නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය ගැන ඔබ හරිහැටි දැනුවත්ද?

නිරෝධායනය කියන වචනේ මේ දවස්වල ඔයාලට හොඳට අහලා පුරුදුයි නේද? ඒත් ඒකෙන් හරියටම අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවද? නිරෝධායනය කියන්නේ බෝවෙන රෝග වසංගත කාලයකදී රෝගය පැතිරීම වලක්වා ගන්න ක්‍රියාත්මක කරන, අන්තර්ජාතිකව පිළිගත් ක්‍රියාවලියක්. මේක කොහෙත්ම බය වෙන්න ඕනි දෙයක් නෙමෙයි කියලා මේක කියෙව්වම ඔයාලටම තේරෙයි.

1.නිරෝධායනයට ලක්කළ යුත්තේ කවුද?

දැනට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත් රෝග විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන පුද්ගලයන්ව තමයි නිරෝධායනයට ලක් කරන්නේ. මේ කොරෝනා වසංගතයේදී නම් විෂබීජය ශරීරගත වී ඇතැයි සැක කරන්නේ එම රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සහ එම රෝගය වැළඳුණ කෙනෙක් සමග ළඟින් ආශ්‍රය කළ කෙනෙක්වයි.

  1. නිරෝධායනය කරන්නේ කොහොමද?

නිරෝධායනයට ලක්වන පුද්ගලයාට තමාගේ එදිනෙදා අත්‍යවශ්‍ය වැඩ කටයුතු, ඒ කියන්නේ කෑම, බීම ගන්න එක, නාන එක, පාඩම් හෝ තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකයේ වැඩ ආදිය කරගෙන යෑමට කිසිම බාධාවක් නැහැ. වෙනස තියෙන්නේ නිරෝධායනය කරන කාලසීමාව තුළදී (සති දෙකකදී) එයාලට යම් සීමාවකින් එළියට යන්න බැරිකම සහ වෙනත් අය සමග ළඟ ආශ්‍රයක් පැවැත්වීමට බැරි වීම විතරයි. මොකද විෂබීජය අනිත් අයට ශරීරගත වීම වලක්වගන්න ඕනි නිසා. නිරෝධායනය කාල සීමාව අවසානයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්තං, සෞඛ්‍ය උපදෙස් දී ඔවුන්ව නිවෙස්වලට මුදා හරිනවා.

  1. එතකොට ස්වයං නිරෝධායනය කියන්නේ මොකක්ද ?

ඉහතින් සඳහන් කරපු දේම, වෙනත් කෙනෙකුගේ පූර්ණ අධීක්ෂණයක් නොමැතිව, තමන්ගේ නිවස තුලදීම තමන් විසින්ම සිදු කරගන්න එක තමයි ස්වයං නිරෝධායනය කියන්නේ. එහෙම කරන එකේ තේරුමත් විෂබීජ ශරීරගත වී ඇතිනම් එය වෙනත් අයට බෝ වීම වලක්වා ගැනීමයි. රට ඉඳලා එන හැමෝටම රජය ලබාදෙන නිරෝධායන මධ්‍යස්ථානවල සේවාව සැපයීම කළ නොහැකි නිසා, අවදානම අඩු රටවල්වල ඉඳලා එන අයට හෝ එහෙමත් නැත්තං මෙම වෛරසය වැළඳීමෙන් රෝගී වුනු කෙනෙකුව ළඟින් ආශ්‍රය කරපු කෙනෙකුට හරි අපි උපදෙස් දෙනවා තමන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනය වෙන්න කියලා.

  1. ස්වයං නිරෝධායනයට ලක් වෙන අය කරන්න ඕනි මොනවාද?
    තමන්ගේ නිවසේම ස්වයං නිරෝධායනය වෙන්න කියලා උපදෙස් ලැබුණු කෙනෙකුට ඉන්න වෙනම කාමරයක් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන, ජනෙල් අරින්න පුළුවන්, හොඳින් හිරු එළිය වැටෙන එකක් නම් තවත් හොඳයි. එහෙම වෙනම කාමරයක් දෙන්න බැරිනම් පුළුවන් තරම් අනිත් අයගෙන් ඈත් කරලා තියන්න ඕනි. එහෙම වෙලාවට එයාට නිදාගන්න අනිත් අයගෙන් වෙන් වෙච්ච තැනක් පිලියෙල කරලා දෙන්න ඕනි. පොදුවේ ඇදවල් පාවිච්චි කරන්න බැහැ.

 

5. ඒ වගේ අයට පොදුවේ ගෙදර අනිත් අයත් එක්ක භාණ්ඩ භාවිතය අවම කරන්න ඕනි.

තමන්ගේම පාවිච්චියට වෙනම පිඟානක්, කෝප්පයක්, තුවායක්, සබන්, පනාවක් වගේ දේවල් තියෙන්න ඕනි. මේ සති දෙක යනකල් කෑම කන්න වෙන්නේ කාමරය ඇතුලේ ඉඳන්.

ඒ වගේම නිරෝධායනය වෙන පුද්ගලයන් නිවසේ අනෙකුත් සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න බැහැ. කොටින්ම කතාබහ අවම කරලා, කතා කරන කොට අවම වශයෙන් මීටරයක පරතරයක් තියාගන්න ඕනි. සිප වැළඳගැනීම් තහනම්. ඒ වගේම තමයි නිවසට නෑදෑයන් හෝ වෙනත් පුද්ගලයන් පැමිණීම සහ ඔවුන් සමඟ කතාබහ සිදුනොකල යුතුයි.

ඉතා වැදගත් දෙයක් තමයි නිරෝධායනය වෙන පුද්ගලයන් නිතරම තමන්ගේ අත් සබන් යොදා හොඳින් පිරිසිදු කිරීම. ඒ වගේම ඔවුන් තමන්ගේ නහය, කට, ඇස් ඇල්ලීමෙන් වැලකිය යුතුය.

මෙම නිරෝධායනය වන පුද්ගලයාට පරිහරණය සඳහා වෙනම නාන කාමරයක් දෙන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි. එහෙම බැරි නම්, එම පුද්ගලයා පොදු නාන කාමරය නිවසේ අනිත් අය පාවිච්චි කරාට පස්සේ අන්තිමටම භාවිතා කල යුතුයි. ඔහු නාන කාමරයෙන් පිටතට ඒමට පෙර ටැප් එක, සින්ක් එක, දොර හැඩලය ආදී වෙනත් කෙනෙක් ස්පර්ශ කරන දේවල් හොඳින් සබන් යොදා පිරිසිදු කල යුතුයි. තුවාය පොදුවේ පරිහරණය නොකළ යුතුයි.

මෙලෙස නිරෝධායනයට ලක්වන පුද්ගලයන් තමන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවාදැයි නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය. මේ කාලයේ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව, ඇඟපත අමාරුව හෝ (කලාතුරකින්) බඩ බුරුල් වී යාමයි. නිරෝධායනය වන පුද්ගලයාට මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කරන්නේ නම් වහාම ඒ බව තමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට (MOH office) හෝ PHI මහත්තයාට දැනුම් දිය යුතුයි. ඉන් පසුව තමන්ට ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතුයි.

මෙලෙස නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ව අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට (MOH) සහ PHI මහත්තයාට නීතියෙන් බලය තිබෙනවා. නමුත් නීතිමය තත්ත්වය පසෙක තිබියදී මෙවැනි ක්‍රියාවලියකට හැකි උපරිම අයුරින් සහයෝගය ලබා දෙන එක මේ රටේ බුද්ධිමත් පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම බව ඔබට තේරෙනවා ඇති. මෙවැනි ස්වයං නිරෝධායනයට ලක්වන කෙනෙකු ඔබේ නිවසේ වාසය කරනවා නම් PHI මහත්තයා නිවසට පැමිණ හෝ දුරකතන ඇමතුමක් මඟින් ඔහුගේ විස්තර විමසන විට ඔවුන්ට උපරිමයෙන් සහය වන්න. ඔබේම සහ ඔබේ නිවැසියන් ගේ ආරක්ශාව සඳහා සැමවිටම සත්‍ය තොරතුරු ලබාදෙන්න.

ඔබේ නිවසේ මෙවැනි නිරෝධායනයට ලක්වන කෙනෙක් නොමැති නමුත් එවැනි අසල්වැසියෙක් ඔබට සිටිනවා වෙන්න පුලුවන්. ඉතිං ඒකේ තේරුම ඒ ගෙදර ලඟින්වත් යන්න හොඳ නැහැ, ඒ පැත්ත බලන්නවත් හොඳ නැහැ කියන එක නෙමෙයි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඇත්තටම එහෙම ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සමාජයට කරන්නේ සේවයක්. ඒ නිසා ඒ අයව නිරෝධායන කාලසීමාවෙන් පසුත් ආශ්‍රය නොකල යුතු ගණයට වැටෙන්නේ නැහැ හොඳේ ? එහෙම කටකතා සහ වැරදි ආරංචිවලට වැට බඳින එකත් මේ වෙලාවේ ඔයාලට කරන්න පුලුවන් ලොකු සේවයක්!

ඉතිං එහෙම නිරෝධායනය වෙන සමහර අය තනියම ගෙදර ඉන්නවා වෙන්න පුලුවන්. ඔවුන්ට උයාගන්න බඩු නැතිවෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට ඔයාලට උදව් කරන්න ඕනි නම්, ඔයාලාට දෙන්න බලාපොරොත්තු වෙන බඩු ටික එයාට දැනුම් දීලා ඒ ගෙදර ගේට්ටුව හෝ පඩිය උඩින් තියලා එන්න පුලුවන්. ඒ පුද්ගලයාව මුණගැහෙන්නේ නැතුව සහ ඒ ගෙදර ගේට්ටු, දොර එහෙම අල්ලන්නේ නැතුව. මතකයිනේ, මේ වෛරසය ගේට්ටු උඩින් , වැටවල් උඩින්, තාප්ප උඩින් පැන පැන එන්නේ නැහැ හොඳේ.

ඉතිං අපි මේ රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. මේ වසංගතය ඉවර වුන කාලෙක ඔබේ උපරිම සහයෝගයත් වසංගතය මැඩපවත්වන්න ලබා දුන්නා නේද කියලා ඔබටත් ආඩම්බරයක් දැනේවි! ❤
ස්තුතියි!

මූලාශ්‍ර:
1. http://www.epid.gov.lk/
2. https://www.bbc.com/…/healt…/coronavirus-how-to-self-isolate

වෛද්‍ය සුමුදු හේවගේ (MBBS, MSc and MD in Community Medicine)
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here