- Advertisement -

කොරෝනා බෝවීමෙන් වගේම පැතිරීම අවම කරන්නත් තව තවත් දැනුවත් වෙමු

-

මේ වසංගත කාලයේදී ඔබේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේ ද සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි දේ බොහෝය. ඒ දේවල් ඔබේ දැනගැනීම පිණිස බෙදා ගමි. සියලු කරුණු විශ්වාසදායී පිළිගත් මූලාශ්‍ර මගින් ලබා ගත් දේවල් වේ. මෙම Corona වසංගතය වෛරසයක් හේතුවෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝ වන රෝගයක් බව ඔබ මේ වනවිටත් දන්නවා. එම රෝගය සෑදීම වලක්වාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් මෙසේය.

  1. අතවශ්‍ය නොවන සියලු ගමන් කල් දමන්න

ඔබට යම්කිසි කටයුත්තකට ගෙදරින් පිටට යෑමට අවශ්‍ය නම්, එම කටයුත්ත සතියකට දෙකකට කල් දැමිය හැකිදැයි බලන්න. ඇතම් විට මූල්‍යමය පාඩු සිදු වේවි. නමුත් ගෙදර කෙනෙක් ලෙඩ වුනොත් විඳින්න වෙන වේදනාවට මෙන්ම අපහසුතායට වඩා එම කටයුත්ත කල් දමන එක ඇගට ගුණදායකදැයි ඔබෙන්ම අසන්න. පිළිතුර ඔව් නම්, ගෙදරින් පිටවන්න එපා. අලුත් අවුරුද්දට ඇදුම්, බඩු මුට්ටු ගන්න යන එක වගේ ඒවා නම් අනිවාර්යයෙන්ම කල් දාන්න පුළුවන් දේවල්.

- Advertisement -
  1. කල් දැමිය නොහැකි අතවශ්‍ය ගමන් බිමන් අපි හැමෝටම තියෙන්න පුළුවන්

ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ගමනේදී පොදු දේවල් භාවිතය අවම කිරීම. පොදු ප්‍රවාහන සේවා, පොදු කෑම කන ස්ථාන, පොදු වැසිකිලි ආදිය. නමුත් හැමෝටම ඒක කරන්නත් බැහැ. ඔබට එම දේවල් භාවිත කරන්න සිදු වෙනවා නම්, වඩාත්ම හොඳම දේ තමයි නිරතුරුවම අත් සෝදන එක. සාමාන්‍ය සබන්වලින් අත සේදු විට මවෛරසය විනාශ වන බව පර්යේෂණ පෙන්වයි . එබැවින් අත් සේදීමට සබන් ප්‍රමාණවත්. ගමනක් යනකොට පොඩි සබන් කෑල්ලක් කොලේක ඔතාගෙන bag එකේ දාගෙන යන එක ප්‍රයෝජනවන් වේවි සින්ක් එකක් තියන තැනකදි පාවිච්චි කරන්න. සින්ක් එකක් හොයාගන්න බැරි වෙලාවකදී හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අත්‍ අපිරිසිදු (soiled) වී ඇත්නම් අනිවාර්යයෙන්ම සබන් යොදා සෝදාගත යුතුයි. හෑන්ඩ් සනිටයිසර් අනුමත කරන්නේ අතෙහි යම් දුවිලි හෝ අපිරිසිදු දේ පෙනෙන්නට නැති විට (visibly clean) ජීවානු හරණය සඳහා පමණයි.

  1. හෑන්ඩ් සනිටයිසරයක් /රබ්ස් යොදා ගන්නේ නම් කාර්යක්ෂම ජීවානුහරනයක් සඳහා අවමයෙන් 70% ක ඇල්කොහොල් එහි අඩංගු විය යුතුයි.
  2. ගමන අතරතුරදී හැකි තරම්, අවම වශයෙන් මීටරයක දුරක්, අනෙක් පුද්ගලයන් හා ඔබ අතර පවත්වාගන්න. මෙය ගොඩක් වෙලාවට අපේ රටේ කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් හැකි හැම විටම කරන්න උත්සාහ ගන්න. එසේම වෙනත් කෙනෙක් සමග අතට අත දීමෙන් වලකින්න.
  3. මුහුණු ආවරණ දැමීම

ඔබට කිසිම රෝග ලක්ෂණක් නැතිනම්, මුහුණු ආවරණ දාන එක නොදාන එකට වඩා සමහරවිට අවදානම් වේවි. මොකද නුහුරු බව නිසා නිතරම එය අල්ලන්නට යෑම, මූණ වෙනදාටත් වඩා ඇල්ලීම වැනි දේවල් නිසා. කොහොමත් නිරෝගී අය සාමාන්‍ය ගමනකදී මුහුණු ආවරණ දැමීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබට රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඔබ රෝගියෙකුව රැක බලා ගන්නවා නම් එය පාවිච්චි කරන්න නිර්දේශ කරනවා. නිවැරදිව එය භාවිත කරන හැටි youtube video බලලා ඉගෙන ගන්න පුළුවන්. මුහුණු ආවරණයේ පටිවලින් අල්ලලා තමයි කන දෙපැත්තට දාගන්න ඕනි. එකේ නහයේ මුදුනින්ම තැන විතරක් තද කර හොඳින් සවිකරගන්න. ගලවද්දිත් පටිවලින් අල්ලලා ගලවලා කුණු බාල්දියට දාන්න ඕනි. මුහුණු ආවරණයේ ඉදිරිපස අතින් අල්ලන්න එපා. මොකද එකේ විෂබීජ රැඳිලා තිබුනොත් ඒ ටික ඔයාගේ අතට එන්න පුළුවන් නිසා. කොහොමත් එය පැලඳගන්න පෙර සහ ගැලවුවාට පසු අත් සබන් දාලා සෝදන්න. මේ විදිහට තැතුව නිකං මුහුණු ආවරණ පාවිච්චි කරන එක නොකරනවට වඩා අවදානම්, ඔබ රෝගියෙක් නෙමෙයි නම්.

  1. ගමන අවසන් වී නිවසට පැමිණි වහාම

ගමන අවසන් වී නිවසට පැමිණි වහාම වෙනත් කෙනෙක් හෝ දෙයක් අල්ලන්න කලින් සබන් දාලා හොඳට අත් සෝදාගන්න. ගෙදර වත්තේ හෝ එලියේ ටැප් එකෙන් සෝදන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට දොර අල්ලන්නත් පෙර සිටම අත පිරිසිදු වෙන නිසා. එහෙම එලියේ ටැප් නැත්නම්  ඔබ දොර ඇල්ලුවාට පසු දොරේ ඇල්ලූ තැන විෂබීජහරණය කරන්න.

  1. පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් ගිහින් ආවම රෙදි සෝදන හැටි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව සාමාන්‍ය සබන් හෝ ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන ඩිටර්ජන්ට් පව්ඩර් යොදා රෙදි සෝදා වියලා ගැනීම ප්‍රමාණවත්. මතක තබාගන්න හිරු එළියේ ඇති පාර ජම්බුල කිරණ කදිම විෂ බීජ නාශකයක්. රෝගීන්ගේ ඇඳුම් පවා සේදීමට අප දෙන උපදෙස්ද මෙම උපදෙස්මය . එකම වෙනස ඔවුන් සඳහා යන්ත්‍රයේ සෝදන්නේ නම් උපදේශය අංශක 60 -90 අතර වන ජලයේ සාමාන්‍ය ඩිටර් ජන්ට් දමා සෝදා හොඳින් වියලා ගන්නා ලෙසය.

  1. මුදල් නෝට්ටුවලින් මෙම විෂබීජය පැතිරෙන්න පුළුවන් ද

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුදල් නෝට්ටු හරහා මෙම විෂබීජය පැතිරෙන්න ලොකු අවධානමක් නැහැ කියලයි. ඒකට හේතුව ඔබේ අතේ සම හරහා මෙම විෂබීජය ශරීරගත වීමට ඇති හැකියාව අවම වීමයි. නමුත් ඔබ මුදල් අල්ලලා අත් සෝදන්නේ නැතිව මූන, නහය, කට ඇල්ලුවොත් වැරදිලා හරි අර විෂබීජය මුදල් නොට්ටුවල තිබිලා ඔබේ අතට ඇවිත් තිබුනොත් ඔබට එය ශරීරගත වීමේ අවදානමක් තියනවා. ඒ නිසා මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් පසු හොඳින් සබන් යොදා අත් සේදීම ඉතාම වැදගත්. එතකල් මූන අල්ලන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙන්න ඕන.

  1. ඔබට කිවිසුම්ක් යනවිට හෝ කහින විට

ටිෂූ කඩදාසියක් නැතිනම් ඔබේ වැලමිටෙහි ඇතුළු පැත්තෙන් ඔබේ නාසය සහ කට ආවරණය කරගන්න. වෙනදා වගේ කහින කොට අත මගින් එය ආවරණය කරන්නේ නැතුව වැලමිටේ ඇතුළු පැත්ත පාවිච්චි කරන්න කියන්නේ වැරදිලා හරි ඔයාගේ අතේ විෂබීජය තිබුනොත් කහින වෙලාවට ඔයා අත කටට ළං කරොත් ඒ විෂබීජ ඔයාගේ අතෙන් කටට/නහයට යන එක වලක්වගන්න. වැලමිටේ ඒ විෂබීජ රැඳෙන්නේ නැති තරම්. ඒ වගේම එමගින් අනෙක් අයට ඔබේ කිවිසුම හෝ කැස්ස සමග එලියට එන බිඳිති ආශ්වාස වීම වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් ටිෂූ පාවිච්චි කරානං ඒවා නිසි පරිදි කසල භාජනයකට දමන එක. මහමග හැම තැනම ලංකාවේ කසල භාජන නැති නිසා, ඔබේ ගමන් මල්ලේ ඒ සඳහා වෙන්වුණු කවරයක් තියාගත්තොත් ලේසි වේවි. ගෙදර ආවාම එය කසල බඳුනට දමන්න පුළුවන්.

  1. නිරෝධායනය

මේ වචන ඔබට මේ වනවිට බොහොම හුරු ඇති. ඒත් ඉරිදා රූපවාහිනී වැඩසටහනක සාමාන්‍ය මිනිස්සු නිරෝධායනය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දුන්න උත්තර ඇහුවම ඒ ගැන වැඩි අවබෝධයක් ගොඩක් අයට නැති බව හිතුනා. නිරෝධායනය කියන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන, නමුත් විෂබීජය ඇඟට ඇතුළු වී ඇතයි සැක කරන කෙනෙක්ව අනෙක් අයගෙන් වෙන්කොට තැබීමයි. මෙහිදී ඔවුන්ට කිසිසේත්ම බලහත්කාරයෙන් ප්‍රතිකාර කිරීමක් සිදු නොවේ. එසේ කිරිම අවශ්‍ය නොවන්නේ ඔවුන් රෝගීන් නොවන නිසා. ඔවුන්ට කන්න බොන්න වෙනදා වගේම අනෙක් වැඩ කරන්න පුළුවන්. බැරි එකම දේ ඔවුන්ට පනවා ඇති සීමාවෙන් එළියට යෑම පමණයි. එහෙම කරන්නේ ඔවුන්ට යම් කාලයක් තුළදී (කොරෝනාවලට නම් සති දෙකක්) රෝග ලක්ෂණ හැදෙනවා දැයි නිරීක්ෂණය කිරීමට සහ අනෙක් අයට එම විෂබීජය පැතිරීම වළක්වා ගැනීමටයි. එසේ රෝග ලක්ෂණ නොපෙන්වන අයට සති දෙක අවසානයේ සෞඛ්‍ය උපදෙස් දීලා ගෙවල්වලට යන්න දෙනවා.

  1. ස්වයං නිරෝධායනය

යම් කෙනෙක්ට ඉහත නොම්මර 9න් විස්තර කළ දේම වෙනත් කාගේ හරි , ඒ කියන්නේ හමුදාව හෝ වෛද්‍යවරුන්ගේ හෝ අධීක්ෂණයක් නොමැතිව තමන්ටම කරගන්න කියලා ගෙදර යවන එක. එතකොට ඔයාලා හරියට හැසිරෙනවද කියලා පොලීසිය වගේ බලන්න කවුරුවත් නැහැ. ඔයාලා තම තමාගේ සමාජ වගකීම හිතට අරගෙන වැදගත්, යමක් කමක් තේරෙන වැඩිහිටියන් විදිහට හැසිරෙයි කියලා එතනදී බලාපොරොත්තු වෙනවා.

  1. පිටරට සිට පැමිණි හෝ වෙනත් හේතු මත පරීක්ෂාවට ලක් කිරීම

රට ඉඳලා ආපු හරි නැත්තං වෙනත් හේතුවක් නිසා හරි කෙනෙකුව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සෞඛ්‍ය සේවකයන් විසින් නිරීක්ෂණයට ලක් කරනවා නම් ඒකෙ තේරුම එයාට කොරෝනා හැදිලා කියන එක නෙමෙයි. සමහර අයව අපි නිවෙස්වලට ගිහිල්ලා පරීක්ෂා කරල බලනවා. ඒ වගේ වෙලාවකදී කටකතාවලට ඇහුම්කන් නොදී ඉන්න එකත්, කටකතා පතුරවන්නේ නැතුව ඉන්න එකත් ඔයාලාගේ වගකීමක්. මේ වෛරස එක තාප්ප උඩින්, වැටවල් උඩින් පැන පැන එන්නේ නැහැ. ඒ වගේම එහෙම ස්වයං නිරෝධායනය ලක් වෙච්ච කවුරු හරි ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්නවා නම් සමහරවිට එයාලට කන්න බොන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඒ අය දවසේ පඩි ගන්න අය එහෙමත් නැත්තං ආර්ථික අපහසුතා තිබෙන අය වෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියන කෙනෙකුට ඔයාලට උදව්වක් කරන්න හිතෙනවා නං කෑම ටිකක් හදලා නැත්තං උයාගන්න බඩු ටිකක් පැක් කරලා ගෙදර ගේට්ටුව ළඟින් නැත්තං ගෙදර පඩිය උඩින් තියලා එන්න පුළුවන්, එයාලව මුන ගැහෙන්නේ නැතුව.

  1. විශ්වසනීය තොරතුරු පමණක් ලබාගන්න

මේකත් හරිම වැදගත් දෙයක්. විශ්වසනීයත්වයෙන් තොර, මූලාශ්‍රය කොහෙද කියලා හිතාගන්න බැරි තොරතුරු පැතිරවීමෙන් වැළකිය යුතුයි. ගොඩක් වෙලාවට මෙහෙම එන පණිවිඩවල මූලාශ්‍රයක් සදහන් වෙන්නේ නැහැ. එහෙම නැත්තං ඔයාලා හොඳින් කල්පනා කරලා බලන්න මේ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද කියලාවත්. තමන්ට ඒ දේවල් 100% විශ්වාස නැත්තං අනිත් අය එක්ක බෙදාගන්න එපා. ඔයාලාට කොරෝනා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් 117 කියන අංකයෙන් විස්තර දැනගන්න පුළුවන්.

  1. ඔබට/ඔබේ පවුලේ කෙනෙකුට මෙම වෛරස් ආසාදනය වී ඇතැයි සැක සිතේ නම්,

කරුණාවෙන් ඉල්ලන්නේ රජයේ රෝහලකටම යන්න කියලා. හේතුව පෞද්ගලික රෝහල්වලට තවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය දීලා නැහැ අවශ්‍ය පරීක්ෂණ කරන්න (PCR පරීක්ෂාව). දැනට රජයේ තෝරාගත් රෝහල් කිහිපයක පමණයි මෙම පරීක්ෂාව කරන්නේ. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා රූපවාහිනී වැඩසටහනක කිව්වා එක් පෞද්ගලික රෝහලක් මෙම පරීක්ෂණය කරලා තියනවා කියලා අවසරයක් නොමැතිව. ඒ රෝගියා පරීක්ෂණය පොසිටිව් කියලා දැනගෙනත් දවස් කිහිපයක්ම තැන තැන ඇවිදලා තමයි අන්තිමට රජයේ රෝහලකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ ඔබට මුදල් තිබුන පලියටම පෞද්ගලික රෝහල්වලට යන්න එපා. රජයේ රෝහලකට යන්න. ප්‍රතිකාර සඳහා හඳුනාගත් රෝහල් 17 මේ සමග අමුණා ඇති පින්තූරයේ තියනවා.

මම හිතන්නේ ඔයාලට දැන් තරමක් දුරට තේරෙනවා ඇති මේ වසංගතය පාලනය කරන්න ඔයාලා හරියට හැසිරෙන්නේ නැත්තං ආණ්ඩුවට විතරක් හරි, සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් හරි බැරි ඇයිද කියලා. ආණ්ඩුව අරක කරේ නැහැ, මේක කරේ නැහැ කියලා හරි, රට ඉඳන් ආපු අය නිසා තමයි මේක උනේ කියලා හරි බැන බැන ඉන්නවට වඩා මේ වෙලාවේ ඔයාලට කරන්න ගොඩක් දේවල් තියනවා. (පහුගිය සති අන්තයේ තමන් හිටියේ කොහේද කියලා හිතලා බැලුවොත් සමහරවිට තේරේවි තමන් අතිනුත් වැරදි දේවල් වෙලා තියනවා කියලා!) මේ අසීරු අවස්ථාවේ දී අපි දන්න අයට ඒ ඒ තීරණ ගන්න ඉඩ දීලා අපිට පුළුවන් උපරිමයෙන් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න උදව් වෙමු. තනි තනිව අපිට කළ හැකි හොඳම දේ කරලා මේ වසංගතයෙන් රටක් විදිහට ගොඩ එමු! සමාජ වගකීමක් සහිත පුරවැසියන් විදිහට මේ රටට යුතුකම ඉටු කරමු..!

වෛද්‍ය සුමුදු හේවගේ
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article