස පැවතීම)
  • ටි‍්‍රපල් එක්ස් සින්ඩ්‍රෝම් – (X වර්ණදේහ 3 ක් XXX තිබීම)
  • ජෙකොබ්ස් සින්ඩ්‍රෝම් – X වරණදේහයක් සහ Y වර්ණදේහ යුගලයක් එනම් XYY තිබීම)

 

NIPT පරීක්‍ෂණය ආරක්ෂිතද?

ඔව්. බොහොම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. ගබ්සා වීමේ අවදානමක් කිසිසේත්ම නැති 99.9%ක් නිවැරදිව ඩවුන් සින්ඩ්‍රෝම ප‍්‍රවණතාවය හඳුනා ගත හැකි පරීක්ෂණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා ලබාගන්නේ මවගේ රුධිර සාම්පලයක් පමණයි. ඒ නිසා කලලයට කිසිදු ආකාරයක බලපෑමක් සිදුවෙන්නේ නැහැ.

සෑම ගැබිනි මවක්ම මේ පරීක්ෂණය යොමු කරනවාද?

ගැබ් ගැනීමෙන් සති 10 – 25ත් අතර ඕනෑම ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු විය හැකියි. නමුත් අර පෙර සඳහන් කළ පරිදිම මේ පරීක්ෂණය මිල අධික පරීක්ෂණයක්. ඒ නිසා බොහෝ විට

  • පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්
  • පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණ වලින් අසාමාන්‍යතා ප‍්‍රවණතාවය වැඩි දරුවෙකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරුන්
  • පළමු ත්‍රෛමාසිකය තුළ දී අසාමාන්‍යතා හඳුනා ගැනීමේ අනෙකුත් පරීක්‍ෂණ ලබාගත නොහැකි වූ මව්වරුන්
  • නල දරු තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්
  • යම් යම් අවදානම් තත්ත්ව ඇති පරීක්‍ෂණ ප්‍රතික්ෂේප කරන මව්වරුන් මේ පරීක්ෂණයට යොමු කළ හැකියි.

අපේ රටේ මෙවැනි පරීක්ෂණයක් සඳහා රසායනාගාර පහසුකම් තියෙනවාද?

ඔව්. කොළඹ රසායනාගාරවල පහසුකම් තියෙනවා. ලංකාවේ වෙනත් ප්‍රදේශවල රුධිර එකතු කරන මධ්‍යස්ථානවලින් මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබාදීමට ගැබිනි මව්වරුන්ට හැකියාව තියෙනවා.

අධික මිලක් කියන්නේ සාමාන්‍ය ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු වීම අසීරුයි නේද?

මේ පරීක්ෂණය මින් පෙර ශ්‍රී ලංකාවේ සිදු කෙරුණේ නැහැ. රුධිර සාම්පල හොංකොං, ස්විස්ටර්ලන්තය කියන රටවලට යවලා තමයි වාර්තා ලබාගත්තේ. ඒ වෙද්දී රු.100,000/= කට ආසන්න මුදලක් වැය වුණා. ඒත් අද වෙද්දී අපේ රටේත් මේ පරීක්ෂණය සිදුකරන නිසා වැය වෙන්නේ රු. 40,000/= කට ආසන්න මුදලක්.

මෙවැනි මුදලක් සෑම අයෙකුටම දරාගන්න අපහසුයි. මේ වෙනුවෙන් කළ හැකි වෙනත් පරීක්ෂණයක් නැත්ද?

මේ හා සමානවම ප්‍රතිඵල නොලැබුණත් මෙවැනි අසාමන්‍යතා පිළිබඳව 80%ක ප්‍රතිශතයකින් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් හඳුනා ගත හැකියි. මූල්‍යමය අපහසුතා තියෙන මව්වරුන්ට ඒ සඳහා යොමු වෙන්න පුළුවන්.

NIPT පරීක්ෂණය මගින් තමන්ට ලැබෙන්න ඉන්න දරුවා අසාමාන්‍යතා සහිත දරුවෙක් බව තහවුරු වූ පසුව ක්‍රියාත්මක වෙන්නේ කෙබඳු වැඩසටහනක්ද?

ඩවුන්ස් සහලක්ෂණය වැනි අසාමාන්‍යතා දරුවෙකුගේ මානසික සංවර්ධනයට ඍජුව බලපෑම් කරනවා. වයසින් මුහුකුරා ගියත් එවැනි දරුවෙක්ගේ මනස කුඩා දරුවෙක් හා සමානයි. ඒ වගේම මෙවැනි දරුවන්ට ප්‍රතිශක්තිකරණ හැකියාවත් අවම විය හැකිය. ඒ වගේම හදවතේ සිදුරු වැනි තත්ත්වයන් ඇති විය හැකියි. එවැනි දරුවෙක් මොලොවට බිහිවීම ඒ දරුවාටත් මව පියා ඇතුළු පවුලේ සැමටත් විශාල දුකක් වේදනාවක්. ඒත් අපේ රටේ ගබ්සාව නීතිගත කර නොතිබීම නිසා මෙවැනි තත්ත්වයක් කලින් හඳුනාගත්තත් විසදුමක් නැහැ. වෛද්‍යවරු විදියට අපිට කරන්න පුළුවන් මේ තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිමත් බව වෙනුවෙන් මෙවැනි දරුවන්ගේ පවුල්වලට සවියක් වීම පමණයි.

 

 

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here